ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) අවසානය සහ නව ප්‍රතිසංස්කරණ
රටේ ආර්ථිකය බංකොලොත් වීමට ප්‍රධාන වශයෙන් බලපෑ තවත් එක් රාජ්‍ය ආයතනයක් වූ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිසංස්කරණය කිරීම කාලයක සිටම රටට අත්‍යවශ්‍යව තිබූ පියවරකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ආ මෙම විදුලිබල ප්‍රතිසංස්කරණ පනතට එරෙහිව ජනවරමක් ලබා ගත් වත්මන් රජය (ජාතික ජන බලවේගය/මාලිමාව), අද වන විට එම පනතම ක්‍රියාත්මක කරමින් සිටීම දේශපාලනික වශයෙන් කැපී පෙනෙන කාරණයක් වන අතර බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් නොවන මාතෘකාවක් වී ඇත.එම ප්‍රතිසංස්කරණවලට අනුව විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවන ප්‍රධාන වෙනස්කම් පහත පරිදි වේ:
1. ලංවිම වසර 57ක ඒකාධිකාරියේ අවසානය
- 1969 වසරේ පිහිටුවූ ලංකා විදුලිබල මණ්ඩලය සිය වසර 57ක ඒකාධිකාරී ගමන්මග 2026 මාර්තු 08 වන දිනෙන් නිමා කරයි.
- 2024 වසර අවසන් වන විටත් රටේ විදුලි ජනනයෙන් ලංවිම සතු වූ පංගුව 55% ක් දක්වා අඩුවී තිබූ අතර, ඉතිරිය පෞද්ගලික අංශය (නිෂ්පාදකයින් 346ක්) සහ වහල මත සවි කළ සූර්ය පැනල (93,064ක්) හරහා සැපයිණි.
- 2025 අවසන් වන විට රුපියල් බිලියන 1,326.5 ක දැවැන්ත වත්කමක් (රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක්) ලංවිම සතුව තිබුණද, 2025 වසරේදී පමණක් ඔවුන් රුපියල් බිලියන 38.7ක අලාභයක් වාර්තා කර ඇත.
- විදුලි ජනනය (Generation): නව 'ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා' (Electricity Generation Lanka Pvt Ltd) සමාගම මගින් මෙය සිදු කෙරේ. ඔවුන්ටද අනෙකුත් පෞද්ගලික විදුලි නිෂ්පාදකයින් මෙන්ම තරඟකාරීව ගිවිසුම් හරහා තොග වශයෙන් විදුලිය අලෙවි කිරීමට සිදුවේ.
- විදුලිය බෙදාහැරීම (Distribution): නව 'ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා' (Electricity Distribution Lanka Pvt Ltd) සමාගම සහ ලෙකෝ (LECO) සමාගම එක්ව විදුලිය තොග වශයෙන් මිලදී ගෙන පාරිභෝගිකයින්ට සිල්ලරට බෙදා හරිනු ඇත.
- ලාභ ඉපැයීමේ කොන්දේසිය: නව ව්‍යුහය යටතේ සම්ප්‍රේෂණ හා පද්ධති පාලනය ඇතුළු මෙම සියලුම නව සමාගම්, පෞද්ගලික අංශය සමග තරඟ කිරීම පහසු කිරීම සඳහා අවම වශයෙන් 2% ක හෝ ප්‍රතිලාභයක් උපයා ගත යුතු බවට යෝජනා කර ඇත.
- ක්ෂණික වෙනසක් නැතත් අනාගත සහනයක්: මෙම කොටස් කිරීම් නිසා පාරිභෝගිකයාට ක්ෂණික බලපෑමක් ඇති නොවුණත්, අනාගතයේදී තරඟකාරී මිලකට විදුලිය ලබා ගැනීමට අවකාශය සැලසේ.
- විනිවිදභාවයෙන් යුතු විදුලි බිලක්: මින් ඉදිරියට විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා යන පිරිවැය, රජයේ බදු මෙන්ම වීදි ලාම්පු වැනි පොදු කටයුතු සඳහා වන අයකිරීම් ද බිල්පතේ වෙන වෙනම සටහන් වනු ඇත.
- සහනාධාර වෙනස්වීම: ඒකක 30 ට අඩුවෙන් විදුලිය භාවිතා කරන අඩු ආදායම්ලාභී නිවාස සඳහා ලබාදෙන සහනාධාරය මින් පසු අනෙකුත් පාරිභෝගිකයින්ගේ බිල්පත් මතට නොපටවා, රජයේ අයවැය මගින් සෘජුවම ලබා දීමට නියමිතය.
- සූර්ය බලශක්ති මිලදී ගැනීම්: සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ට ලබා දුන් සහනාධාර ක්‍රමයෙන් ඉවත් කෙරෙන අතර, ඔවුන් නිපදවන අතිරික්ත විදුලිය තරඟකාරී මිල ගණන් යටතේ මිලදී ගනු ඇත.
