පැවති මහින්ද රාජපක්ෂ පාලනයේ... ඉතාම අප්‍රසන්න යුගයේදී එය පෙරලාදැමීමේ උවමනාව අපි කාටත් තිබුණා...මීට කලින් ආණ්ඩු පෙරළන වැඩේට සෘජුවම මැදිහත් නොවුනු බොහෝ අය ඒ සැරේ පාරට බැස්සා...අපිත් "අලුත් පරපුර" කියලා සංවිධානයක් හදාගෙන රට පුරා යන්න තීරණය කරා...පස්සෙ මේ සංවිධානය රටේ ප්‍රසිද්ධ සංවිධානයක් වුනත්...මේ කියන කාලෙ මේ ගැන ඒ තරම් කවුරුවත් දන්නෙ නැහැ ...
ඉතින් මේ වැඩේට මේ වෙද්දි සම්බන්ධ වුනේ...තරුණ පිරිසක් විතරයි ...හැබැයි ඒ වැඩේට එක වැඩිහිටියෙක් සම්බන්ධ වුනා...ඒ තමයි ලක්ෂ්මන් විජේසේකර කියන වැඩිහිටියා...මම දන්න හැටියට ලක්ෂ්මන් විජේසේකර කියන්නෙ වේදිකාවේ ගිරිය පුප්පන් ආවේගශීලීව කතා පවත්වන්න කැමති ජාතියේ කෙනෙක් නෙවෙයි...එහෙත් ඔහු අපි එක්ක ඒ ගමන ආවා...මට හිතෙන විදියට ඔහු වැඩියත්ම ආවෙ ඔහුගෙ දරුවො දෙන්නත් අපේ වැඩේට සම්බන්ධ වෙලා උන්නු නිසා.... මේ වගේ වෙලාවට සාමාන්‍යයෙන් " ඔන්න ඔය කෙහෙල් මල්වලට යන්නැතුව මෙන්න මෙහෙට වෙලා ඉන්නවා" කියන්නත් පුලුවන් තාත්තා කෙනෙක්ට ...ඒත් මේ තාත්තා කරේ එහෙම නෙවෙයි දරුවන්ගෙ කැමැත්තට ඉඩ දීලා ඒ අවදානම් සහගත ගමනට එයාත් ආපු එක ...තරුණයෝ කියන විදියකට ඇහුම් කන් දෙමින් මේ ගෞරවනිය වැඩිහිටියා අමුතු වැඩිහිටිකමක් පාන්නෙත් නැතුව බොහෝම නිශ්ශබ්දව පැත්තකට වෙලා ඒ ගමන පුරාවට හිටියා...
දෙවෙනි ගමන වැටිලා තිබුණේ කුඹුක්ගැටේට...එදා මට යන්න වුනේ නැහැ ...එහෙත් ලක්ෂ්මන් විජේසේකර මහත්තයා එදත් ඇවිත් හිටියා....ඉතිං මේ ගමන ගියපු අය මට වඩා හොඳට මේ ගැන දන්නවා ඇති ...ඔවුන්ට පුලුවන් මාව නිවැරදි කරන්න ...
කුඹුක්ගැටේ ප්‍රහාරය පිළිබඳ වීඩියෝව නැරඹුවා නම් ඔබට ඇසෙවී ... දියණියක් බියපත් හඬින් "තාත්තා" යනුවෙන් කෑ ගහනවා... ඒ අමාගෙ හඬ ...තමන්ගෙ ආරක්ශාවට ආපු තාත්තා ගැන බයෙන් දුව හිටියේ...එතකොට තාත්තා හිටියේ...රණ්ඩුවේ හරි මැද...එතන හිටපු ඔක්කොම තරුණ තරුණියන්ගේ තාත්තා වෙලා...ප්‍රහාරකයන්ගේ ආවේගය යොමුවෙලා තිබුණේ තරුණ තරුණියන් දිහාවට ...ඒ තාත්තාට ඕන වුනේ ඒ ආවේගය තමන් දෙසට හරවාගෙන ගැටලුව සමාදාන කරන්න...නිකං ඉන්න වෙලාවට වැඩිහිටිකම් පෙන්නුවෙ නැති වුනාට.... ඔහු ඕනෙම වෙලාවෙදී වැඩිහිටියෙක් වශයෙන් පෙනී ඉන්නම ඕන තැන පෙනී හිටියා....ඒ තමයි තාත්තා....
"අපි තමුසෙට ගොඩක් ගරු කරනවා ඕයි තමුසෙ මොකද මුන් එක්ක එක්කහු වෙලා තමුසෙගෙ නම කැතකරගන්නෙ...මුන් කලාකාරයො ද?"
එසේ අවවාදයක් ද දෙමින් ප්‍රහාරකයා ඒ තාත්තාට පයින් පහරක් ගැහුවා...ඒ පාර කොයිතරම් නරක තැනකට වැදුනා ද කිව්වොත් ... තමන් "අප්පච්චි" බව කියමින් රට වටේ කටවුට් ගගහා හිටපු ජාතියේ කටවුට් අප්පච්චිටත් ඒ හින්දා ගෙදර යන්න වුනා...
... Chamara Guruge