එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානය තුළදීම ඝාතනය කළ සැකකරුවන් සොයා එප්පාවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
උන්වහන්සේගේ දේහය නරක් වී තිබීම හේතුවෙන් මෙම ඝාතනය මීට දින කීපයකට පෙර සිදු වන්නට ඇතැයි පොලීසිය සැක පල කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එප්පාවල කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසු පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන නම් හැට නව හැවිරිදි ස්වාමීන් වහන්සේ නමකි.
ස්වාමීන් වහන්සේගේ හිසෙහි හා මුහුනෙහි බරපතල කැපුම් තුවාල පවතින අතර, ලිංගේන්ද්‍රයද කපා දමා ඇතැයි පොලීසිය පවසයි. උන්වහන්සේ මෙම විහාරස්ථානයේ තනිව වැඩවාසය කරන බවත්, ගම්මානයේ ජනතාව සමග ඇසුරක් නොමැති බවත් ප්‍රදේශවාසීන් පවසති.මීට වසර 10 කට පමණ ඉහතදී මෙම ප්‍රදේශයට පැමිණ කුඩාවට විහාරස්ථානයක් ආරම්භ කර එය ධානපතීන්ගේ ආධාර උපකාර මැද සංවර්ධනය කර ගෙන සිට ඇත. අද (25) පස්වරුවේ වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේනමක් මෙම අසපුවට පැමිණි අවස්ථාවේදී විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක ඒ පිළිබදව ගම්වාසීන් හරහා ග්‍රාමසේවක මහතා දැනුවත් කර එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව උන්වහන්සේගේ දේහය අද (25) පස්වරුවේ සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසයි. ඒ අනුව එප්පාවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඝාතනය වූ බවට විහාරාධිපති හිමියන්ගේ හැදුනුම්පත ඇතුළු වටිනා ලිපි ලේඛණ කීපයක්ද විහාරස්තානයට කිලෝ මීටර 02 ක් පමණ දුරින් පිහිටි තලාව එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල කානුවකට විසි කර දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන ඇති අතර ස්වාමීන්වහන්සේට අයත් විහාරස්තානයේ තිබූ ත්‍රී රෝද රථයද මේ වන විට අස්ථානගත ව ඇතැයි පොලීසිය පවසයි. සිද්ධිය වූ ස්ථානයේ තිබී පාවහන් යුගල 03 ක් , වක් පිහියක් පොලීසිය වැඩි දුර විමර්ශන සදහා රැගෙන යනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එප්පාවල පොලීසිය සිදු කරනු ලබන අතර, ස්ථානීය පරීක්ෂණ තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත්තුමන් විසින් සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත දේහය යොමු කරන ලෙසට එප්පාවල පොලීසියට නියෝග කරනු ලැබීය. එප්පාවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ විමර්ශණ ආරම්භ කර ඇත.