පසුගිය 18වනදා සරසවි නේවාසිකාගාරය අසලදී පොලීසිය පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අද අළුයම මිය ගොස් ඇති බව මාතර අප වාර්තාකරු පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ තෙවන වසර ඉගෙනුම ලැබූ බුත්තල, ලුනාව පදිංචි සුසන්ත අරුණ බණ්ඩාර නැමැති ශිෂ්‍යයාය. අප වාර්තාකරු පවසන ආකාරයට, පසුගිය 17 වැනිදා විශ්වවිද්‍යාල භූමියට බාහිර මැර පිරිසක් පැමිණ පහරදීමට එරෙහිව ඊට පසුදින එනම් ජුලි 18 වනදා විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තරකරන ලෙස ඉල්ලමින් සිසුන් උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත. අනතුරුව සිසුන් සිය බඩු බාහිරාදිය රැගෙන යාම සදහා සරසවි නේවාසිකාගාරයට ගිය අවස්ථාවේදී නේවාසිකාගාරය අසලදී පොලීසිය එම සිසුනට අමානුෂික ලෙස පහරදී ඇත. සුසන්ත අරුණ බණ්ඩාර සිසුවා තුවාල ලබා ඇත්තේ මෙම පහරදීමෙනි. එහිදී ඔහුගේ හිසට තුවාල සිදුව ඇති අතර ඒ හේතුවෙන් පසුදින ඔහු බුත්තල රෝහලට ඇතුළත්වී තිබේ. අනතුරුව එම රෝහලින් බණ්ඩාරවෙල රෝහලටද, ඉන්පසු කොතලාවල දැඩි සත්කාර ඒකකයටද ඇතුලත්කර තිබේ. කොතලාවල දැඩි සත්කාර ඒකකයේ දින 4ක් ප්‍රතිකාර ලැබූ එම සිසුවා බදුල්ල රෝහලට මාරුකර යවා ඇති අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබේ.
සිසුවාගේ මියයාමත් සමග රුහුණු විශ්වවිද්‍යාලය තුළ දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගෙන ඇති බවත් මේවන විට සිසුවාගේ මරණය ස්නායු ආබාධයක් හේතුවෙන් සිදුවූ බවට ඒත්තු ගැන්වීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බවත් සිසුන් පවසයි.
Source - lankatruth.com