වල්ලිපුරම්_ටීචර්
වල්ලිපුරම් ටීචර්
වල්ලිපුරම් ටීචර්
උසස් පෙළ රසායනික විද්‍යා ගුරුවරියක වූ වල්ලිපුරම් මිය ජීවත් වූයේ වැල්ලවත්තේය. ඇයගේ නිවෙසේ පැවැත්වූ රසායන විද්‍යා ටියුෂන් පන්තියට සිසු සිසුවියන් බොහෝ දෙනෙකු සහභාගී වූහ. ඇය රසායනික විද්‍යාව ඉගැන්වූයේ සිංහල බසිනි.
1983 දී උසස් පෙළ ඇරඹි සමයේදී මම ඇයගේ වැල්ලවත්ත මාකට් එක අසල තිබූ ටියුෂන් පන්තියට ගියෙමි. මුලදී ඇයගේ සිංහල උච්චාරණය අසා සිනා ගිය නමුද පසුව අප මෙම උච්චාරණය පුරුදු වූයෙමු. ඇය " සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අඞගු ද්‍රේවණයක් " යනාදී වශයෙන් කැඩිච්ච සිංහලෙන් වූවද දක්‍ෂ ලෙස ඉගැන්වීම කලාය. එසේම මුදල් පසුපස ඇය හඹා ගියේ නැත. මේ නිසා වල්ලිපුරම් මහත්මියගේ ටියුෂන් පන්තියේ ඉබ්බන් (ටියුෂන් ෆීස් නොදී මග හරින්නන්) කිහිප දෙනෙක් ද වූහ. මුදල් දුන්නොත් ගත්තා මිසක ඇය සිසුන් ගෙන් මුදල් ඉල්ලුවේ නැත.
වල්ලිපුරම් ටීච උසස් පෙළ රසායනික විද්‍යාව සිලබස් එක දෙතුන් වරක් කරන්නීය. එම නිසා සිසුන්ට එය පුනරුක්තියකි. ඇයට නිල් පැහැති මෝටර් රථයක් තිබූ අතර එය නිවෙස ඉදිරියේ නවතා තිබුනු බව මට මතකය.
මේ කාලයේ 1983 ජූලි කලබල ආරම්භ වූ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ ද්‍රවිඩයන් ගේ නිවාස අග්නි දෙවියාට පුද කරනු ලැබීය. එම භීම සමයේදී මට වල්ලිපුරම් මහත්මිය මතක් වූ අතර අපගේ ඊනියා දේශප්‍රේමීන් ඇයගේ නිවසටද පහර දී තිබේද යන කුකුස මතු විය.
83 ජාතිවාදී මාරුතයෙන් පසු මමත් මගේ මවත් ඇයගේ නිවසට ගියෙමු. වාසනාවකට මෙන් මැරයන් ඇයගේ නිවෙසට පහර දී තිබුනේ නැත. එහෙත් අසල්වැසි නිවාස කඩ ගිනිබත් කොට තිබේ. මේ කලබල අස්සේ වූවද වල්ලිපුරම් ලෙස ඉංග්‍රීසි බසින් ලියා තිබූ නිවාස නාම තහඩුව ඇය ඉවත් කොට තිබුනේද නැත.
මේ ම්ලේච්ඡ ප්‍රහාර කෙරෙහි ඇය පෙන්වූයේ බියක් , කෝපයක් හෝ පසුතැවීමක් නොව උපේක්‍ෂා සහගත බවකි. එය එදා මම තේරුම් නොගත් නමුත් ඇය තුල තිබූ උච්ච මානසිකත්වය මම අද දිනයේදී තේරුම් ගනිමි.
1983 කලබල වලින් පසු මට තව දුරටත් වල්ලිපුරම් මහත්මියට මුහුණ දීමට අපහසු විය. එසේම කලබල නිසා පන්තිද වරින් වර කල් දමනු ලැබීය. එම නිසා මම දෙව් රුවන් අල්විස් මහතාගේ නුගේගොඩ පන්තියට ගියෙමි. ඉන් පසුව මට කිසි දිනෙක වල්ලිපුරම් මහත්මිය මුණ ගැසුනේ නැත.
මෑතකදී වල්ලිපුරම් ටීච පිලිබඳව මුහුණු පොතේ සටහනක් මම දුටුවෙමි. ඇය වියපත්ව ගොසිනි . වෛද්‍යවරියක වූ ඇයගේ දියණිය පිළිකා රෝගය විසින් ගොදුරු කරගෙන තිබේ. ජීවිතයේ සැඳෑ කාලය ඇය දැන් ගත කරන්නේ උතුරේ ඇයගේ මහ ගෙදරය.
වල්ලිපුරම් ටීච සිංහල දෙමල භේදයකින් තොරව සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට දැණුම දුන්නාය. ඇයගෙන් ඉගෙනුම ලැබූ බොහෝ දෙනෙකු අද විද්වත් වෘත්තිකයන් වෙති. මුදල් වෙනුවෙන් ආත්මය පාවා දෙන ලෝකයක ඇය දරුවන්ට දැණුම දුන්නේ මුදල් පෙරදැරි කරගෙන නොව ආත්ම තෘප්තිය නිසාය. මෙවැනි ගුරුවරියන් මුතු මැණික් මෙන් දුර්ලභය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග