ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දිනයේ සිය මාරාන්තික උපවාසය අත්හරිනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඉල්ලීම් කරන්නේනම් හෝ අධිකරණ නියෝගයක් ගෙන පොලීසිය විසින් ඉවත්කරන්නේනම් ඊට එරෙහිවිය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශ එම්.මුසම්මිල් මහතා සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව අද දිනයේ අධිකරණ නියෝගයකින් හෝ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකින් වීරවංශ මහතා මාරාන්තික උපවාසය අත්හරිනු ඇති බවත්,එසේ නොවුණහොත් හදිසි රෝගාතුරුවීමක් නිසා ඔහු ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යාමක් සිදුවිය හැකි බවත් වාර්තා වේ.
පසුගිය අඟහරුවාදා දිනයේ ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සමග උපවාසයක් ආරම්භ වූ අතර ඉකුත් බදාදා(08) දිනයේ විමල් වීරවංශ මහතා එය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය කරන ලදී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ සහකාර මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් නිවේදනයක් නිකුත් කරමින් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති මෙම නොහික්මුණු විරෝධතාවය වළක්වන්නට ශ්‍රී ලංකා රජය අසමත්ව තිබීම
මහ ලේකම්වරයාගේ නොසතුටට හේතුවී ඇතැයි ද ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කොළඹ කලාප කාර්යාලය වසා දමන්නට මහ ලේකම්වරයා තීරණය කර ඇති වග ද සඳහන් කර තිබිණි.
රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු ලෙස හිඳිමින් මෙම විරෝධතාවය පවත්වන හෙයින් රජය ද රාජ්‍ය නායකයාද අපහසුතාවයට පත්වන බැවින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ දිනයේ විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ. එහෙත් එහෙව් ලිපියක් තමන්වෙත නොලැබුණු බවත්,ඒ සමිබන්ධයෙන් කිසිවක් තමන් නොදන්නා බවත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අප කළ විමසීමකදී කියා සිටියේය.
එහෙත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා වීරවංශ මහතාගේ එම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන ලද බව කියා සිටියේය. කෙසේ වෙතත් අද දිනයේ විමල් වීරවංශ මහතා සිය මාරාන්තික උපවාසය අත්හරිනු ඇති බවට විශ්වාසදායි ආරංචි මාර්ග සඳහන් කරයි.
http://www.adaderana.lk/sinhala/news.php?nid=9511