විශ්වාසය

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කළබල කරගන්න එපා. කළබල කරගන්නෙ නැතුව, උපක්‍රමයෙන් තමයි මේ හිත යහමගට ගන්න තියෙන්නෙ. යහපත් පැත්තට හිත ගන්න තියෙන්නෙ උපක්‍රමයෙන්. කළබලයෙන්, බලහත්කාරයෙන් හිත හරිපැත්තට නමන්න බෑ. සංසාරෙ ගිය හිත නිදහස්වෙන පැත්තට ගන්න තියෙන්නෙ උපක්‍රමයෙන්. උපක්‍රමයෙන් හිත ඒ පැත්තට ගන්නනම් කළබලවෙලා බෑ නේද? කළබලයට උපක්‍රමයක් කරන්ට පුළුවන්ද?
    කළබලයට උපක්‍රම කරන්ට බෑ. ඉවසීම ඕනැ නේද? ඉවසීමෙන් තමයි උපායශීලීව හිත යහමගට ගන්ට තියෙන්නෙ. ඉවසීම නැත්නම් බෑ. ඉවසීම ඇතිවෙන්නෙ කෙහොමද? ඉවසීම තමයි අපිට නැත්තෙ. ඉවසීම ඇතිවුනානම් අපි කළබල වෙනවද? නෑ. කළබලවුණොත් එහෙම අපිට ක්‍රමානුකූලව යමක් කරන්ට පුළුවන්ද? ක්‍රමානුකූලව යමක් කරන්ට බෑ.
    ක්‍රමානුකූලව යමක් කරන්ට බැරිනම් වැඩපිළිවෙලක් අනුගමනය කරන්ට පුළුවන්ද? බෑ. එහෙනම් වැඩපිළිවෙලක් අනුගමනය නොකර අපිට නොතේරෙන අපිට දෘෂ්‍යය නොවෙන, අපිට අල්ලන්න බැරි, අඳූරගන්ට බැරි, ඉතාම අපිරිසිඳූ සිත පිරිසිඳූකරන්ට පුළුවන්ද? බෑ. ඒ සඳහා වැඩපිළිවෙලක් අනුගමනය කරගෙන යන්ට ඕනැ.
    යම් වැඩපිළිවෙලක් අනුගමනය කරන්ටනම් ක්‍රමානුකූලව ඒක කරන්ට පුළුවන්වෙන්න ඕනැ. නැත්නම් වැඩපිළිවෙල කඩාකප්පල්වෙලා යනව. වැඩපිළිවෙලක් තියෙන්ට පුළුවන්. නමුත් ක්‍රමානුකූල නැත්නම් කලකදි අසාර්ථකයි. එහෙනම් ක්‍රමානුකූලව කරන්ටනම් කළබලනොවී ඉන්ට ඕනැ. කළබලවුණොත් ක්‍රමානුකූල බවක් තියෙනවද?
    කළබලවෙන තැන ක්‍රමානුකූලබව නෑ. ඒ කියන්නෙ පිළිවෙලකට කරනවා කියන එක, සකසලා කරනවා කියන එක නැතිවෙලා යනව. සකසල කරන්නෙ නැත්නම්, ඒ වැඩපිළිවෙල අසාර්ථකයි. වැඩපිළිවෙල අසාර්ථකයි නම් ප්‍රතිඵල නෑ. එහෙනම් කළබලය අපි නැතිකරගන්ට ඕනැ නේද? කළබලය නැතිවෙන්ටනම් මොකක්ද තියෙන්ට ඕනැ?
    ඉවසීම තියෙන්ට ඕනැ. ඉවසීම තියෙන්නෙ මොකක් තිබ්බොද්ද? විශ්වාසයක් තිබ්බොත්. විශ්වාසයක් තියෙනවනම් එයා තුළ ඉවසීමක් තියෙනව නේද? විශ්වාසයක් උපදවගත්තොත්, නිසැකබවට පත්වුණොත් ඉවසීම කියන එක ඇතිවෙනව. ඉවසීම කියන එක ඇතිවුණොත් කළබලවෙන්නෙ නෑ. කළබල නොවෙන කෙනාට තිබෙන ලාභය තමයි, එයාට යමක් ක්‍රමානුකූලව කරන්ට පුළුවන්.
    යමක් කරන වේගය නෙවෙයි වැදගත් වෙන්නෙ, ඒක කරන පිළිවෙල, ක්‍රමානුකූලබව. එනිසා විශ්වාසය යම් කෙනෙක් තුළ ඉපදුණොත්, එයා මේ මග පුරුදුකරගන්නව. ඉතින් මොකක් ගැනද විශ්වාසය තියෙන්ට ඕනැ. බුදුරජාණන් වහන්සේ වදාළ දේ ගැනයි විශ්වාසය තියෙන්ට ඕනැ. ඒ විශ්වාසය තමයි ක්‍රමානුකූලව අපි ඇතිකරගන්ට ඕනැ. ධර්මය ගැන විශ්වාසය උපදවගත්තොත්, එයා කළබලවෙන්නෙ නෑ.
    දැන් බලන්න ධර්මය තුළ කියල දෙනව, අසුභය පුරුදුකරගත්තොත් රාගය දුරුවෙනවා කියල. එතකොට අන්න ඒ ධර්මයන් යම් කෙනෙක් විශ්වාස කලොත්, එයා කළබල වෙනවද? නෑ. එයා ඊට පස්සෙ මොකද කරන්නෙ? අසුභය පුරුදුකරනව. ධර්මයේ තියෙනවා අසුභය පුරුදුකරගත්තොත් රාගය දුරුවෙනව. මෛත්‍රිය පුරුදුකරගත්තොත් පටිඝය දුරුවෙනව කියල. එහෙම තියෙනව.
    අපිට වුවමනා කරන්නෙ අන්න ඒ ධර්මය කෙරෙහි විශ්වාසය. විශ්වාස කරපු කෙනා කල්පනා කරනවා, මේ ධර්මය ඒකාන්තයෙන් ම ඇත්ත. මේක පුරුදුකලොත් ප්‍රතිඵල තියෙනව, කියල. ඊට පස්සෙ එයා මොකක්ද කරන්ට හිතන්නෙ? ඒක පිළිවෙලකට කරන්නෙ කොහොමද කියල එයා ඊට පස්සෙ බලන්නෙ. එයා අසුභය දන්නෙත් නෑ. ඒ මුකුත් එයාට තේරෙන්නෙ නෑ.
    එයා දන්නෙ එක දෙයයි. මොකක්ද ඒ? ධර්මයේ තියෙන කාරණය හරි කියල දන්නව. නමුත් ඒක කරන්නෙ කොහොමද? ඒ මුකුත් එයා දන්නවද? දන්නෙ නෑ. ඒ නොදන්න දේ ගැන විශ්වාසය තිබ්බහම එයා කළබලනොවී පරිස්සමින් පුරුදුවෙනව. ඇයි දන්නෙ නෑ නමුත් විශ්වාසය තියෙනව. ඒ නිසා ධර්මය අහල ඒ ධර්මය කෙරෙහි විශ්වාසය උපදවගන්න. ධර්මය කෙරෙහි විශ්වාසය උපදවගත්තොත් පැහැදීම ඇතිකරගත්තොත් ඔයගොල්ලො කළබලවෙන්නෙ නෑ. ඔයගොල්ලො ඉතා ම සතුටට පත්වෙයි. සතුටු සිතින් ඔයගොල්ලන්ට වාසයකරන්ට පුළුවන්කම තියෙයි.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි!