වීර කැප්පෙටිපොළ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    වීර කැප්පෙටිපොළ

    වීර කැප්පෙටිපොළ ජාතික නිදහස්‌ අරගලයේ අධ්‍යාත්මය

    සිංහල දේශය අවදි කරන්නට කාලයෙන් කාලයට ජාතික වීරයෝ පහළ වූහ. දුටුගැමුණු, විජයබාහු, පරාක්‍රමබාහු වැනි නරවරයෝ ද වාරියපොළ සුමංගල හිමි, මොනරවිල කැප්පෙටිපොළ, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාල වැනි ජනනායකයෝ ද ඒ අතර ප්‍රමුඛ තැන් ගනිති. මෙයින් අවුරුදු එකසිය අනූතුනකට පෙර රට, දැය, සමය වෙනුවෙන් ස්‌වකීය ජීවිතය පූජා කළ මොනරවිල කැප්පෙටිපොළ නිලමෙතුමා සිහිපත් කිරීමේ දිනය මේ මස 26 වැනිදාට යෙදී තිබේ. ජාතික වීරයන්ගේ අවශ්‍යතාව දැඩිව දැනෙන මෙවැනි අවදියෙක එතුමා විසින් කරන ලද සේවය අගය කිරීම කෘතගුණ දත් සියලු දෙනාගේම යුතුකමෙකි.

    කැප්පෙටිපොළ පරම්පරාවේ නිජභූමිය වූයේ සතර කෝරලයට යාබදව පිහිටි ගලබොඩ කෝරලයයි. පෘතුගීසි පාලන සමයේ අලගියවන්න මුකවෙටිතුමාගේ සහායෙන් ඇන්ටාවෝ වාස්‌ පෙරෙයිරා විසින් සකස්‌ කරන ලද තෝම්බුවෙහි සඳහන් වන "ක්‌වෙක්‌පිටිපල්ල" (කැප්පෙටිපොළ) නම් ප්‍රවේණි ග්‍රාමය මුල්කර ගෙන එම පරපුර බිහි විය. "කැප්පෙටිපොළ රාජපක්‍ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක" යනු පරම්පරාවේ සම්පූර්ණ නාමයයි.

    කැප්පෙටිපොළ පරපුරේ ආදිතමයා මාතලේ සහ තමන්කඩුවේ මහ දිසාපති විය. ඔහු මාතලේ උඩසියපත්තුවට අයත් උඩුගොඩ නම් ගමේ මොනරවිල නම් පරපුරට අයත් කාන්තාවක විවාහ කර ගත්තේය. මේ දෙමහල්ලන්ගෙන් පැවැත ආ කෙනෙක්‌ ගොලහැල නිළමේ නමින් හඳුන්වනු ලැබූහ. ඔහු රාජාධි රාජසිංහ රජුගේ දියවඩන නිළමේ තනතුර දැරීය. ඔහු ද විවාහ කර ගත්තේ මොනරවිල පරපුරේ කාන්තාවකි. මේ යුවළට පුත්තු තිදෙනෙක්‌ හා දූවරු තිදෙනෙක්‌ ද වූහ. කැප්පෙටිපොළ වීරයා මෙම යුවළගේ දෙවැනි පුත්‍රයා ය. 'මොනරවිල කැප්පෙටිපොළ' යනුවෙන් හැඳින්වූයේ මව්පිය දෙපාර්ශවයම නියෝජනය වන අයුරෙනි. එතුමාගේ ප්‍රිය භාර්යාව වූයේ රූබර කුල කාන්තාවක වූ දෙල්වල එතනහාමි නම් ප්‍රභූවරියයි. එසේම ඇහැලේපොළ අධිකාරමගේ බිරිඳ වූයේ ද එතුමාගේ සහෝදරියකි.

    සමස්‌ත ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වූ 1815 මාර්තු මස 02 වැනි දින මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කරන ලද උඩරට ගිවිසුමට කැප්පෙටිපොළ නිලමෙතුමා අත්සන් කළේ මාතලේ දිසාපති වශයෙනි. එතුමාගේ අත්සන සම්පූර්ණයෙන්ම සිංහලෙන් විය. ගලගොඩ හා ගලගම යන නිලමෙවරු ද ඔහු අනුව යමින් සිංහලෙන් අත්සන් තැබූහ. අනෙක්‌ නිළමෙවරුන් අත්සන් තැබුවේ සිංහල හා ද්‍රවිඩ අක්‌ෂර යොදා ගනිමිනි.

    උඩරට ගිවිසුමෙන් පසු පාලනය ප්‍රතිසංවිධානය කළ සර් රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා කැප්පෙටිපොළ නිලමෙතුමා ඌවේ මහදිසාපති වශයෙන් පත් කෙළේය. එහෙත් අවුරුදු දෙදහස්‌ තුන්සිය පනස්‌ අටක පමණ කාලයක්‌ තිස්‌සේ ස්‌වාධීනව සිටි උඩරැටියෝ මාස කිහිපයක්‌ ඉක්‌මවීමට ද පෙර බ්‍රිතාන්‍ය පාලනය ගැන කලකිරුණහ. කැප්පෙටිපොළ නිලමෙතුමා ද බ්‍රිතාන්‍යයන් යටතේ සේවය කෙළේ තෘප්තියකින් නොවේ. පාරම්පරිකව පැවැත ආ අභිමානය ද, බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අහංකාරකම ද එයට බලපෑවේ ය. ගිවිසුමේ සඳහන් වූ ලෙස බ්‍රිතාන්‍ය රජුගේ ගැත්තන් වශයෙන් තව දුරටත් සිටීම බොහෝ වැසියෝ පිළිකුල් කළහ.

    කැප්පෙටිපොළ නිළමෙතුමා මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ පවා අදහස්‌ ප්‍රකාශ කිරීමට තරම් එඩිතර විය. බදුල්ලේ බ්‍රිතාන්‍ය ඒජන්ත තැනගේ තෝල්ක මුදලි වශයෙන් සිටි ඩේවිඩ් ද අල්විස්‌ මුහන්දිරම් සමග එතුමා වරෙක පවසා සිටියේ බ්‍රිතාන්‍ය පාලනය අවසාන විය යුතු අතර, සිංහල රටේ පාලනයට සිංහල රජකු සිටිය යුතු බවය. මෙය බ්‍රිතාන්‍යයන් යටතේම සේවය කරමින් කළ වගකීමෙන් තොර ප්‍රකාශයක්‌ සේ සැලකුණ ද එයින් පිළිබිඹු වූයේ එතුමා තුළ පැවැති ජාතිමාමකත්වයයි. ඇහැලේපොළ මහනිලමේ රජකමට පත් කළ යුතු බව ද තවත් වරෙක එතුමා පැවැසීය.
    බදුල්ලේ බ්‍රිතාන්‍ය ඒජන්ත තැනට ගරුසරු දැක්‌වූ තම දිසාවේ මුලාදැනීන් ගණනාවකට කැප්පෙටිපොළ නිළමෙතුමා එක්‌ අවස්‌ථාවෙක දඬුවම් කෙළේ ය. එය බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයාට වාර්තාවීමෙන් පසු ඒජන්තවරයා මහ රජතුමාගේ නියෝජිතයා බව කැප්පෙටිපොළ නිළමෙතුමාට පැහැදිලි කර දෙන ලෙස මහනුවර බ්‍රිතාන්‍ය නියෝජිතයා වූ ඩොයිලි මහතාට නියම කිරීමට තරම් තත්ත්වය දුරදිග ගියේය.

    ඌව දිසාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීමේදී එම ප්‍රදේශයේ තමන් සතු බලතලවලට වෙනත් අය බලපෑම් කිරීම එතුමා නොඉවසුවේය. ඉදල්ගස්‌හින්න කඩවතේ බදු අය කිරීම එතුමාට අයත් රාජකාරියක්‌ විය. එහෙත් එය එතුමාට අහිමි විය. සබරගමු වැසියන් මෙම ස්‌ථානය පසුකර යන විට බ්‍රිතාන්‍යයන්ගේ නියෝග අනුව බදු නොගෙවූ කල්හි කැප්පෙටිපොළ නිළමෙතුමා ඔවුන්ට එතැනින් එහාට යැමට ඉඩ නොදුන්නේය. මෙසේ එතුමා ඉඩ ලද හැම විටක ම බ්‍රිතාන්‍ය පාලනය සමග ගැටෙන්නට ගියේය.

    මේ අතර 1817 ඔක්‌තෝබර් මාසයේදී ඌවේ කැරැල්ලේ ආරම්භය උදාවිය. වෙල්ලස්‌සේ මුස්‌ලිම් ජනතාව වෙනුවෙන් හඡ්ජි නම් මුස්‌ලිම් මුහන්දිරම්වරයකු පත් කිරීම එයට මූලික හේතුව විය. එහි ඒ වන තෙක්‌ ප්‍රධානියා වශයෙන් කටයුතු කෙළේ මිල්ලෑවේ නිළමේ ය. මේ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඥති සොහොයුරකු වූ 'කළුනායක්‌කර්' නම් අයගේ පුත්‍රයකු යි කියාගත් දොරේසාමි නම් අයෙක්‌ ද රජකමට උරුමකම් කියමින් ඌව පළාතේ ගැවැසෙන්නට විය. ටික කලකින් වැසියෝ ද ඔහුට පක්‌ෂපාතී වූහ. මේ ආරංචිය බදුල්ලේ බ්‍රිතාන්‍ය උප ඒජන්ත තැන වූ සිල්වෙස්‌ටර් විල්සන්ට සැළ වී දොරේසාමි අල්ලාගෙන ඒමට හඡ්ජි මුහන්දිරම් යෑවීය. එහි වැසියනට කොටුවූ හඡ්ජි මුහන්දිරම් ඔවුන් අතින් මරණයට පත් විය. ඔහුගේ සහෝදරයා ද තුවාල ලැබීය.

    සිල්වෙස්‌ටර් විල්සන් ලෙප්ටිනන්ට්‌ නිව්ටන් සමග භට කණ්‌ඩායමක්‌ රැගෙන වෙල්ලස්‌සට ගියේ මේ අතරය. එහෙත් ඔවුනට කැරලිකරුවන් හමුවීමට නොහැකි විය. ආපසු එන අතර සියල්ලෝම කැරලිකරුවන් අතින් මරණයට පත් වූහ. මේ සිද්ධීන් සැළවීමත් සමග බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා ඌව සහ වෙල්ලස්‌ස යුද්ධ නීතියට යටත් කොට දොරේසාමි අල්ලා දුන් කෙනකුට ත්‍යාග 2,000 ක්‌ දෙන බවට ද ප්‍රසිද්ධ කෙළේය.

    1818 ජනවාරි 01 වැනි දින වන විට කැප්පෙටිපොළ නිළමෙතුමා ද කැරැල්ලට එක්‌ව සිටියේය. අභිනව රජු ලෙස දොරේසාමි නමැත්තා පත් වී ඇති බව ප්‍රකාශයට පත් විය. සතර කෝරළය පිළිමතලව්වේට ද, මාතලේ දිසාව මඩුගල්ලේට ද භාර වූ අතර කැප්පෙටිපොළ නිළමෙතුමා මහ අධිකාරම් ධුරයට පත් විය. හඟුරන්කෙතදී විශේෂ දළදා ප්‍රදර්ශනයක්‌ ද පැවැත්වූ එතුමා විශේෂ ප්‍රකාශයක්‌ ද කෙළේය. සිංහල රාජධානියට දැනට රජ කෙනකු සිටින බවද, දළදා හිමියන්ගේ භාරකාරත්වයත් ඔහුට ලැබී ඇති බව ද, පරසතුරන් පලවාහැර නිදහස ආරක්‍ෂා කිරීම සියලු දෙනාගේම යුතුකම බවද එම ප්‍රකාශයේ සඳහන් විය.

    කැප්පෙටිපොළ නිළමෙතුමා ජාතිය ගලවා ගැනීමේ සටනට එක්‌ වූයේ ද නියම වීරයකු පරිද්දෙනි. ඌවේ ප්‍රධානියා ලෙස ඔහු වෙත සිංහල හා ඉංගී්‍රසි භට සේනා දෙකක්‌ වූහ. ඉංගී්‍රසි හමුදාව අවි ආයුධ සමග ආපසු බ්‍රිතාන්‍ය පාලකයන් වෙත යවන ලද්දේ පහත සඳහන් පණිවුඩය ද සමග ය.
    "තොපේ තුවක්‌කුවලින් තොපට ම වෙඩි තැබීම සිංහල අපට නොහොබී. ඌවේ දිසාව ඉංගී්‍රසීනට විරුද්ධ ව නැගී සිටින බව දන්වමි."

    1818 පෙබරවාරි අවසානයට ළං වන විට කැරැල්ල දරුණු විය. කැප්පෙටිපොළ නිළමෙතුමා ඇතුළු නායකයන් රාජෙද්‍රෝහීන් වශයෙන් සලකා ඔවුන්ගේ හිස්‌ සඳහා රන් පගෝදි 1,000 බැගින් දෙන බවට ප්‍රකාශයක්‌ ද බ්‍රිතාන්‍ය පාලකයන් විසින් කරන ලදී.

    මේ අතර දොරේසාමි නම් අය ව්‍යජ පුද්ගලයකු යෑයි ප්‍රචාරය වීම ද, නායකයන් අතර වූ මත ගැටීම් ද, ඉංගී්‍රසි පාලකයන්ගේ දැඩි කැපවීම ද, ඉන්දියාවෙන් අතිරේක බලසේනා ලැබීම ද නිසා
    කැරැල්ල දුර්වල විය. තත්ත්වය තම ජීවිතවලට ද අනතුරුදායක බව වටහා ගත් කැප්පෙටිපොළ නිළමෙතුමා සිය මිතුරු මඩුගල්ලේ ද සමග මාතලේ සිට නුවරකලාවියේ පිහිටි පරවහගම නම් ගම්මානයට පලා ගියේ ය. මෙම ගම පිහිටා ඇත්තේ කැකිරාව සිට කලාවැව හරහා ගලේවෙලට යන පාරේ ආඬියාගලින් හැරී සැතපුම් දෙකක්‌ පමණ දුරකිනි. ඒ ගමේ සිටි කිරිඋල කුමාරිහාමි නම් කුල කාන්තාවගේ නිවසේ ඔවුහු රැකවරණ ලැබූහ.

    ඔත්තුකරුවන් මගින් ඉංගී්‍රසීහු මේ දෙදෙනා සොයා ගත්හ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගියේ විලියම් ඕනීල් නම් හමුදා නිලධාරියා ප්‍රධාන භට කණ්‌ඩායමකි. ආරක්‍ෂාවට සිටි සිංහල භටයෝ ඉංගී්‍රසීන්ගේ වෙඩි උණ්‌ඩවලට බියෙන් පලාගියහ. එක්‌ භටයකු අල්ලාගත් ඕනීල් ඔහුට වධ දී සිංහල නායකයන් දෙදෙනා සිටින ස්‌ථානය සොයා ගත්තේය. ඒ අනුව කිරිඋල කුමාරිහාමිගේ නිවසට ඔවුන් ළං වූ වහා ම කැප්පෙටිපොළ නිළමෙතුමා ක්‍රියා කළේ ද අතිශය උදාර වූ ආකාරයකිනි. තමන්ට රැකවරණ දුන් කිරිඋල කුමාරිහාමිට හා ඇගේ නිවසට ඉංගී්‍රසීන්ගෙන් කිසිදු අනතුරක්‌ සිදුවීම කළගුණ දත් තමන්ට මදිකමක්‌ බව ඔහු කල්පනා කෙළේය. ඒ අනුව වහා කඩුව කොපුවේලා ගත් ඔහු නිවෙසින් එළියට පැමිණ, ඉංගී්‍රසි නිලධාරියා වෙතට ගොස්‌ අතට අත දී, "මමයි කැප්පෙටිපොළ මට වෙඩි තබන්නැ"යි නිර්භීතව පැවැසීය. ඒ 1818 ඔක්‌තෝබර් මස 28 වැනිදාය.
    එතුමා සහ මොල්ලිගොඩ නිළමේ මහනුවරට ගෙන යන ලදුව, නඩු විභාගයක්‌ පවත්වා දෙදෙනාටම මරණ දඬුවම නියම කරන ලදී. 1818 නොවැම්බර් මස 26 වැනිදා මොල්ලිගොඩ නිළමේ බියගුල්ලකු ලෙස මරණයට මුහුණ දුන් නමුදු, කැප්පෙටිපොළ නිළමෙතුමා අභීත සිංහලයකු සේ මරණය ඉදිරියේ නොසැලී සිටියේය.

    එදින උදයේ දළදා මැඳුරට ගොස්‌ ආගමික වතාවත් කළ ඔහු ජීවිත කාලය තුළ තමා කරන ලද කුසල කර්මයන් ප්‍රකාශ කර පහත සඳහන් ප්‍රාර්ථනාව ද කෙළේය.

    'ඉතෝ චුතෝහං වර ජම්බු දීපෙ - හිමාලයේ හේම මයම්හි කූඨෙ
    තප්පායුකෝ දේවපතීච හුත්වා - මෙත්ෙත්‍යය නාථස්‌ස සුණාමි ධම්මං
    එහි අදහස මෙසේය:
    (මෙයින් චුතව හිමාල වනයෙහි දෙවියෙක්‌ව ඉපිද, මෙතේ මුනිඳුන්ගෙන් දහම් අසා නිවන් සුව අවබෝධ කෙරේවා.)

    ඉක්‌බිති එතුමා උඩින් ඇඳ සිටි වස්‌ත්‍රය ගලවා, 'මෙය කිලිටි වුව ද මා සතු එක ම වස්‌තුව බැවින් පින් පල මහත් වන්නේ යයි පවසා පූජා කොට, එම පින් ඔහු අසල සිටි හිතමිත්‍ර සෝවර්ස්‌ මහතාට ද අනුමෝදන් කොට ඉතා තැන්පත් ලෙස අතට අත දී සමුගත්තේය.

    බෝගම්බර වැව් ඉවුරෙහි වූ ඝාතන ස්‌ථානයට ගෙන යන ලද එතුමා ස්‌වල්ප වේලාවක්‌ ආගම සිහිකිරීම සඳහා යොදා ගත්තේය. කොණ්‌ඩය මුදුන් කොට ගැටගසා ගෙන පයෑඟිලිවලින් කුඩා පඳුරක්‌ දැඩි සේ අල්ලා ගත්තේය. ඉක්‌බිති හිණෙහි තිබූ කුඩා බණ පොතක්‌ ගෙන ගාථා කිහිපයක්‌ කියා එය ද ත්‍යාගයක්‌ ලෙස සෝවර්ස්‌ මහතාට දෙන ලෙස අසල සිටි අයකගේ අත තැබීය. ඉන් පසු 'ඉතිපිසෝ' ගාථාව කියන්නට විය. හරියට ම 'අරහං' යන වචනය මුවින් පිටවන විට ම වධකයාගේ කඩු පහර එතුමාගේ ගෙල හරහා වැදුණේ ය. දෙවැනි කඩු පහරෙන් හිස කඳින් වෙන් වූයේය.
    මේ වීරයා මරණයට මුහුණපෑ අපූර්ව වුත්, නිර්භීත වූත් විලාසය ගැන කල්පනා කළ මාර්ෂල් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස්‌ කබල එඩින්බරෝ නුවර කපාල විද්‍යා සංගමයේ කෞතුකාගාරයට යෑවීමට කටයුතු කෙළේය. නිදහස ලැබීමෙන් පසු ඒ වීර හිස යළි ශ්‍රී ලංකාවට හිමිවිය. 1954 නොවැම්බර් 26 වැනි දින එය මහනුවර මහ මළුවේ පිහිටි ස්‌මාරකයේ තැන්පත් කරන ලදී


    https://www.facebook.com/umangabndaraus/posts/1033378780115165
     
    • Like
    Reactions: NRTG