උණු කැවුම් ...
ආදරණීය ඩෙිලිමෙිල් ! මාගේ පියවුරටද බ්‍රිතාන්‍යයේ හිරු එළිය අවශ්‍යව තිබුණා විය හැක.
---- අමන්දා පාමර් -----
======================
එංගලන්තයේ ග්ලැස්ටන්බරි නගරයට එදින හොදින් ඉර තිබුණි. නගරයේ උද්‍යානය අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබුනේ අමන්දා පාමර්ගේ සංගීත ප්‍රසංගයට නන් දෙසින් පැමිණි රසිකයන් නිසාය. මධ්‍යහන අව් රශ්මිය නොතකා ඔවුන් ප්‍රසංගය ආරම්භ වෙනතුරු රැදී සිටියහ. මාධ්‍ය ආවරණය සදහා ද මාධ්‍යකරුවන් රැසක් කැමරා මනාගෙන බලා සිටි අතර කලු පැහැ තනපටකිනුත්, අලු පැහැ දිගු කලිසමකිනුත් සැරසුනු පාමර් වේදිකාවට පැමිණියේ දහසක් ඔල්වරසන් මැදය. ඇය වේදිකාවේ රගමින් අපූරු ගීත රැසක් ගායනා කලාය. ඒ මිහිරි හඩින් මන්මත් වූ රසිකයන්ට වේලාව ඉගිලෙනවා දැනුනේ නැත. හදිස්සියේම පාමර් ඇද සිටි තනපට ගැලවී ඇයගේ පියයුරක් එලියට පැමිණි අතර සැනින් එසැනින් එය සකසා ගත් ඕ නොනැවතී ගැයුවාය. ඒ මිහිරි හඩින් මුලු නගරයක් සලිත විය.
ඊට පසුදින ඩේලි මේල් මාධ්‍යකරුවන්ගේ ප්‍රධාන පුවත බවට පත් වී තිබුනේ ඇගේ තනපටින් එලියට පැමිණි පියයුරය. එය ඔවුන් රස කරමින්, හප කරමින්, සූප්පු කරමින් විකුණා තිබුණි. ඒ කුණු රසයට ඉව අල්ලා පැමිණි පාඨකයින් ඇගේ තනය ගැන නොයෙක් ආලවට්ටම් එකතු කරමින් ඕපාදූප පතුරන්නට විය. ප්‍රසංගය පුරා පැවති ප්‍රසාංගික බව, ජීවය, රසය, සංගීතය, තාලය, නැවුම් නිර්මාණ, රංගනය වැනි සියලු මූලික කරුණු කිසිවක් පාඨකයා වෙත රැගෙන යාමට අමතක කල ඩේලි මේල් මාධ්‍යකරුවන්, ලිදලග සංගම්වල රැස්වෙන ගැහැණුන්ගේ කර්තව්‍ය නොපිරි හෙලා ඉටු කර තිබුණි.
ඉන් නොබෝ දිනකට පසු ලන්ඩනයේ පැවති සංගීත ප්‍රසංගයකට පැමිණි අමන්දා පාමර් වේදිකාවට ගොඩ වූයේ කිමෝනාවකින් සැරසීගෙනය. වේදිකාවට පැමිණි ඕ ඩේලිමේල් වාර්තාකරුවන් මෙහි සිටි දැයි විමසුවාය. ඇගේ පලමු ගීතය ඔවුන් වෙනුවෙන් ගයන බව පැවසූ ඕ ඇද සිටි කිමෝනාව ගලවා දමා නිරුවත් වූවාය. සිදුවන්නේ කුමක්දැයි සිහි එලවා ගත නොහැකිව සිය දහසක් ඇගේ රසිකයන් දෑස දල්වා බලා සිටියහ. පියානෝව මත දෑත තැබූ ඕ ඉතා මිහිරිව ගැයුවාය.
ඩියර් ඩේලිමේල්,
එදා රාත්‍රියේ මම මුලු නගරයක් සැනසුවා. මාගේ මිහිරි ගීතය, රංගනය, සංගීතය පසෙකලා ඔබ කතා කලේ, ඔබේ අවදානය යොමු උනේ මගේ පියවුර වෙත පමණයි.
ඩියර් ඩේලිමේල්,
තාක්ෂණය භාවිතා කරන්න. ගූගල් සෙවුම් යතුර පාවිච්චි කලේ නම් ඔබට පියයුරු නොසෑහෙන ප්‍රමාණයක් සොයා ගන්නට ඉඩ තිබුණි. ඒ ඔබ විසින් හසුකරගත් ජායාරූප අතරින් මගේ පියයුර වැඩකට නැත්තක් බව ඔබට අවබෝද වන්නට ඉඩ තිබුණි.
ඩියර් ඩේලිමේල්,
ඔබ පවසනවා මගේ තනපටින් මගේ පියවුර එලියට පැන්නෙ හරියට දුවන හොරකු ලෙස බව. ඔබ නොසිතන්නෙ කොහොමද එයට බ්‍රිතාන්‍යයේ හිරු එලිය වැදීමට අවැසිව තිබුණු බව.
ඩියර් ඩේලිමේල්,
මට ඔබ වැනි මාධ්‍ය ගැන, මාධ්‍යකරුවන් ගැන ඇත්තටම කණගාටුයි. නුඹලා මුලු මහත් ස්ත්‍රීන්ට සිදුකරන ද්වේශය මානව ශිෂ්ටාචාරය නට්ටාවශේෂ කිරීමක්.
ඩියර් ඩේලිමේල්,
මම දන්නවා උඹ මේ රාත්‍රිය ගැන අකුරක්වත් නොලියන බව. නමුත් තාක්ෂණයට පින්සිදු වන්න මෙය මුලු ලෝකෙටම ඇසේවි.
මෙන්න දැක ගන්න මගේ නිරුවත.
එදා ඒ ප්‍රසංගය තුල ඩේලිමේල් වාර්තාකරුවන් සිටියේ නම් ඇය ඔවුනට ගැසූ කම්මුල් පහරේ වේදනාව අදත් පුපුරු ගසනවා නිසැකය.
මට පැවසීමට අවැසි වූයේ චීත්ත අදින ගැහැණුන්, පමණක් නොව මිනිසුන් ද ලංකාව තුල පමණක් නොව ලොව හතර දිග් බාගයේම ඇත. ගැහැණියකගේ පියයුරක්, ඉන් අඩක්, කකුලක්, ඉන් අඩක් පෙනුන විට එවැනි ගැහැණුන්ගේ මතු නොව පිරිමිගේද අංගෝපාංග කෙලින් වී නොයෙක් ඕපාදූප දසතම පතුරන්නේය. තාක්ෂණයේ මහිමයෙන් අසුරු සැනින් ඒවාට තටු ලැබී ඉගිලෙන්නේය. නමුත් අවාසනාවට එවැනි පටු මිනිසුන්ගේ භූමිකා අද ජනමාධ්‍ය මගින් රග දැක්වීමට පටන් ගෙන ඇත. එදා පැවති ගවේශණාත්මක, විචාරශීලී ලිපි වලට අද ඉල්ලුමක් නැත. පැවැත්මක්ද නොමැත. අද බොහොමයක් ප්‍රවෘත්තිවල ප්‍රවෘත්තිමය වටිනාකම රැදී ඇත්තේ කුණු රසයට පමණි. ඇතැම් පුවත්පත්වල පිටු ගොස්සිප් පිටු බවට පරිවර්තනය වි ඇත්තේ ඒ නිසාය.
මෙහි නැවතුමක් නැත. නමුත් ඇසෙන සහ පෙන්වන බොහෝ දේ තුල සැගවුනු සත්‍යක් ඇති බව වටහා ගන්නට ඔබට තීක්ෂණ බුද්ධියක් තිබිය යුතුය. අවදියෙන් සිටින්න, අත්විදින්න, සැබෑව වටහා ගන්න, නිගමනයන්ට එළඹෙන්න.
උ.ගැ...

