ශ්‍රී පාද වන්දනා වාරය - 2020/2021
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශෙෂ ගැසට් පත්‍රය - 2020.12.26
ඉහත සඳහන් වන්දනා සමය 2020 දෙසැම්බර් මස 29 වැනි දින සිට 2021 මැයි මස 27 දින දක්වා පවත්වන බව මහජනයාගේ දැනගැනීම සඳහා මෙයින් නිවේදනය කරමි.
01. විශ්‍රාම ශාලා/අම්බලම්
1.1 ලිහිණිහෙල, පළාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාම ශාලා/ අම්බලම් නවාතැන් ලෙස භාවිතා කළ යුතු ය.
1.2 තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු ය.
02. ගොඩනැගිලි ඉදිකිරීම
මාගෙන් හෝ බලයලත් නිලධාරියකුගේ ලිඛිත අවසරයකින් තොරව කිසිවකු විසින් හෝ 2020 දෙසැම්බර් මස 29 දින සිට 2021 මැයි මස 27 දින දක්වා කාලය තුළ ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් හෝ නවාතැනක් හෝ වෙළඳසැලක් ඉදිකිරීම නොකළ යුතු ය.
03. යාචකයෝ
සිරිපා මළුව ප්‍රදේශයේ හෝ අම්බලම්/ විශ්‍රාමා ශාලා ප්‍රදේශයේ කිසිම තැනක දී යාචකයන් විසින් හිඟමන් ඉල්ලීම හෝ ලබාගැනීම ද කිසිවෙකු විසින් හිඟමන් දීම හෝ බෙදාදීම ද නොකළ යුතු ය.
04. නෑම සහ සේදීම
4.1 දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්මේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන මගින් හඳුනාගෙන නම්කර ඇති ආරක්ෂිත ස්ථානවල දී හැර දියනෑම හෝ රෙදි සේදීම නොකළ යුතු ය.
4.2 පෞද්ගලික ආයතන මගින් දියනෑම හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැලසීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් විධිමත් පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතු ය.
05. වාහන/ගමන් මාර්ගය
5.1 ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතනය විසින් වෙන්කර ඇති ස්ථානවල හැර වෙනත් ස්ථානවල වාහන ගාල් කිරීම හෝ ඇතුළු කිරීම නොකළ යුතු ය.
5.2 වන්දනා සඳහා වෙන්කර ඇති ප්‍රධාන මාර්ග වන්නේ රජමාවත (පලාබද්දල මාර්ගය), හැටන්- නල්ලතන්නිය මාර්ගය හා කුරුවිට එරත්න මාර්ගයයි.
06. පරිසරය හා සනීපාරක්ෂාව
6.1 වන්දනා මාර්ගයේ හෝ සිරිපා මළුව පරිශ්‍රයේ හෝ විශ්‍රාම ශාලා අවට හෝ පරිසරයට පොලිතින්, ප්ලාස්ටික අවිධිමත් පරිදි බැහැර කිරීම නොකළ යුතු ය.
6.2 ශ්‍රී පාදය අඩවිය තුළ කිසිම හේතුවක් නිසා ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල සැකසීම හෝ ගිනි දැල්වීම සිදු නොකල යුතු ය.
6.3 වන්දනා වාරය තුළ බැතිමතුන් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැලසීම හා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු පළාත් පාලන ආයතනවලට හා පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට පවරමි.
6.4 මාර්ගයේ අත්වැට විෂබීජහරණය කිරීමේ වගකීම පළාත් පාලන ආයතනවලට පවරමි.
07. වෛද්‍ය පහසුකම්
පෞද්ගලික ආයතන මගින් පැවැත්වීමට අදහස් කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර/ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහ පළාත් පාලන ආයතනයේ පූර්ව ලිඛිත අවසරයෙන් ලබාගත යුතුය.
08. වෙළෙදාම සහ දන්සල්
8.1 පවතින Covid - 19 වසංගත තත්ත්වය නිසා සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශයන්හි මෙන්ම ගමන් මාර්ගයේ ද සංචාරක වෙළෙ`දාම තහනම් ය.
8.2 මවිසින් හෝ බලයලත් නිලධාරියෙකු විසින් අවසර දුන් ස්ථානවල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි හෝ වෙනත් ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු යි.
8.3 මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රවයක් ගමන් මාර්ගවල රැගෙනයාම හෝ වෙළෙඳසැල්වල තබා ගැනීම, විකිණීම, මිලදී ගැනීම හෝ භාවිතා කිරීම තහනම් ය.
8.4 පිවිසුම් මාර්ගයන්හි දෙපස අවසර දී ඇති ස්ථානවල හැර කිසිදු ස්ථානයක තාවකාලික හෝ ස්ථිර වෙළෙඳසැල් තැනීම හෝ පවත්වාගෙන යාම හෝ වෙළඳාම් කිරීම නොකළ යුතු ය.
8.5 සෑම වෙළෙඳසැලකම, සෑම ගොඩනැගිල්ලක ම කසළ බඳුන් තැබිය යුතු අතර, අපද්‍රව්‍ය සියල්ල එහි බහාලිය යුතු ය.
8.6 විකිණීමට තබා ඇති සියලු සකස් කළ ආහාර ද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන පරිදි ආවරණ සහිතව රඳවා තැබිය යුතු ය.
8.7 ආහාරපාන, දන්සැල් ලබාදීම සඳහා අවසර නැත, අත්‍යවශ්‍යම කෙනෙක් සිටී නම් මුඛ ආවරණ හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය දන්සැල්, ගමන් මාර්ග ආරම්භක ස්ථානවල පැවැත්විය හැකි ය.
8.8 ඒ සඳහා මාගේ හෝ බලයලත් නියෝජිතයකුගේ පූර්ව අවසරය ලබාගත යුතු ය.
09. කොවිඞ් -19 වසංගතය තත්ත්වය තුළ ගතයුතු ක්‍රියාමාර්ග
9.1 නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් මුඛ ආවරණ පැළඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ යෙදීම.
9.2 (i) වන්දනාවේ පැමිණීමට අදහස් කරන පිරිස් තම වන්දනා නඩවල තොරතුරු ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු ය.
(ii) නිරෝධායනය නොවන බවට තහවුරුව සමඟ එම ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපත් රැගෙන ආ යුතු ය.
(iii) එක් පිටපතක් ගමන් ආරම්භයේ පරීක්ෂා කරන ස්ථාන (නල්ලතන්නිය, වර්ණගල, පලාබද්දල මාර්ගවල දී) පරීක්ෂක නිලධාරීන්ට ලබා දිය යුතු ය.
(iv) සති අන්ත දිනවල පැමිණීම අවම කළ යුතු ය.
(v) වැඩිහිටි, වයස්ගත අය වන්දනාවේ කැඳවාගෙන ඒම අවම කළ යුතු ය.
9.3 ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු ය.
මාලනී ලොකුපෝතාගම,
රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති.
2020 දෙසැම්බර් මස 22 වැනි දින,
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ය.