ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා !!

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා !!

    වර්තමාන ලෝකයේ විසූ කීර්තිමත් ම විද්‍යාඥයා, විද්‍යා ප‍්‍රබන්ධකයා, ජනපි‍්‍රය විද්‍යා ලේඛකයා, විද්‍යා න්‍යායාචාර්යවරයා, විද්‍යා දේශකයා පසුගිය දා අප අතරින් වියෝ වුණු බව දැන් ඔබ දන්නවා. ලෝකයේ ජීවත්වීමට හොඳම රට ශී‍්‍ර ලංකාව කියල අපේ මේ පුංචි රට තෝරා ගෙන අවුරුදු 51ක් ම අපේ රටේ ජීවත්වෙමින් අපේ රටට කීර්තියක් ගෙනා ඒ සුවිශේෂ පුද්ගලයා තමා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්. අපේ ම රටේ ඉපදිලා, අපේ ම රටේ, අපේ ම සල්ලිවලින් ඉගෙන ගෙන, ‘මේ රටේ ජීවත්වෙන්න බැහැ’යි කියලා රට ඇරලා යන උගත්තු ඉන්න මේ කාලේ එතුමා අපට දුන්නේ මහඟු ආදර්ශයක්.

    1.jpg

    ‘ලංකාව කියන්නෙ දූපතක් වුණාට පුංචි විශ්වයක්. මෙය දර්ශනීය තැන්වලින්, විවිධ දේශගුණයන් වගේ ම විවිධ සංස්කෘතීන්ගෙන් පිරිලා. ඔබ මේ රටට ගේන දේ අනුවයි, ඔබට රටෙන් යමක් ලැබෙන්නෙ. කොළඹ නගරයේ බටහිර පන්නයට හැඩ ගැහුණු, දූවිලිවලින් පිරුණු වීදිවලින් පිටට නොගිහින් හෝටලයට වෙලා හිටියොත් එක සතියකින් ම මේ රට ඔබට එපා වේවි. ඒත් ඔබ ජනයා ගැන, ඉතිහාසය ගැන, කලාවන් ගැන, සොබා දහම ගැන, ඒ කියන්නෙ ජීවිතයට වටින ඒ වගේ දේවල් ගැන උනන්දු නම්, ඔබටත් මේ රටේදි, මේ මට වගේ ම, සුන්දර දේ හමුවේවි. ඒවා අත්විඳින්නට ඔබේ මුළු ජීවිත කාලයමත් මදි බව ඔබට වැටහේවි.’ එතුමා බි‍්‍රතාන්‍ය ගුවන් සේවාවේ ප‍්‍රකාශනයකට ශී‍්‍ර ලංකාව ගැන ලිව්වෙ එහෙමයි.


    ශී‍්‍ර ලංකාව තරම් ලස්සන රටක් ලෝකයේ තවත් නෑ


    ‘සමහර විට ලංකාවෙ ඇති ආකර්ෂණයන් ඉක්මවා යන දේවල් ලෝකයේ එක එක රටවල ඇති. පැරණි නටබුන් අතරින් කාම්බෝජයේ ඒවා මීට වඩා ආකර්ෂණීය ඇති. ටහිටි දූපතේ මීට වඩා ලස්සන වෙරළවල් ඇති. බාලි දූපතේ මීට වඩා දර්ශනීය තැන් ඇති. (ඒත් මට නම් සැකයි). තායිලන්තයේ මීට වඩා සුහදශීලී ජනයා ඇති. ඒත් මා නම් හිතන්නෙ නෑ මේ හැම ආකර්ෂණයක් ම ඇති වෙනත් රටක් ඇතියි කියලා මේ ශී‍්‍ර ලංකාව හැර.’ එතුමා මෙහෙම ලිව්වෙ 1970 දි ශී‍්‍ර ලංකාව ගැන ලියවුණු තවත් පොතකටයි.


    3.jpg

    රොබට් නොක්ස් ඇරුනාම අපේ රට, අපේ මිනිස්සු ගැන වැඩියෙන් ම වර්ණනා කරපු විදේශිකයා තමයි, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්. එතුමා ලියපු හැම පොතක ම ශී‍්‍ර ලංකාව ගැන මොන විදියෙ හරි සඳහනක් ඇතුළත් වුණා. ඒවගේ ම එතුමා ශී‍්‍ර ලංකාව පසුබිම් කර ගෙන විද්‍යා ප‍්‍රබන්ධ කීපයකුත් ලිව්වා. එංගලන්තයේ ඉපදී හැදී වැඩුණත් ශී‍්‍ර ලංකාව වාස භූමිය කර ගෙන වසර 51ක් ම මෙහි ජීවත්වෙමින් ශී‍්‍ර ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් තරම් අපේ මව්බිමට සේවය කළ, ආදරය කළ, වෙනත් පුරවැසියකු ඇතැයි කිව නොහැකි තරම්.


    පුංචි කාලෙ ගෙවුණු හැටි


    ආතර් උපන්නේ 1917 දෙසැ. 16 වැනිදා එක්සත් රාජධානියේ සොමර්සෙට් හී වෙරළ අසබඩ පිහිටි මිනිහෙඞ් කියන පුංචි ගම්මානයේ ගොවිපවුලකයි. අතින් හදා ගත්තු දුරදක්නයකින් අහස බලමින් පුංචි ආතර් ඒ කාලෙ ඉඳල ම අහසට ආදරය කරන්න පටන් ගත්තා. ඔහු පුංචි කාලෙ ගියේ ටෝන්ටන්වල හුයිෂ් භාෂා පාසලටයි. ඊට පස්සෙ අවුරුදු 19 දි ගම අත හැර ලන්ඩන් නගරයට ආවා. ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිංස් විදුහලට ඇතුළත් වෙලා ගණිතයෙන් හා භෞතික විද්‍යාවෙන් පළමුවැනි පන්තියේ උපාධියක් ලබා ගත්තා.


    5.jpg

    6.jpg

    7.jpg

    රැකියාවක් හැටියට මුලින් ම එංගලන්තයේ රාජකීය භාණ්ඩාගාරයේ විගණක නිලධරයකු ලෙස සේවයට බැඳුණා. අනෙක් තරුණයන් සමග ඔහුත් දෙවන ලෝක යුද්ධයේ දී රාජකීය ගුවන් හමුදාවට බැඳී ගුවන් නියමුවකු ලෙස සේවය කළා. යුද්ධයෙන් පස්සෙ යේට්ස්බරි හී ගුවන්විදුලි විදුහලක පුහුණුකරුවකු ලෙස සේවය කළා. පියසැරි ලූතිනන්වරයකු ලෙස විකිරණ රේඩාර් පරීක්්ෂණාගාරයක පුහුණු උපදේශකයකු ලෙස කටයුතු කළා.

    1950 දී බි‍්‍රතාන්‍යයේ අන්තර් ග‍්‍රහලෝක සංගමයේ සඟරාවේ සංස්කාරක මණ්ඩලයට බැඳුණා. ඒ අතර විදුලි ඉංජිනේරු ආයතනය පළ කළ භෞතික විද්‍යා සඟරාවේ සහය සංස්කාරකයකු ලෙස ද කටයුතු කළා. 1954 දී ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක කොරල් පරය ගවේෂණය සඳහා පිටත් වුණා.



    අහම්බෙන් ලංකාවට


    ආතර් මුලින් ම ලංකාවට ආවේ 1954 නොවැම්බරයේ දී ලන්ඩනයේ සිට ඕස්ටේ‍්‍රලියාවට යන අතරමගයි. ඒ කාලේ ඔහු 26 හැවිරිදි තරුණයෙක්. ඔහු එදා මෙහි ගොඩ බැස්සේ ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක කොරල් පරය ගවේෂණ කරන්න මයික් විල්සන් කියල තවත් තරුණයකු හමුවීමට යන ගමන්. (ඒ තරුණයා තමයි පසුව ප‍්‍රථම වර්ණ සිංහල චිත‍්‍රපටය වූ ‘රන්මුතු දූව’ අධ්‍යක්ෂණය කළේ.) ආතර් ආපු නැව කොළඹ වරායේ නැංගුරම් ලෑවේ දින භාගයකට විතරයි. ඒ දින භාගය තුළ ඔහුට කොළඹ නගරයෙන් ටිකක් දැක ගැනීමටත් ඔහුගේ ජීවන ගමන් මග වෙනස් කළ අලූත් මිතුරන් දෙදෙනකු හඳුනා ගැනීමටත් හැකි වුණා. ඒ තමා මේජර් රෝලන්ඞ් රේවන්හාට් හා රොඞ්නි ජොන්ක්ලාස්. මේජර් රෝලන්ඞ් රේවන්හාට් කලකට පෙර සිට මෙහි පදිංචිව සිටි අයෙක්. රොඞ්නි ජොන්ක්ලාස් එවකට දෙහිවල සත්තුවත්තේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළා. ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක කොරල් පර ගවේෂණයෙන් පසු ලංකාවේ මුහුද ගවේෂණය කරන්නට එන්නැයි ජොන්ක්ලාස් ආතර්ට යෝජනා කළා. ඒ ගැන එවේලේ කිසිවක් නොකිව් ආතර් නැව් නැග ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් නගරයට ගොස් මයික් විල්සන් හා එක්වුණා.


    4.jpg

    ඒ වන විට මයික් විල්සන් එහි ගොස් මාස කීපයක් ගතවී තිබුණා. ඔහු එහි මුතුපර කඩමින්, සිටියා. ඊට අතිරේක ව චිත‍්‍රපටවල දිය යට කිමිදුම් දර්ශනවල අතිරේක නළුවකු ලෙස රඟපෑවා. මයික් විල්සන් හා එක් වූ ආතර් එහි දී දිය මතුපිටත් දිය යටත් ලත් අත්දැකීම් ඇසුරෙන් පුවත්පත්වලට ලිපි කිපයක් හා පොතක් ලියුවා. එහි මාස හයක් ගත කළ ආතර් යළිත් ලංකාවට ආවේ මයික් විල්සන් එක්කයි. ඒ 1956 දීය. ඔවුන් දෙදෙනා පිළිගැනීමට වරායට ආවේ ආතර්ගේ අලූත් මිතුරා රොඞ්නි ජොන්ක්ලාස්. එදා ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේ නතර වූ ඔවුන් පසුව බම්බලපිටියේ ඉන්ද්‍රා පටුමගේ තට්ටු නිවාසක පදිංචියට ගියා.


    අපේ රටේ කිමිදුම් පාසලක්


    ඊළඟට ආතර් හා මයික් විල්සන් දෙදෙනා රොඞ්නි සමග දකුණ බලා ගියේ ඔවුන්ගේ මුහුදු ගවේෂණය අරඹන්නටයි. මුහුදේ කිමිදෙන්නට ආතර් කොතරම් ආසා කළා ද කීවොත් අනිත් අයත් ඒ සඳහා පෙලඹෙව්වා. ඔහු හික්කඩුවේ කිමිදුම් පාසලකුත් පටන් ගත්තා. ඒ ලංකාවේ මුල් ම කිමිදුම් පාසලයි. ඒ විතරක් නෙවෙයි, ඔහු අපේ මුහුදු වෙරළට, වැල්ලට ගහ කොළවලට ආදරය කරන්න පටන් ගත්තා. ඒ නිසා ම ඔහු ලංකාව මව්බිම කර ගන්න තීරණය කළා. ඊට පස්සෙ ලොව හෙල්ලූ මත හා විද්‍යාත්මක අනාවැකි පළ කළේත්, ලෝක පූජිත වූ පොතපත ලියූවේත්, ලෝකය ඇමතුවේත් ශී‍්‍ර ලංකාවේ සිටයි. අඩසියවසකටත් වැඩි කාලයක් තිස්සේ ලිපිනය ලෙස දැක්වූයේ ශී‍්‍ර ලංකාවයි.


    8.jpg



    චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා


    ආතර්ට අද ‘චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා’ යන විරුදාවලිය ලබන්නට හේතු වූ එදා 1945 දී වයර්ලස් වර්ල්ඞ් සඟරාවට ලියූ සංකල්පය හැරෙන්නට ජගත් කීර්තියට පත් අනෙක් හැම දෙයක් ම ආතර් කළේ ශී‍්‍ර ලංකාවේ සිටයි. සන්නිවේදන චන්ද්‍රිකා තුනක් උඩු ගුවනෙහි ති‍්‍රකෝණාකාරව ස්ථාපිත කළහොත් මුළු ලෝකයටම පහසුවෙන් පණිවිඩ හුවමාරු කර ගැනීම කළ හැකි යැයි ඒ ලිපියෙන් ඔහු ලොවට මුල්වරට හෙළි කළ මොහොතේ චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවන්නට ක‍්‍රමයක් සොයා ගෙන තිබුණේ නැත. ප‍්‍රථම වරට චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවනු ලැබුවේ 1958 දියි. ඒත් අද වන විට ඔහුගේ සංකල්පය පල දරා ඇති අන්දම දුරකතන, රූපවාහිනී හා අන්තර්ජාල සේවා දෙස බැලීමෙන් ම පමණක් තේරුම් ගත හැකියි. අද ඔහුගේ ඒ චන්ද්‍රිකා තාක්ෂණ සංකල්පය නිසා බිලියන ගණනක් වටිනා කර්මාන්තයක් ගොඩ නැගී තියෙනවා. ඒත් ඔහුට ඒ අදහසට ලැබුණේ පවුම් 15ක් පමණයි. ඒ ඔහු ලිපියට කරනු ලැබූ ගෙවීමයි. ආතර් සී. ක්ලාක් මහතා ඒ ගැන පසු කලෙක කීවේ මෙහෙම දෙයක්: ‘‘සමහර අය කීවා ඒ අදහසට එදා මම හිමිකම් බලපත‍්‍රයක් ලබා ගත්තා නම් මට හුඟක් සල්ලි හම්බ කර ගන්න තිබුණ කියලා. මං හිමිකම් බලපත‍්‍රයක් ලබා ගත්තේ නැත්තේ මං හිතුවේ නැහැ ඒක මගේ ජීවිත කාලයේ දී හැබෑවෙයි කියලා.’’


    2.png



    අනාගතය ගැන කී විද්‍යා අනාවැකි


    1962 දී ඔහු ‘අනාගතය සඳහා පැතිකඩක්’ යනුවෙන් පොතක් ලියමින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රූපවාහිනී නරඹන්නට, පෘථිවියේ ඕනෑම තැනක සිට හෝ වාහනයකින් යන ගමන් හෝ දුරකතනයේ සංවාදයේ යෙදෙන්නට, එසැණ පුවත් ලබා ගන්නට, මුද්‍රිත ලිපි අත් පිටපත් ෆැසිමිලි ක‍්‍රමයට ලෝකයේ ඕනෑම තැනකට යවන්නට, සරල පරිගණක යතුරු පුවරුවකින් ලෝකයේ ඕනෑම පරිගණකයකට හෝ පරිගණක මතක ගබඩාවකට හෝ ඇතුළු වී දැනුම ලබා ගන්නට, කල්තබා ගත යුතු දේ චුම්බක ක‍්‍රමයට පටිගත කර තබා ගෙන ලෝකයේ ඕනෑම තැනක සිට අවශ්‍ය වූ විට ඒවා ලබා ගන්නට අනාගතයේ දී අපට හැකි වනු ඇතැයි එදා ඔහු ඒ පොතෙන් කීවා.


    1969 දී මිනිසා මුල්වරට හඳට යද්දී ඒ පිළිබඳ ව විස්තර ලොවට මුලින් ම කියන්න අවස්ථාව ලැබුණේ ද ආතර් සී. ක්ලාක් මහතාටයි.



    පාඨකයන්ගෙන් සමුගත් අවසාන පණිවිඩය


    2007 දෙසැම්බර් 16 වැනි දා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් සිය 90 වැනි උපන් දිනය දා ඒ නිමිත්තෙන් ඔහු ලොව පුරා සිටින සිය මිතුරනට හා රසිකයනට සමුගැනීමේ වීඩියෝ පණිවිඩයක් නිකුත් කළා. තමන් තවත් නොබෝ කලකින් මෙලොව හැර යන බව කීවා. ඔහු ඉන් හරියට ම තෙමසකුත් දින තුනකට පසු, ශී‍්‍ර ලංකාවට මේ තරම් ආදරය කරපු ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා 2008 මාර්තු 19 වැනිදා පාන්දර 1.30ට සදහට ම අපෙන් සමු ගත්තා. ඒ වෙන කොට එතුමාට අවුරුදු 90ක්. එතුමාගේ අන්තිම පොත වූ අන්තිම න්‍යාය යන අරුත් ඇති ‘ලාස්ට් තියරම්’ නම් කෘතිය ලියා අවසන් කළා විතරයි. පෝලියෝ රෝගයේ අතුරුඵලයක් හැටියට අවුරුදු 30ක් ම රෝද පුටුවකට සීමා වෙලා හිටියත් එතුමා ලෝකයේ වෙනත් කිසිම කෙනෙක් නොකළ වැඩ කොටසක් කළා.


    එදා 90 වැනි උපන් දිනය දා ලෝකයට නිකුත් කළ වීඩියෝ පණිවිඩයෙන් ඔහු ජීවත්ව සිටිය දී තමන් දකින්න ආසා කළ කරුණු තුනක් ගැනත් සඳහනක් කළා. ‘මට තැවෙන්නට දෙයක් නැහැ. මට ලබා ගත යුතු දෙයක් තවත් ඉතිරිව නැහැ. ඒත් මං ආසයි, මගේ ජීවිත කාලය තුළ, සක්වළ ජීවීන් ඇතැයි යන්නට සාක්කියක් දකින්න. ලෝකය පිරිසිදු ඉන්ධනයක් භාවිත කරනවා දකින්න. තුන්වැනි කාරණය මා මේ ජීවත්වන මගේ මේ රට හා සම්බන්ධවයි. ශී‍්‍ර ලංකාවට සාමය උදා වෙනවා දකින්නත් මං ආසයි.’ ඔහු මෙරටට ආදරය කළ තරම ඔහුගේ ඒ අවසාන පණිවිඩයෙනුත් ප‍්‍රකට වුණා.






    ආචාර්ය ආතර් සි. ක්ලාක්ගේ ජයග‍්‍රහණයන් කීපයක්.


    • 1954 දී ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරයේ හා ශී‍්‍ර ලංකාව අවට ඉන්දියන් සාගරයේ කිමිදුම්වල නිරත වුණා.
    • 1956 සිට ශී‍්‍ර ලංකාවේ පදිංචිව සිටිනවා.
    • 1975 දී ශී‍්‍ර ලංකා පුරවැසිභාවය පිරිනමනු ලැබූ ප‍්‍රථම විදේශිකයා
    • පොත් 70ක් ලියා තියෙනවා. විශේෂ ලිපි හා කෙටිකතා 500ක් පමණ ලියා තියෙනවා.
    • 1964-1968 කාලයේ දී චිත‍්‍රපට අධ්‍යක්ෂක ස්ටැන්ලි කුබ්රික් සමග ‘2001- ස්පේස් ඔඩිසි’ චිත‍්‍රපටය හා විද්‍යා ප‍්‍රබන්ධය නිර්මාණය කළා.
    • 1957-70 විද්‍යා ආචාර්යවරයෙක් ලෙස ඇමරිකන් සරසවිවල සේවය කළා.
    • 1957-70 කාලයේ දී ම CBS TV සඳහා ඇපලෝ වැඩ පිළිවෙළේ විශේෂඥ විස්තර ප‍්‍රචාරය කළා.
    • 1979 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘බද්දේගම’ චිත‍්‍රපටයේ ලෙනාඞ් වුල්ෆ්ගේ චරිතය රඟපෑවා.
    • යෝක්ෂයර් ටෙලිවිෂන් ආයතනයේ ‘ආතර් සී. ක්ලාක්ගේ ගුප්ත ලෝකය (1980)’, ‘විස්මිත බලයෙන් පිරි ලෝකය (1984)’ හා ‘විස්මිත විශ්වය (1994)’ යන රූපවාහිනී වැඩසටහන් ලියා ඊට සහභාගි වුණා.
    • 1980 දී ඉන්දියාවේ අහ්මෙදාබාද්හී භෞතික පර්යේෂණ රසායනාගාරය විසින් ‘වික‍්‍රම් සාරාභායි මහාචාර්ය’ යනුවෙන් ඔහුට පදවියක් පිරිනමා තිබුණා.
    • 1986 නව දිල්ලියේ දී නේරු අනුස්මරණ දේශනයක් පැවැත්වුවා.
    • 1992 දී රාජකීය රූපවාහිනී සංගමයේ ‘ඇල්ස්ටෙයාර් කුක් දේශනය’ පැවැත්වුවා.


    එතුමා දැරූ තනතුරු කීපයක්:

    • සභාපති, බි‍්‍රතාන්‍ය අන්තර්ග‍්‍රහලෝක සංගමය (1947-1950, 1953)
    • ගරු සභාපති, අන්තර්ජාතික චන්ද්‍රිකා වෘත්තිකයන්ගේ සංගමය
    • සභාපති, බි‍්‍රතාන්‍ය විද්‍යා ප‍්‍රබන්ධ සංගමය
    • යාවජීව සාමාජික, බි‍්‍රතාන්‍ය විද්‍යා ලේඛකයන්ගේ සංගමය
    • ගරු උපසභාපති, එච්. ජී. වේල්ස් සංගමය
    • අනුසාසක: නව තාක්ෂණය සඳහා වූ ආතර් ක්ලාක් මධ්‍යස්ථානය, ශී‍්‍ර ලංකාව.
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇත්තටම ලන්කාවේ ඉදන් නිදහස් අධ්යාපනයෙන් ඉගෙන ගෙන නිදහස් සෞඛ්යයෙන් මෙහෙත් අරන් රට දාලා යන මිනිස්සුන්ට ආදර්ශවත් පුද්ගලයෙක් ...

    මම නම් මෙතුමා ගැන නම ගම අහලා තිබුනා මිසක් වැඩිය දෙයක් දැන ගෙන හිටියෙ නැ