සසුන් කෙත අස්වැද්දු අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමිපාණන් වහන්සේට නිවන්සුව.....
අපවත් වී වදාළ සියම් නිකායේ, අස්ගිරි පාර්ශවයේ, මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමිපාණන් වහන්සේගේ අපවත්විම, මුලූමහත් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට පමණක් නොව සමස්ත සම්බුද්ධ ශාසනයටම සිදුවූ ඉමහත් ශෝකජනක සිද්ධියකි.
1922 ජනවාරි 11 දින මෙලොව එළිය දුටු නාහිමිපාණන් 1936 දී උතුම් පැවිදි දිවියට පත්වූහ. වර්ෂ 1988 සිට අනුනායක ධූරය හොබවමින් සිටි උන්වහන්සේ 2015 මැයි මස 08 දින අස්ගිරි පාර්ශවයේ 21 වන මහානායක පදවියට පත්වූහ.
1982 දී අස්ගිරි පාර්ශවයේ කාරක සංඝසභික ධූරයට පත් උන්වහන්සේ, 1994 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට පත්වූහ. 1981 සිට ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු භාරව අවස්ථා ගණනාවකදී කටයුතුකළ අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේ මෙරට බෞද්ධ ශාසනය ඔපවත් කළ ශාසන හිතකාමී නිර්මල දිවිපෙවෙතක් ගතකළ හිමි නමකි.
බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස විශාල සේවයක් සිදුකළ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමිපාණන් වහන්සේ විසින් සංඝ පරම්පරාවේ තිරජීවනය උදෙසා කළ මෙහෙයද අනුපමේය වේ. දායක දායිකාවන්ගේ ආගමික හා සමාජීය අවශ්‍යතා ඉටුකිරීම මෙන්ම පළාතේ පොදු සියලූ කාර්යයන්හි පෙරමුණ ගෙන පුළුල් බෞද්ධ පුනර්ජීවයකට දායකවූ, උන්වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයෙක් ලෙසද ප්‍රචලිතය.
වසර ගණනාවක් සසුන් කෙත අස්වැද්දු, අපවත් වී වදාළ සියම් නිකායේ, අස්ගිරි පාර්ශවයේ, මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා ...
රංජිත් සියඹලාපිටිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
2016.03.11