ෂර්ලොක් + මහින්ද

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ෂර්ලොක් + මහින්ද

    අප විසින් සිදු කරන ලද පරීක්ෂණ වල සටහන් මවිසින් පාඨකයා වෙත මුදා හරින්නේ මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස්ගේ අවසරය ලද පසුය. ඒ බොහෝවිට ඒ කථාවන්ට සම්බන්ධ අයට අගතියක් නොවන පරිදිය. නමුත් මේ කථාව මා පාඨක ඔබට හෙලි කරන්නේ මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස්ගේ අවසරයකින් තොරවය. මක් නිසාද යත් ඒ කුඩා දිවයින මේ මොහොතේ පත්ව ඇති අර්බුදයට අප දෙදෙනාද වග කිව යුතු බවට මාගේ හෘද සාක්ෂිය දොස් නගන බැවිනි. ඊටත් වඩා අයිරින් ඇඩ්ලර්ගේ සිද්ධියෙන් පසු හෝම්ස් අතිශය දරුණු පරාජයකට ලක්වූ පලමු අවස්ථාව මෙය බැවිනි. ඒ රටේ ඇති වූ තත්වය පිලිබඳ මිනිසුන්ගේ බොහෝ වැරදි සිතිවිලි මේ කතාව කියවීමෙන් පසු වෙනස් වනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම කතාව මෙතරම් ඉක්මනින් පාඨකයන් අතට පත් කිරීම පිලිබඳව මා හිතාදර මිත්‍රයා මට සමාව දෙනු ඇතැයි සිතමි.

    **********************************************************

    මාගේ දිනපොතෙහි සටහන් අනුව ඒ 2018 වසරේ වසන්ත සමයේ ආරම්භයයි. ලන්ඩනය පුරාම මනා හිරු රශ්මියක් පැතිර තිබූ සවසක මා බේකර් වීදියෙහි ඇවිද යමින් සිටියෙමි. මට ඉදිරියෙන් අත් දෙකෙහිම බර මලු දෙකක් සහිත මදක් තරබාරු පුද්ගලයෙක් ඇවිද යමින් සිටි අතර ඔහු නිවාස වල අංක පරීක්ෂා කරමින් ඉදිරියට ගියේය. ඔහුගේ හැසිරීම අනුව ඔහු සොයන්නේ මා මිත්‍රයා වෙසෙන 221බී නිවස බව අත්දැකීමෙන් මා හට පසක් විය. මා ක්‍රමයෙන් ඔහුට ලංවීමි.

    “ මිත්‍රයා ඔබ සොයන්නේ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මහතාගේ ගෙදරද ? ”


    අමුත්තා එක්වරම මා දෙස හෙලුවේ සැක මුසු බැල්මකි. ආසියාතික පෙනුමක් තිබූ සද්දන්ත දේහදාරි මිනිසාගේ පෞරුෂය කටහඬින්ද මැනවින් කැපී පෙනෙන බව මට දැනුනේ ඔහුගේ හඬ මුදා හල විටය.

    “ ඔහෙට මක්කටෙයි ඒක? ඔහේ මාව දන්නවයි?”

    මේ මිනිසාගේ බැල්ම දෙස බලා සිටීම අසීරු වූ බැවින් මා බිම බලාගෙනම උත්තර දුනිමි.

    “ මම ඔබව දන්නේ නෑ මිත්‍රයා. මගේ නම දොස්තර වොට්සන්. හෝම්ස්ගේ මිත්‍රයා. ඔබ ආවේ හෝම්ස් මුණ ගැහෙන්න නම් මට පුලුවන් ...............”

    මට කියා ගත හැකි වූයේ එපමණකි. මේ මිනිසා මගේ දෑත තරකොට අල්ලා ගත්තේය.

    “ අන්න එහෙම කියනවකෝ අයිසේ. පරංගියා කෝට්ටේ ගියා වාගේ යන්නේ මක්කටෙයි ඔහේ මේ ළඟම ඉද්දි. කෝ ෂර්ලොක් පුතා ගෙදර ඉන්නවයි ? ”

    මද වේලාවකින් අප සිටියේ දුමින් පිරී ගිය ෂර්ලොක් හෝම්ස්ගේ කාමරයේය. දුම මැදින් පයිප්පය දල්වා ගත් හෝම්ස්ව සොයාගන්නට අපට මද වේලාවක් ගතවිය. අමුත්තා දුටුවනම හෝම්ස්ගේ ඇස් දීප්තිමත් විය.

    “ආයුබෝවන් මිත්‍රයා. මගේ නම ෂර්ලොක් හෝම්ස්. ඔතනින් ඉඳගන්න මහත්මයාණෙනි. ශ්‍රී ලංකාව වගේ දුර රටක ඉඳන් ඇවිත් ඔබට වෙහෙසත් ඇති. පොඩ්ඩක් ඉන්න මම හඩ්සන් මහත්මියට කෝපි ගේන්න කියන්නම් උණු උණු සැන්ඩ්විච් එක්කම ”

    අමුත්තාද මමද පුදුමයෙන් බලා සිටිද්දී හෝම්ස් පහත මාලයට බැස්සේය.

    “මේකා යකාගේ මිනිහෙක්නේ වොට්සන් මහත්තයා. මේ මිනිහා මගේ රට හරියටම කිව්වේ කොහොමෙයි ? ”

    මම මද ආඩම්බරයෙන් හිනා වීමි.

    “මිත්‍රයා. ඒ තමයි ෂර්ලොක් හෝම්ස්ගේ නිරීක්ෂණවලින් නිගමන කරා එළඹීමේ හැකියාව. කොහොම වුනත් ඒක කිව්වේ කොහොමද කියන එකනම් මටත් ප්‍රශ්නයක්.”

    මද වේලාවකින් හෝම්ස් තරප්පු පෙල නැග පැමිණියේ දුම් දමන කෝපි හා සැන්ඩ්විච් සමගය.

    “හඩ්සන් මහත්මියට තරප්පු නගින්න අමාරුයි දැන්. ඒ නිසා මම අරගෙනම ආවා. ඉතිං මගේ ශ්‍රී ලාංකීය මිත්‍රයා. මට කියන්න ඔබේ ගැටලුව? කොහොමද මම ඔබට උදව් කරන්නේ? ”

    අමුත්තා වටපිට බලා හඬ මදක් පහත් කලේය.

    “මගේ නම මහින්ද. මම දකුණෙ මිනිහෙක් ”

    හෝම්ස් ඉබේම පුටුවෙන් නැගිට්ටවෙනු මා දුටුවෙමි. ඔහුගේ නළල රැලි ගැසී තිබුණි.

    “සමාවෙන්න මහත්මයාණෙනි. මූණ පුරා රැවුල වවලා නිසා අඳුනගන්න බැරි වුනා. කෝ සාටකේ? ”


    එවර අපහසුතාවයට පත්වුනේ අමුත්තාය. ඔහු පුටුවේ ඒ මේ අත ඇඹරුණේය.

    “නෑ. නෑ. මං ඒ මහින්ද නෙමෙයි. මහින්ද දේශප්‍රිය. ඒ රටේ මැතිවරණ කොමිසමේ සභාපති ”

    හෝම්ස් හාන්සි පුටුවට බර වුනේය.

    “සමාවෙන්න මිත්‍රයා. මට ඔබේ නම එච්චර හුරු පුරුදු නෑ. ”

    අමුත්තා මහ හඬින් සිනාසුනි.

    “එහෙනම් ඔහේ ළඟකදි ලෝක ප්‍රසිද්ධ කියමන් හොයන්න ගූගල් සර්ච් කරලා නැති පාටයි හෝම්ස් මහත්තයා. ”

    අමුත්තා කීවේ සිය රැවුල අතගාමිනි.

    “ඔබේ ප්‍රසිද්ධ කියමන් මොනවාද මහත්මයා. දොස්තර කෙනෙක් වුනත් ඔබේ සාහිත්‍යමය භාෂාවට මම ඉතාම කැමතියි. ”

    මම කීවේ අමුත්තාගේ වාග් විලාෂයෙන් මුසපත්වය.

    “ඔහෙලට දැනගන්න මම එකක් මතක් කරලා දෙන්නම්. ඒක මම කිව්වේ 2015 දී. අහලා නැතෙයි කියමනක් - මක්කටෙයි දණිස්සෙන් පහලට. තියන්නකො ඔලුවටම - කියලා”

    හෝම්ස් හා මම මූණෙන් මූණ බලා ගතිමු. මද සිනාවක් නගාගත් හෝම්ස් හඬ අවදි කලේය.

    “ඉතාම අගෙයි මිත්‍රයා. ලංකාවේ මිත්‍රයන් කීපදෙනෙකුටම මම පහුගිය කාලේ උදව් කලා. ඒ බොහෝමයක් දේශපාලකයින්. නමුත් ඔබ රජයේ උසස් නිලධාරියෙක්. මොකක්ද ඔබේ ප්‍රශ්නය? ”


    “ප්‍රශ්නය හෝම්ස් මහත්තයා ඔබ කියපු දේශපාලකයින්ම තමයි. මුන් වෙලාවට ඡන්දෙ තියන්නේ නෑ හෝම්ස් මහත්තයා. විකාර කිය කියා කල් දානවා. මම හොඳටම පච වෙනවා. මුන් පොඩ්ඩක් හිතන්න එපාය මමත් තත්වයක් තියෙන මිනිහෙක්නේ ”

    අමුත්තාගේ හඬ වේදනාවෙන් බර විය. හෝම්ස්ගේ පහසුවෙන් නොසැලෙන හදවතද උණුවී ඇති සෙයකි.

    “වොට්සන් අපි මේ මහත්මයාට බ්‍රැන්ඩි ස්වල්පයක් දෙමු. එතකොට ඔය අපහසුතාවය පහව යයි ”

    මම අමුත්තාට බ්‍රැන්ඩි ස්වල්පයක් ලබා දුන් අතර මද වේලාවකින් ඔහු යථා තත්වයට පත්විය. හෝම්ස් හඬ අවදි කලේ එවිටය.


    “හොඳයි මිත්‍රයා. දිගටම ඔබේ කතාව කියන්න. ”


    අමුත්තා නැවත සිය ගැඹුරු හඬ අවදි කලේය.

    “කොහොම හිටපු මිනිහෙක්ද මම? මීඩියා ඉස්සරහා රජෙක් වගේ හිටපු කෙනෙක්. දැන් මට කියන්න තියෙන්නෙ පිච් එක රෙඩිනම් මැච් එක ගහනවා කියලා විතරයි. පිච් එක රෙඩි වෙන්නෙත් නෑ. මැච් එක වදින පාටකුත් නෑ. එකම කතාව හැමදාම කියන්න පුලුවන්ද මහත්වරුණි. මම දකුණේ මිනිහෙක්. මටත් ලැජ්ජ හිතෙනවා ”

    අමුත්තා සුසුමක් හෙලුවේය.

    “ඔබ ඉල්ලන දෙයක් දෙන්නම් හෝම්ස් මහත්තයා. මට අපේ රටේ ඡන්දයක් තියන්න වැඩ කටයුතු ලෑස්ති කරලා දෙන්න. මට තත්වයක් තියාගෙන වැඩක් කරන්න ඉඩක් හදලා දෙන්න. ”

    හෝම්ස් මදක් කල්පනා කලේය.


    “ඇත්තම කියනවානම් මගේ මිත්‍රයා මම රටක අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන්නේ නොකරම බැරි වුනොත් විතරයි. නමුත් ඔබේ රට ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කරන නිසා මම එහේ තත්වෙ ගැන ටිකක් විතර දැනුවත්. ඔබේ ඉල්ලීම සාධාරණයි කියලා මට හිතෙන්නේ ඒකයි. සීමා නිර්ණය කිය කියා කට්ටිය වැඩේ කල් දානවා නේද? ”


    එවර පුදුමයට පත් වූයේ අමුත්තාය.


    “ඔය දොඩන්නේ බලා හිටියා වාගේ. අනේ හෝම්ස් මහත්තයා මම ඔහෙටම කියලා බල මාලු ඇඹුල් තියල් කරන් ආවා. මේං දකුණෙ මී කිරි. අනේ හෝම්ස් මහත්තයා, ඔහෙට බැරිනම් මේක වෙන කාටවත් බෑ හරිය ”

    හෝම්ස් කල්පනාවට වැටුනි.

    “හොඳයි මිත්‍රයා. මම තාම වචනයක් දෙන්නේ නෑ. තව සති තුනකින් ආපහු එන්න. එදාට මම හරියටම වැඩේ කියන්නම්. ”

    අමුත්තා නැගිට්ටේ සතුටෙන්ම නොවන බව මට වැටහිනි.

    “එහෙම කියලා කොහොමෙයි? ඔහේ මේක කරලා නුදුන්නොත් මම මේකෙන් ඉල්ලා අස්වෙලා ගෙදර යනවා. ඕං නොකිව්වයි කියන්න එපා. ”

    “එන ගමන් රටේ ව්‍යවස්තාවේ පිටපතකුත් ගේනවානම් හොඳයි. වැඩේ භාරගත්තයි කියලා හිතාගමුකෝ. ”


    හෝම්ස් අමුත්තාට සමුදෙමින් පැවසීය.

    **********************************************************

    හරියටම සති තුනකට පසු සන්ධ්‍යාවක නැවත අප මුණ ගැසුණෙමු. මා බේකර් වීදියේ නවාතැනෙහි තරප්පු පෙල නගිද්දී මට හෝම්ස්ගේ හඬ ඇසෙන්නට විය. අමුත්තා පහසුවෙන් හෝම්ස් ඉදිරියේ අසුන් ගෙන සිටියේය.

    “එතකොට මේකෙ හැටියට මැතිවරණෙකට යන්න නම් පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනි. ඒකට බලය තියෙන්නේ ජනාධිපතිට. ඒත් ජනාධිපති ඒක කරන්න නම් ඔහු තියෙන ආණ්ඩුව එක්ක ........ ආ වොට්සන් එන්න එන්න. ඔබේ කබාය ඔතනින් එල්ලන්න. අපි බොහෝ දේ කතා කළා. ඔන්න වොට්සන් දැන් තමයි ලංකාව ගැන මම පහුගිය කාලේ කරපු සමාජ විද්‍යාත්මක පර්යේෂණේ වැදගත් වෙන්නේ ”

    “ඒ කිව්වේ හෝම්ස්? මට මුකුත් තේරෙන් නෑ ”

    “කලබල වෙන්න එපා වොට්සන්. මේක බොහොම සිත් ඇදගන්නා සුලු වැඩක්. මේ වැඩේ මා ළඟට ගෙනාවට මා ඔබට ණය ගැතියි මිත්‍රයා. ”


    හෝම්ස් අමුත්තාට කීවේ අවංක හඬිනි.

    “හොඳයි දැන් මට ඔබේ උදව් ඕනි මිත්‍රයා. මට ඕනි බොරු කියන්න බය නැති තරුණ කොල්ලෙක්. ඈත ගමක වගේ වෙනවානම් වැඩිය හොඳයි. ආරක්ෂක අංශවලට සම්බන්ධයක් තිබුන කෙනෙක් වෙනවා නම් විශිෂ්ඨයි. ඔය අලුත් ෆෝන් ගැන එහෙම පොඩ්ඩක් දැනගත්තම ඇති. හැබැයි ඔබට විශ්වාසවන්ත චරිතයක් වෙන්නම ඕනි. කවුරු හරි ඉන්නවද? ”

    අමුත්තා ඇස් පියාගෙනම කල්පනාවට වැටුනි. මද වෙලාවකින් පුලුල් සිනාවක් සහිතව ඔහු අප දෙසට හැරුණි.

    “වැඩේ හරි හෝම්ස් මහත්තයා. කුමාර මල්ලි ඉන්නවා ”

    “කවුද කුමාර මල්ලි ? විශ්වාසද ? ”

    “මොකෝ නැතිව. නාමල් කුමාර. දුර නෑදෑකමකුත් තියෙනවා. ගින්දර වගේ පොරක්. ‍ඇඟට පතට නොදැනී කෙප්ප කෙලින්නේ. හිනා යන්නෑ පොඩ්ඩක්වත්. ”

    “විශිෂ්ඨයි. එතකොට පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දෙකට යනවාට කැමති මාධ්‍ය ජාල කීපයක් ඕනි. එහෙම කට්ටිය හොයාගන්න පුලුවන්ද? අපහසුතාවයක් තියෙනවද? ”


    දේශප්‍රිය මහතා නැවත කල්පනාවට වැටුනි. මද වේලාවකින් ඔහු හඬ අවදි කලේ සතුටිනි.

    “දෙරණ තියෙනවා. අමුණුගමලා කොහොමත් කැමතියි ඡන්දෙකට යන්න. ”


    හෝම්ස් හිස දෙපසට වැනීය.

    “එකක් මදි. වැඩේ විශ්වාසනීය විදියට වෙන්න නම් තව එකක්වත් ඕනි ”

    “ඇයි හෝම්ස් මහත්තයා හිරු තියෙන්නේ. මල්ලිව එලියට ගන්න රේනෝ ඕනි දෙයක් කරයි ”

    “විශිෂ්ඨයි මහත්මයා. ඔබ ඉක්මනින්ම අර නාමල් මහත්තයයි, මේ මාධ්‍ය ආයතන හිමිකරුවොයි එක්ක මට රහස් හමුවක් සංවිධානය කරලා දෙන්න ඕනි. පොඩ්ඩක් ඉන්න. අර නාමල් මහත්තයාට අපි සංවිධානයක් හදමු. ලංකාවේ හැටියට නැගලා යන නමක් දාමු”


    හෝම්ස් දෑස් පියාගෙන දුම් වළල්ලක් පිට කලේය. එක්වරම ඉද්ද ගැසුවා සේ නැගිට්ටේය.

    “මරු. පහුගිය කාලේ පුරාවටම ලංකාව අධ්‍යයනය කරලා මටත් නියම අදහස් එනවා වොට්සන්. අපි දාමු දූෂණ විරෝධී බලකාය වගේ නමක්. එතකොට මිනිහගේ තනතුර මෙහෙයුම් අධ්‍යක්ෂ. කොහොමද ඒක? ”

    දේශප්‍රිය මහතා කට කොනින් සිනාවක් පා නැගී සිටියේය.

    “ඔහෙත් හරි මනුස්සයෙක් හෝම්ස් මහත්තයෝ. ඔහේ හරියන්නේ මෙහෙට නෙවෙයි එහෙට. දේශපාලනේ කරන්ඩ. ”

    **********************************************************

    ඉන් අනතුරුව ගෙවුනු මාස දෙකක පමණ කාලය මට අතිශය කාර්යබහුල විය. කෙසේවෙතත්, පැවති කුතුහලය හේතුවෙන්ම දිනක් වෛද්‍ය මධ්‍යස්ථානය මා මිත්‍ර අර්නස්ට් හට පවරා හෝම්ස් හමුවීමට යාමට පිටත් වීමි. ලන්ඩනයේ වේලාව දහවල් 1.30 ට පමණවිය. හෝම්ස් අත්පොලසන් දෙන හඬින් මා තරප්පු පෙල නැග්ගා නොව දිව්වා කිවහොත් නිවැරදිය. හෝම්ස් ලංකාවේ නිවුස් චැනලයක් නරඹන අතර නාමල් කුමාර නැමැත්තෙක්ගේ හෙලිදරව්වක් විකාශය වෙමින් පවතී.

    “විශිෂ්ඨයි වොට්සන්. අති විශිෂ්ඨයි. මේ හාදයා නියමෙටම වැඩේ කරනවා ”

    “ඒ වුනාට මේ වැඩේ ටිකක් හරි මදි වගේ නේද හෝම්ස්. ඔබමයි කිව්වේ අපි රටක අභ්‍යන්තර ගැටලුවලට මැදිහත්වීම හොඳ නැති බව ”

    “ඔබට අමතකද වොට්සන් අපි රැජින වෙනුවෙන් වෙනත් රටවල් සමග කරපු සීතල යුද්ධ ගාන. මේකත් අපේ සේවාලාභියා වෙනුවෙන් කරන වැඩක්. ඇත්තටම ඔහුගේ ඉල්ලීම මොන තරම් සාධාරණද? ඔහු කොතරම් අවංක කෙලින් මනුස්සයෙක්ද? ”

    “ඇත්තටම ඔහු පිලිබඳව නම් මමත් පැහැදුනා හෝම්ස්. එතකොට ඉස්සරහට සිද්ධ වෙන්නේ මොකක්ද? මට මේ මුකුත් තේරෙන් නෑ ”


    “හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට වොට්සන්. ඔක්තෝබර් මාසේ අන්තිම සතිය වෙනකල් ඉවසන්නකෝ. ”
    **********************************************************


    ඉන්පසු සිදුවූ සියල්ල පාඨක ඔබ දන්නා බැවින් ඒ තොරතුරු නැවත කියා ඔබව වෙහෙසවීමට මා උත්සාහ ගන්නේ නැත. කෙසේ වෙතත්, හෝම්ස්ගේ උත්සාහය අවසන් මොහොතේදී ව්‍යර්ථ විය. හෝම්ස් ඉන් දැඩි කම්පනයකට පත්වූ අතර මෝෆීන් විශාල වශයෙන් එන්නත් කර ගැනීමට පවා පෙලඹී තිබුණි. අවසානයේදී ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී යථා තත්වයට ගැනීමේ වෙහෙසකර කාර්යයට උරදී, සසෙක්ස්හි විවේක ගැනීම සඳහා ගෙන යාමට මට සිදු විය.


    **********************************************************

    “ඇත්තටම අයිරින් ඇඩ්ලර්ගේ සිද්ධියෙන් පසුව ඔබ ඔය විදිහට පරාජය වෙනවා මා දැක්කමයි හෝම්ස්. කොතනද ඔබට වැරදුනේ? ”

    සසෙක්ස්හි මද පවන විඳිමින්ම මම සුරුට්ටුවක් දල්වා ගතිමි.

    “මගේ සැලැස්මේ කිසිම අඩුවක් තිබුණෙ නෑ වොට්සන්. ඒත් එක සුවිශේෂී වැදගත් කරුණක් මට අතපසු වුනා ”

    “ ඒ මොකක්ද හෝම්ස්? ”

    “මගේ පර්යේෂණයට අවශ්‍ය තොරතුරු හොයන්න පහුගිය කාලෙ මම ලංකාවේ පත්තර බැලුවා. නිවුස් බැලුවා. අපරාධ ගැන හෙව්වා. ඒත් සිද්ධවෙන අපරාධවල බරපතලකම හැටියට එහේ නීතියක් තියෙන බවක් මා දැන සිටියේ නෑ වොට්සන්. ඒ නිසාම එහේ අධිකරණයක් නැති බව හිතාගෙනයි මගේ සැලැස්ම හැදුනේ. ඒක මං වගේ කෙනෙක් අතින් නොවිය යුතු වරදක් වොට්සන්. බරපතල වරදක් ”


    හෝම්ස් සුසුමක් පිට කලේය.

    “අපි ඒක අමතක කරමු හෝම්ස්. ඔබ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් ලංකාවේ අධිකරණයක් තියෙන බව දැනගත්තේ මේ සිද්ධියෙන් පස්සෙලු. ඇත්තටම රතු කූඩැල්ලාගේ පරීක්ෂණයෙන් පස්සේ අපිට ඔහොම දෙයක් වුණාමයි නේද? ඒක නෙමෙයි හෝම්ස්. එදා දැකපු ගමන්ම දේශප්‍රිය මහත්තයා ලංකාවෙන් බව අඳුනගත්තේ කොහොමද? ”

    හෝම්ස් අමුතු සිනහවක් හෙලුවේය.

    “එතුමා ක්‍රිකට් පිස්සෙක් වොට්සන්. ඔහුගේ බෑගය තුල තිබුණු පත්තරේ ඔහු අවසානයට කියවූ පිටුව මගේ නිරීක්ෂණයට ලක්වුනා. ඒ ක්‍රිකට් තරඟයක විස්තර. ඒ වගේම ඔහුගේ පෙනුම ආසියාතිකයි. මූණෙ දුකින් පිරි ගතියක් තිබුණා. අනිවාර්යයෙන් ලාංකිකයෙක් විය යුතුයි. ”

    “ඒත් හෝම්ස් ඔහු ඉන්දියානුවෙක්, පාකිස්ථානුවෙක් හෝ විශේෂයෙන් බෙංගාලි ජාතිකයෙක් වීමේ සම්භාවිතාවකුත් තිබුණා නේද? ඔවුනුත් ක්‍රිකට් සෙල්ලම් කරනවනේ ”


    හෝම්ස් මහ හඬින් සිනාසුණේය.

    “ඔබ හරි වොට්සන්. නමුත් මේ දවස්වල දුකින් ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉන්නේ කොහෙද? ලංකාවේ විතරයි. ”
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    “ඔබ හරි වොට්සන්. නමුත් මේ දවස්වල දුකින් ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉන්නේ කොහෙද? ලංකාවේ විතරයි. ”


    :baffled::baffled::sorry::sorry::(:(:(
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    mahin deshapriya kiyana kariyage nama dakka gaman kiyawana eka nawaththuwa ...chandayak hariyata thiyaganna bari guu huththek.........e wunata talk denne mahadana muththa wage ....