සම්පත් බැංකු නිර්මාතෘවරයා වන්නේ "ඇල්බට් එදිරිසිංහ" මැතිතුමාය. පසුව පැවිදි උතුමෙක් එතුමා වයස අවුරුදු එකසිය හතක අයුෂයක් භුක්තිවිඳිපු අයෙකි. එතුමන් ගිහි කාලයේත් හොඳ බෞද්ධයෙක් වූවාසේම බෞද්ධයන් ගැන හිතපු ඉතාම සාමකාමී මිනිසෙකි. එතුමාගේ වැදගත්කම තමයි මොන තරම් ධනවතෙක් වුණත් අපේ මුදුන් මුල නැත්නම් ජාතියේ පදනම අමතක නොකිරීම.
එකල පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් රුපියල් පණහක් ඉල්ලගෙන කොළඹ පැමිණ තනිවම දියුණු වූ දැවැන්ත මිනිසෙක්.
ඒ අභාෂය ලබමින් අද එතුමාගේ දූ පුතුන්ද එවැනිම සත්පුරුෂ බෞද්ධයින්සේ කටයුතු කරමින් සිටිති. ඔහුන් විසින් ලංකාවෙ සියලු දහම් පාසල් හා විහාරස්ථාන සදහා පුණ්‍ය කටයුතු සිදුකරමින් තම පියාණන්ගේ අඩිපාරේ ගමන්කරමින් වැඩදායක දරුවන්සේ වැඩකටයුතු කරමින් සිටිති.
ඒ 1980 වර්ෂයයි. මේ වනවිට ලංකාවේ රාජ්‍ය බැංකු සහ කොමර්ෂල් ,සෙලාන් වැනි පුද්ගලික බැංකු ක්‍රියාත්මක විය. එම කිසිදු බැංකුවක් පරිඝණක පද්ධතියක් මගින් පාලනය නොවූ අතර, සම්පූර්ණයෙන්ම පාහේ ලෙජර් පොත්වල ගිණුම් සටහන් කිරීම මගින් පවත්වාගෙන යන ලදී. ඒ නිසාම, ගිණුමෙන් මුදල් ලබා ගැනීමට අදාල ශාඛාවට යාම අත්‍යාවශ්‍ය වූ අතර එහිදී පෝලිමේ සිට වව්චරය කවුන්ටරවලට ලබාඋන් පසු ටෝකන් එකක් පළමුව ලබාදේ. සියලු දෑ පරීක්ෂා කොට ගිණුම් සටහන් තබා නැවත ටෝකන් අංකය හඩගා කියනවිට පැය දෙක තුනක් ඉක්ම ගොස් තිබුණි. දිනකට පැය කීපයක් පමණක් විවෘව තිබූ එම බැංකුවල, වර්තමානයේ කියවෙන Customer Service යන වචනය එකල හුදෙක් අරුමයක්ම විය......
ලංකාවේ මූල්‍ය පාලනය බොහෝදුරට සිංහල බෞද්ධයන් අතින් ගිලිහී තිබුණි. එක්තරා ආගමකට ප්‍රමුඛස්ථානය ලබාදුන් පුද්ගලික බැංකුවක් නිසා සහ රාජ්‍ය බැංකුවල අකාර්යක්ෂමතාවයන් ,අපහසු ණය කොන්දේසි මෙන්ම, හෙට්ටිවීදියේ ගිණි පොලීකාරයන් නිසා සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට ණය මුදල් ලබා ගැනීම සිහිනයක්ම විය.
මේ අතර...
1980 නොවැම්බර් මාසයේ තායිලන්තයේ චියැං මායි නගරයේදී ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ක්‍රියාකාරී කමිටුව රැස්වේ.
රැස්වීමේ මුලසුන හෙබවූයේ ශ්‍රී ලංකාවේ නම්දැරූ ව්‍යාපාරිකයෙකු වූ ඇල්බට් එදිරිසිංහ මහතාය. සාකච්ඡාවේ මාතෘකාව වූයේ කලාපීය බෞද්ධයන්ට ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට ඇති අපහසුතාවයි.බැංකු ඒ අයට ආධාර කිරීමට මැලිකමක් දක්වන බව කියැවිණි. මීට ඇති එකම පිළියම බෞද්ධ බැංකුවක් පිහිටුවීම යයි දීර්ඝ සාකච්ඡාවකින් පසු කවුරුත් පිළිගත්හ. ලෝක බෞද්ධ මහා සම්මේලනය රජයට අයත් නොවන සංවිධානයක් හෙයින් බැංකුවක් පිහිටුවීමක් අසීරු කරුණක් බව ඒත්තු ගියෙන්, විකල්පයක් වශයෙන් ඒ ඒ සාමාජික රටවල ධනවත් පුද්ගලයින් හවුල් කරවාගෙන වෙන වෙනම බැංකු පිහිටුවාගත යුතු යැයි යෝජනා කෙරුණි.
මේ සම්බන්ධයෙන් කමිටු යෝජනාවක් අනුව බෞද්ධයන්ගේ දියුණුව සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අපහසුතාව හේතුකොටගෙන බෞද්ධ රටක් හෝ රටවල් කීපයක් එකතුව අන්තර්ජාතික බැංකුවක් පිහිටුවීම සඳහා පියවර ගත යුතු යැයි තීරණය විය. බෞද්ධ මූලධර්මයන්ට පටහැනි නොවන අයුරින් අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ විශේෂඥ දැනුම එවන් බැංකුවක් මගින් ලබා ගත යුතු යැයි ද යෝජනාවේ සඳහන් විය.
මෙම රැස්වීමට සහභාගි වූ ශ්‍රී ලාංකික දූත පිරිස මෙහෙයවනු ලැබුවේ ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ඊ එල් බී හුරුල්ලේ මහතා විසිනි ශ්‍රී ලංකාව ද යෝජනාව අනුමත කළේය.
හුරුල්ලේ අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ සහය පැතූ අවස්ථාවේදී ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා කියා සිටියේ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නියෝජිතයින් මෙන්ම ලෝකයේ බෞද්ධ නායකයින් විද්වතුන් උගත් භික්ෂූන් වහන්සේලා සහ වෙනත් ප්‍රභූන් කැඳවා බෞද්ධයින්ගේ අවශ්‍යතා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි. ඒ අනුව රටවල් 17කින් නියෝජිතයින් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 1982 ජූනි 1දා සිට 5 දා දක්වා කොළඹ දී පවත්වන ලද සාකච්ඡා වලදී බුද්ධාගමේ පැවැත්මට හා ඉදිරි ගමනට අදාළ යෝජනා 24ක් සම්මත කර ගන්නා ලදී. එහි 14 වැනි යෝජනාව වශයෙන් ලෝක බෞද්ධ මහා සම්මේලනයේ කමිටු විසින් සම්මත කරගන්නා ලද යෝජනාව ද විය.
බැංකුවක් පිහිටුවීමේ අදහස ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වීම නිසා එය පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සභාපති ඇල්බට් එදිරිසිංහ මහතාට භාර කෙරුණි. කෙසේ වුවද, ආගමික සංවිධානයක් හෙයින් මුදල් කටයුතු වල දී ශ්‍රී ලංකා මධ්‍යස්ථානය මුහුණ පෑ හැකි විවිධ ගැටලු පිළිබඳ අවධානය යොමු කෙරුණි.
මෙම සම්මේලනයේ ලේකම් ආචාර්ය ආනන්ද ගුරුගේ සහ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ ලේකම් මහාචාර්ය යූ ඩී ජයසේකර ගේ උපදෙස් මත ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සාමාජීය හා ආර්ථික ස්ථාවර කමිටුවක් පත් කර ගනු ලැබීය. කමිටුවේ සභාපති ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි, N U ජයවර්ධන මහතාට කෙරුණු ආරාධනය ඒ මහතා විසින් පිළිගන්නා ලදී. මහජන බැංකුවේ ආර්ථික පර්යේෂකයෙකු වූ පාලිත කන්නන්ගර මහතා එහි ලේකම් වශයෙන් පත් කර ගනු ලැබීය.
මෙම යෝජනාව සඳහා නිල මට්ටමින් ලෝක බෞද්ධ මහා සම්මේලනයේ අනුමැතිය ලබාගත යුතු වූ හෙයින් එය 1984 අගෝස්තු 2 සිට 4 දක්වා කොළඹදී පැවති සම්මේලනයේ 14 වන සම්මේලන වාරයට ඉදිරිපත් කෙරුණි.
බොහෝ දෙනෙක් යෝජනාවට කැමැත්ත පළ කරනු ලැබූවද සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, සුනායෝ මියාබරි චො මහතා ඊට එකඟ නොවීය. ඇමෙරිකාවේ හවායි හි liberty බැංකුවේ උප සභාපති ද වූ හෙතෙම කියා සිටියේ ලෝක බෞද්ධ මහා සම්මේලනය රාජ්‍ය නොවන සංවිධානයක් වූයෙන් බැංකුවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය දැනුම හෝ විශේෂඥ ඥානය නැති බවයි.
එදින සිදුවූ දේ මතකයට නගන ඇල්බට් එදිරිසිංහ මහතා මෙසේ කියයි... "සභාවේ බැංකු පිළිබඳ වැඩි අවබෝදයක් නොමැති උදවිය වූයෙන් කතාවට කන් දුන් ඔවුන් පසුවූයේ දෙගිඩියාවෙන්, යෝජනාව ඉවත ලන ලකුණු පහළවිය. එකෙනෙහිම දැඩි ස්වරයෙන් කෙනෙක් හඬ නගනු ඇසුණි. "සභාපතිතුමනි කරුණාකර යෝජනාව ගැන ඡන්දයක් විමසන්න. බැංකුවක් පවත්වාගෙන යන්නට නොදන්නා අයට අපි ඒ ගැන උගන්වන්නම්." ඒ හඬ වෙන කිසිවකුගේ නොව එන් යූ ජයවර්ධන මහතාගේය.යෝජනාව ගැන ඡන්දය විමසනු ලැබීය එය ඒකමතිකව සම්මත වූයේ ජය ඝෝෂා මධ්‍යයේය.
ලෝක බෞද්ධ මහා සම්මේලනයේ අනුමැතිය ලැබූ විගස සිය කාර්යභාරය ඉටු කිරීමට යුහුසුළු වූ N U, අනු කමිටු තුනක් පත්කොට විවිධ කාර්යයන් ඒවාට පැවරීය. බැංකු ක්ෂෙත්රයේ මනා පළපුරුද්දක් ලත් ජානක ද සිල්වා මහතා සහ අර්නස්ට් ගුණසේකර මහතා පරිපාලන් සහ කාර්ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානී ලෙස ද, නීතිඥ වෝල්ටර් විමලචන්ද්‍ර මහතා සහ Julius and Creasy සමාගම නීතිමය කටයුතු භාරව ද පත් කරනු ලැබූ අතර අරමුදල් එකතු කිරීම ඇල්බට් එදිරිසිංහ මහතාට පැවරුණි.
බැංකුව පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වූ අතර මුලින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ගෙවා නිමි ප්‍රාග්ධනයක් ඇත්නම් බැංකුව ආරම්භ කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට අධිපති ආචාර්ය වර්ණසේන රාසපුත්ර එකඟ විය. ඔහු එසේ එකඟ වූයේ නිකුත් කළ කොටස් ප්රාග්ධනය වසරක් ඇතුළතදී රුපියල් 50,000,000 දක්වා වැඩි කළ යුතු යැයි කියන කොන්දේසියක් මත ය. එම අවධියේදී රුපියල් හාර කෝටියක හිමි ප්‍රාග්ධනයක් අවශ්‍ය වුවත්, එතරම් මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකිවීමත්, බැංකුව පිහිටු වීමේ කාර්යය දිගින් දිගටම ප්‍රමාද වන බවත් සැලකිල්ලට ගෙන මහ බැංකු අධිපති විසින් විශේෂ සහනයක් ලෙස අඩු ප්‍රාග්ධන ප්‍රමාණයකට එකඟ විය.
පුද්ගලයින් බොහෝ දෙනෙක් බැංකුව සඳහා මුදල් යෙදවීමට කැමැත්ත පළ කළහ. ඒ සියලු දෙනා කොළඹ කොටුවේ Grand Oriental හෝටලයට දිවා භෝජන සංග්‍රහයකට කැඳවනු ලැබූහ. එහිදී ඔවුහු මුදල් භාර දුන් අතර ගෙවීම සඳහා රිසිට් පත් ලෝක බෞද්ධ මහා සම්මේලනය සමාජ-ආර්ථික කමිටුවේ සාමාජිකයින් වූ මහාචාර්ය එන් ඒ ජයවික්‍රම සහ පාලිත කන්නන්ගර යන දෙපළගේ අත්සනින් නිකුත් කෙරුනේ නව බැංකුව පිහිටුවන තුරු මුදල් කොමර්ෂල් බැංකුවේ තැන්පත් කෙරුණි.
මහ බැංකුවෙන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය එදින එකතු විය.
බැංකුව 1986 මාර්තු 10 වන දා Investment and Credit Bank Limited යන නමින් 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපිත කරන ලදී 1986 ඔක්තෝබර් 30 වැනිදා මහ බැංකුවේ අනුමැතිය ලැබුණි 1987 මාර්තු 3 වැනිදා සිට 1961 අංක 65 දරන මුදල් පනතේ 22 a(i) වන ඡේදය යටතේ බැංකුව අනුමත කරන ලද බැංකුවක් ලෙස ද, 1953 අංක 24 දරණ විනිමය පාලන පනතේ 4 වන ඡේදය යටතේ අනුමත කරන ලද වෙළෙන්දකු වශයෙන් ද ප්‍රකාශයට පත් කෙරුණි.
බැංකුවේ නම Invesment & Credit Bank Limited යන නමින් බැංකුව ලියාපදිංචි කරනු ලැබූ අතර සිංහලෙන් එය හැඳින්වූයේ සම්පත් බැංකුව නමිනි .
බැංකුවේ මූලික කටයුතු ඇරැඹුණු කාලයේ සිටම සම්බන්ධව සිටි පාලිත කන්නන්ගර මහතාට මතක ඇති පරිදි, සම්පත් යන්න විවිධ අය යෝජනා කළ නම් හතකින් එකකි.
"මම මහාචාර්යවරුන් තිදෙනෙක් සමග ඒ නම් ගැන සාකච්ඡා කළා. එම් බී ආරියපාල හේමපාල විජේවර්ධන සහ ජී බී දිසානායක ඒ මහාචාර්යවරුන් තිදෙනාය. සම්පත් යන අර්ථය ගෙන දෙන "සම්පත්ති" නම් සංස්කෘත වචනයෙන් එය බිඳී සිංහලට ලැබී ඇතැයි ඒ තිදෙනාම කීවා.
ඊට පස්සේ නමේ ඝන බැලීමට මම අරිසෙන් අහුබුදු ශූරීන් හමුවුණා.. යැයි ඔහු නම ලැබුණු සැටි පැහැදිලි කළේය. ඉක්මනින්ම හැමදෙනාම බැංකුව, "සම්පත්" යන නමින් හැඳින්වීමට පටන් ගත්හ. වෙනකක් තබා බැංකුව නිල වශයෙන් විවෘත කිරීමට කලින් 1987 මාර්තු 25 වැනිදා කටයුතු ආරම්භ කිරීමට පැමිණි මහ බැංකුවේ අධිපති ආචාර්ය රාසපුත්ර පවා බැංකුව හදුන්වාදුන්නේ සම්පත් බැංකුව යනුවෙනි.
ලියාපදිංචියක් කළ නිල නාමය පරිවර්තනයක් වෙනුවට සිංහලෙන් වෙනත් නමක් භාවිතා කිරීම ගැන මහ බැංකුව විරුද්ධත්වය පළ කළ බවින් 1987 සැප්තැම්බර් එකොළොස් වැනි දා රැස් වූ අධ්‍යක්ෂක මණ්ඩලය බැංකුවේ නම සීමාසහිත සම්පත් බැංකුව ලෙස වෙනස් කිරීමට තීරණය කළහ.
නමට ගැළපෙන ලාංඡනයක් ලෙස පුන්කළස යොදා ගැනුණි.
මෙම ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු වූ පාලිත කන්නන්ගර මහතා සිය නිවසේ ගරාජය තාවකාලික කාර්යාලයක් ලෙස පවත්වාගෙන යමින් විශ්ව විද්‍යාලිය සිසුන් කීප දෙනෙකුගේ ද සහයෝගය ලබා ගනිමින් ලියුම යැවීම සහ වෙනත් කාර්යයන් සංවිධානය කළේය. "අපට Typewriter එකක්වත් තිබුණේ නෑ... මෙට්‍රොපොලිටන් සමාගම Brother Typewriter ක් ලබා දුන්නා. එය අදත් සම්පත් කාර්යාලයේ තිබෙනවා.." යයි යටගියාව මතක් කළේය.


TFS!