සම්බන්ධන් සම්බන්ධයෙන්…

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
සම්බන්ධන් සම්බන්ධයෙන්…

ජනාධිපතිධූර අපේක්ෂක ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහ ටී.එන්.ඒ. නායක ආර්.සම්බන්ධන් මහතා අතර රට පාවා දෙන ගිවිසුමක් ඇතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහායකයෝ පුන පුනා චෝදනා එල්ල කරති. ජෙනරල් ෆොන්සේකා මහතා මෙන්ම සම්බන්ධන් මහතාද එය ප්‍රතික්ෂේප කර ඇති අතර අපි පුල්ලි සහ තවත් තතු යන මැයෙන් මේ තත්ත්වය ගැන දීර්ඝ විශ්ලේෂණයක් කළ බව ඔබට මතක ඇත. එහිදී කරුණු කාරණා සමඟ අපි එළිකර සිටියේ ඊළම සහ කොටි යන වචන සමඟ සබඳතා පවත්වන්නේ ජෙනරල් ෆොන්සේකා නොව අතිගරු ජනාධිපතිතුමා බවයි. ඒ මක්නිසාදයත් ඩග්ලස් දේවානන්ද යනු ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායකයා වෙත්දී සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) තමිල් මක්කල් විඩුතලෛ පුලිහල් (TMVP) පක්ෂයේ නායකයා වීම නිසාය. ඉහත දමිළ බසින් පුලිහල් යැයි කියැවෙනුයේ කොටින්ට බව වෙසෙසින්ම සඳහන් කළ යුතුය. ඉතින් ඊළාම් හා කොටි නායකයන් රෙද්ද අස්සේ තියාගෙන අනුන්ට චෝදනා නැගීම හාස්‍යජනකය.
පසුගියදා ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක් ලෙස සුපතල ඒෂියන් ට්‍රිබියූන් වෙබ් අඩවිය විසින් ඩග්ලස් දේවානන්ද සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර ඇතිවූ ගිවිසුම ගැන කරුණු කාරණා වර්තා කෙරුණු අතර එහිදී පළමුවැනි වගන්තියෙන් උතුරු නැගෙනහිර ස්වයං පාලන අයිතිය තහවුරු කරන බව පැවැසේ. මහින්ද මහත්තයා මේ ගිවිසුමේ ඇත්ත නැත්ත හෙළිකිරීම අතිශය වැදගත්ය. මීට අමතරව ඊපීඩීපී නිල වෙබ් අඩවියට යන ඔබට ඔවුන්ගේ ප්‍රතිපත්තීන් කියැවීමට අවකාශ ඇත. එහිදී උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනය වැනි කරුණු ගැන සැබැවින්ම කතා කරනුයේ කව්රුන්දැයි ඔබට සියැසින්ම කියැවිය හැකිය. මීට අමතරව නාමල් රාජපක්ෂ මැතිතුමා කොටි සංවිධානයේ එමිල් කාන්තන් මහතා සමඟ එකට පෙනී සිටින ඡායාරූපයක්ද වෙබ් අඩවි ඇතුළු මාධ්‍යය ඔස්සේ විකාශය වන බව ආරංචි විය (www.lankatruth.com). තවත් දෙයක්, ටැමිල්නෙට් යනු කොටින්ටත් ඊළමටත් හිතවත් පාර්ශව තොරතුරු දැනගන්නා කේන්ද්‍රස්ථානය බව ඔබ අප කව්රුත් දනිමු, කොටි ඩයැස්පෝරාව විසින් පෝෂණය කරන ටැමිල්නෙට් වෙබ් අඩවිය නම් දෙමළ ජනතාවට මහින්ද සහ සරත් දෙදෙනාම හඳුන්වාදෙන්නේ කොටි සංවිධානය විනාශ කිරීමට මූලික වූ ජාතිවාදීන් ලෙසයි. ඉන් ඔබ්බට යන ටැමිල්නෙට් අඩවිය නව වාමාංශික පෙරමුණේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට ඡන්දය දෙන ලෙස ද්‍රවිඩ ජනතාවට පවසා සිටී. ඒත් ටී.එන්.ඒ. සංවිධානය සරත් ෆොන්සේකා වෙනුවට ජනාධිපතිතුමාට සහය දුන්නා නම් ඔවුන් දේශප්‍රේමීන් වන්නට තිබුණි. ටැමිල්නෙට් එකේත් ඩයැස්පෝරාවේත් මතයට එරෙහි වෙමින් ද්‍රවිඩ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට සහය පල කළේ ඔවුන් කොටි සංවිධානයේ පරාජයත් සමඟ තවදුරටත් කොටින්ට බයේ දේශපාලනය කිරීමට අනවශ්‍ය නිසාය.
උතුරු නැගෙනහිර දෙපළාත වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේ ජනතා විමුක්ති පෙරමුණයි, එහි විත්තියට, එනම් දෙපළාත වෙන් නොකළ යුතු යැයි කරුණු දැක්වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවයි. දෙපළාත වෙන් කරන ලෙස තීන්දුව දුන්නේ සරත් නන්ද සිල්වා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලයි. මේ යථාර්ථය අපේ සමහරුන්ට අමතකවී තිබීම කණගාටුදායකය. එහෙනම් උතුරු-නැගෙනහිර වෙන් කිරීමේ ප්‍රධාන කොටස්කරුවන් ඉන්නේ ෆොන්සේකා කඳවුරේ මිසෙක රාජපක්ෂ කඳවුරේ නොවේ.
පසුගිය සෙනසුරාදා මල්වතු මහනායක හිමිපාණන් සරත් ෆොන්සේකා මැතිඳුන් බැහැ දුටු විට උන්වහන්සේ වදාලේ රට දැය සුරැකුමට දිවි දෙවැනි කොට සටන් වැදි ජෙනරාල්වරයා රට පාවා නොදෙන බව තමන්වහන්සේට විශ්වාස බවයි. එය මහා බලසම්පණ්න ප්‍රකාශයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් අතිගරු ජනාධිපතිතුමා තම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන්පාඨය බවට මේ කාරණාව පත්කරගනිමින් තිබෙන්නේ ජාතිවාදය අවුලමින් ජාතික සමගියට පහර ගසමින් බවට බොහෝ දෙනා චෝදනා කරන්නේ හේතු සහගතවය.
z_new350.jpg
ජනාධිපතිතුමා සම්බන්ධන් ඇතුළු ටී.එන්.ඒ. නායකයන් සමඟ සාකච්ඡාවක...

මෙසේ ජෙනරල් ෆොන්සේකා නම් වූ අභීත රණවිරුවාට කොටි ලේබල් අලවන ආණ්ඩුව කර ඇත්තේ කුමක්ද? ජනාධිපතිවරණය ප්‍රකාශ කර සති කිහිපයකින් අවතැන් කඳවුරු වැසියන් නිදහස් කෙරිණි. A9 පාර මහජනතාවට පැය 24ම විවෘත කෙරිණි. මේවා ප්‍රශස්ත ක්‍රියාවන්ය.
එහෙත් ඉහත ඊපීඩීපී එකඟතාවය වන් තීන්දු තීරණද ජනපතිතුමා ගෙන ඇත. පසුගිය සතියේදී යාපනයේ රදගුරු අතිඋතුම් තෝමස් සෞන්දරනායගම් පියතුමාට ඔහු පැවසුවේ යාපන අර්ධද්වීපයේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරන බවයි. මින් නොනැවතුණු අතිගරු ජනාධිපතිතුමා හමුදා භාරයේ සිටි කොටි සැකකරුවන් 700කට නිදහස ලබාදුන්නේ ඔවුන් පුනුරුත්තාපනය කළේ යැයි පවසමිනි. එතැනින්ද නොනැවතුණු ජනපතිඳුන් ප්‍රංශ පුවත් සේවය සමඟ ප්‍රකාශ කර සිටියේ උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ හිතසුව පිණිස බලය බෙදීම පුළුල් කරන බවයි. මේ අතර මාස 8ක් පුරා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටි ටී.එන්.ඒ. මන්ත්‍රී එස්.කනගරත්නම් මහතා ජනාධිපතිතුමාට සහය දක්වන ලදැයි සැලවිය. ඔහුගේ පුතු තවමත් කොළඹට එල්ල වුණු හොටි ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් අතඩංගුවේ පසුවෙයි. දැන් ආණ්ඩුවට උතුරු නැගෙනහිර දමිළ ජනතාවගෙන් සහය දක්වන්නේ කරුණා, පිල්ලෙයාන් වැනි හිටපු කොටි නායකයන්, දේවානන්ද වැනි සන්නද්ධව සිටි උදවිය සහ ත්‍රස්ත විරෝධී පනත යටතේ රැඳවුම් භාරයේ සිටි අයය. යුද ක්‍රියාන්විතය පුරා ආණ්ඩුවට සහය පළ කළ වී. ආනන්දසංගරී මැතිතුමා වැනි ගරු ගාම්භීර නායකයන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය නොදක්වන්නේ මන්දැයි ඔබම සිතා බලන්න.
ජනාධිපතිතුමා දැන් කරමින් සිටින්නේ කුමක්ද? එක් පසෙකින් ජාතිවාදය අවුස්සමින්, රට බෙදන බිල්ලෙක් මවා පාමින් සිංහල ඡන්ද බිලී බාගන්නට වෙර දරද්දී අනෙක් පසින් සිංහල ජනතාවට මවා පාන රූපයේ සැබෑම විලෝමය උතුරේ දෙමළ ඡන්ද දිනාගැනීමට ක්‍රියාත්මක කර තිබෙන්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය. කවුරු කොහොම කිව්වද ජනතාවගේ ඇස්වලට වැලි ගසන මෙම ක්‍රියාව රැවටීමක්, මුලාවක් මෙන්ම පාවා දීමක් ලෙස යමෙක්ට අර්ථ ගැන්විය හැකිය. මේ මුලාවට හසුවී තවත් අවුරුදු හයකට රට දුරධාන්ත පාලනයකට ඇද ගෙන යන්නෙමුද? නැතිනම් වෙනසකට මුල පුරමුද?
සරත් ෆොන්සේකා මැතිතුමා මේ එල්ලවන සියළු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. අනෙක් අතට තෙවරක් රට දැය වෙනුවෙන් රණවිරුවකු ලෙස මරණීය තුවාලයන්ට මුහුණ පෑ, දිවි හිමියෙන් දේශය රැකගත් මේ අද්විතීය ජාතික විරුවා රට පාවා දෙනු ඇතැයි සිහිනයකින්වත් සිතිය හැකිද??
එසේ නම් මෙය ෆොන්සේකා මැතිඳුන්ගේ ඡන්ද කැඩීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් පහත් ගණයේ උප්පරවැට්ටියක් බව පැහැදිලිය. මේ උප්පරවැට්ටියට ඔබේ නෑසියමිතුරන්ට, රටවැසියන්ට ගොදුරු වීමට ඉඩ නොදී යථාර්ථය පහදා දීම ඔබ සතු යුතුකමකි.
ජාතිවාදය, භීතිය වපුරමින් තම ඡන්ද ගොන්න වැඩි කරගැනීමට වෙරවෑයම් දරණ අවස්ථාවාදී නායකයන්ට පිළිතුරු දී රට නිවැරදි මාවතට ගෙන අලුත් දේශපාලන සම්ප්‍රදායක් ගොඩනැගීමේ වරම අප සතුය. එහෙයින් ලක්මෑණියන් වෙනුවෙන් එම වරමින් උපරිම ප්‍රයෝජන ගැනීම අප සතු වගකීමකි.
- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු -
http://sadaharita.wordpress.com/2010/01/18/sampanthan/
 
Last edited: