SLIIT එකට නිශ්චිත හිමිකාරිත්වයක් නැහැ
සීමිත සමාගමක් වෙත කූට ලෙස පවරා ඇති නිසා SLIIT එකට නිශ්චිත හිමිකාරිත්වයක් නැහැ
හර්ෂනී අර්සකුලරත්න/By Mawbima 2018-09-03
මහපොළ භාරකාර මණ්ඩලයේ හිමිකාරිත්වය යටතේ පැවැති මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ඇපයෙන් සීමිත සමාගමක් වෙත කූට ලෙස පැවැරීම නිසා මේ වන විට එම තාක්‍ෂණ ආයතනය කිසිදු හිමිකාරිත්වයක් නොමැති ආයතනයක් බවට පත්ව ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ හෙළි කළේය.
මේ පැවැරීම දින 100 ආණ්ඩුව යටතේ එවකට ආහාර සුරක්‍ෂිතා ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ සමයේදී සිදුව ඇති බවද මහපොළ භාරකාරඅරමුදලේ සාමාජිකයන්ව කිසිදු දැනුවත් කිරීමකින් තොරව ආචාර්ය වික්‍රම වීරසූරිය ගත් තනි තීන්දුවක් අනුව ක්‍රියාත්මක වී ඇති බවද ඇමැතිවරයා අනාවරණය කළේය.
මේ හේතුවෙන් එම ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් 7000කගේ පමණ වගකීම භාර ගැනීමට වගකිව යුතු බලධාරියකු නොමැති වී ඇතැයිද ඔහු පැවැසුවේය.
මේ පැවැරීම පිළිබඳ තමා වෙත පවතින තොරතුරු අනුව අනාවරණය වී ඇත්තේ මහපොළේ කිසිම ලිපි ගොනුවක නොමැති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට කැබිනට් අනුමැතියක් රහිතව මේ පැවැරීම සිදු කර ඇති බව යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
මේ පැවැරීමත් සමඟම එම සීමිත සමාගමේ අධ්‍යක්‍ෂවරු කිහිපදෙනකු නම් සිය වැටුප් වැඩි කරගෙන ඇතැයිද ඔහු පැවැසුවේය.
සීමිත වගකීම් සහිත අධ්‍යක්‍ෂ මණ්ඩලයක් යටතට මේ ආයතනය පැවැරීම අවලංගු කරන ලෙස මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට තමාකැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇතැයිද එම ආයතනයට රජයේ වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් පත්කරන ලෙස එහි යෝජනා කර ඇතැයිද ඇමැතිවරයා පැවැසුවේය.
ඒ යටතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳ නිපුණතා සහිත පාලක මණ්ඩලයකින් මේ ආයතනය පවත්වා ගෙන යෑමටත් එහි කළමනාකාරීත්වය සමඟ එක්වී කටයුතු කරගෙන යෑමේ බලය භාරකාර මණ්ඩලයට පැවැරීමටත් යෝජනා කර ඇතැයි හෙතෙම පැවැසීය.
මේ ආයතනයෙන් ලැබෙන ලාභ සියල්ලම මහපොළ ශිෂ්‍යාධාර යටතේ පිරිනැමෙන ශිෂ්‍යත්ව වෙනුවෙන් වෙන් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (31දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් ඉදිකළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (slit) පෞද්ගලික ආයතනයක් බවට පත් කරමින් 2017 වසරේදී යහපාලන ආණ්ඩුව කාලයේ නිකුත් කළ ගැසට් පත්‍රිකාව අවලංගු කර නැවත රජයට පවරා ගැනීමට පියවර ගත යුතු යැයි පොදු ව්‍යාපාර කාරක සභා සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසුවේය.
මාලඹේ අක්කර 25ක භූමියක ඉදි කර ඇති මෙම ආයතනය පෞද්ගලික ආයතනයක් බවට පවරාදීමට යහපාලන ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් රජයේ ආයතනයක් ලෙස ඉදි කළ එම ආයතනයට එවකට රුපියල් මිලියන 500ක මුදලක් ලබාදී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තා දෙක සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
1999 වසරේදී මේ ආයතනය පනතක් ලෙස සම්මත කරන තෙක් ලිමිටඩ් ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවට එවකට සිටි අමාත්‍යාංශ ලේකම්වරයා තීරණය කළ බවත් ලාබ නොලබන රජයේ ආයතනයක් විදියට මෙම ආයතනය නම් කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය, බී.ඕ.අයි. ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු අමාත්‍යාංශ හා ආයතන ගණනාවක නිලධාරීන් මේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ බවත් හෙතෙම පැවසුවේය.
සිස්ටමික් ඔපරේෂන් එකක් විදියට රාජ්‍ය සතු සම්පත් රජයෙන් ඉවත් කිරීමට ගත් හොඳම උදාහරණයක් ලෙස මෙම සිදුවීම් පෙන්වාදිය හැකි බවත් මෙවැනි දේ ඉදිරියේදී සිදු නොවීමට රජය වග බලා ගත යුතු බවත් ඔහු කීය.
ඒ සඳහා මෙම කෝප් කමිටු වාර්තාව යොදා ගත හැකි යැයි ද ඒ මහතා පැවසුවේය.
https://archives1.dinamina.lk/2021/10/23/දේශපාලන/133136/sliit-ආයතනය-යළි-රජයට-පවරා-ගත-යුතුයි