සැත්කමකට පෙර කෑම ගන්න එපා කියන්නේ ඇයි..

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    සැත්කමකට පෙර කෑම ගන්න එපා කියන්නේ ඇයි..

    කීයටද කෑවේ?
    "එන්න එන්න කවුරු හරි , ඉක්මනට!!"
    අනිත් පැත්තෙ theater එකෙනුයි සද්දෙ ආවෙ. මගේ රෝගියා ස්තාවර නිසා දුවලා ගියා මමත්.
    සිහිසුන් කල රෝගියාගෙ හිස අද්දර ඉන්න මගේ මිත්‍ර නිර්වින්දන වෛද්‍යවරයා රෝගියාට ඔක්සිජන් ලබාදෙන්න දැඩි උත්සාහයක් දරමින් සිටියා. නමුත් ඔහුගේ නාසයත් මුවත් දෙකම ගලාඑන දුඹුරු පැහැ ද්‍රවයකින් පිරී ගිහින්. ඔක්සිජන් පෙනහලු කරා යන මඟ සම්පූර්ණයෙන් අවහිර වෙලා. රුධිර ගත ඔක්සිජන් සාන්ද්‍රනය පහල යමින් තිබෙන බවට එහි මැනුම් යන්ත්‍රය පෑම් පෑම් එලාම් එකක් මඟින් අපට කියන්නට පටන් ගත්තා.

    "ඔලුව පැත්ත පහලට දාන්න"
    "සකර් එක දෙන්න"
    "ටියුබ් කරන්න ලෑස්ති වෙන්න"

    මමයි මගේ මිතුරායි දෙන්නම වෙඩි තියන්නා වගේ වටේ හිටපු සේවක මහත්වරුන් ට විධාන දුන්නා. ඔවුන් ඒවා ඉටු කරන්න යුහුසුළු වෙන අතරම රෝගියාගේ මුඛයත් නාසයත් හැකි තාක් clear කරන්න මම උත්සාහ කලා. සුලු සැත්කමක් නිසා ශ්වාසනාලයට බටයක් දමන්න සැලසුම් කර නොතිබුනත් හදිසි තත්ත්වය නිසා අපි දෙන්නම ඉක්මනින් අවශ්‍ය කටයුතු කරලා බටය ( ET tube) දමාගත්තා. ඒත් එක්කම ඔහුව කෘත්‍රිම ශ්වසනය ලබාදෙන යන්ත්‍රයට සම්බන්ධ කලා. ඔක්සිජන් සාන්ද්‍රනය තරමක් යහපත් අතට හැරුනත් 100% ක් යථා තත්ත්වයට පත්නොවුනේ අර ද්‍රවය යම් ප්‍රමාණයක් හෝ පෙනහළු වලට ඇතුලු වුනු නිසා බව අපි දෙන්නම තේරුම් ගත්තා.
    මදෑ!! දැන් ඉතිං මේ සුලු සැත්කමට ආපු රෝගියාට දැඩි සත්කාර ඒකකයේ ඇඳකුත් හොයන්න ඕන. ඒ බව අපේ විශේෂඥ වෛද්‍යතුමියටත් දැනුම් දීලා තමා අපි හති අරින්න ගත්තෙ.

    "ඒක හදිසි සැත්කමක් ද?"
    "නෑ" . මගේ මිතුරා පිලිතුරු දුන්නේ බොහොම කනස්සල්ලෙන් .
    ඇත්තනෙ. සුලු වැඩක් අතිශය බරපතල තත්ත්වයක් දක්වා ගිහින්. පැය භාගයකින් විතර නැගිටවලා වාට්ටුවට යවන්න හිටපු රෝගියෙක් දැඩි සත්කාරයට යවන්න වුනාම නිර්වින්දන වෛද්‍යවරුන් විදියට අපට දැනෙන්නෙ පුදුම පීඩනයක්. ඒත් එක්කම ලිස්ට් එකේ ඉතුරු ලෙඩ්ඩුන්ගෙන් බාගයක් වත් ඉවර කරන්න බැරි වෙනවා දැන් . ඇයි දැඩි සත්කාරයේ ඇඳක් එක්ක ශ්වසන යන්ත්‍රයක් ලැබෙන කම්ම මෙයාව මේ යන්ත්‍රයෙන් ගලවන්න බෑනෙ. ඉතිං යන්ත්‍රය නැතුව ඊලඟ ලෙඩාව නිර්වින්දනය කරන්නත් බෑ. එයාලත් තව ටිකකින් අපටම සාප කරන්න පටන් ගනීවි.

    "හදිසි නැත්තං ඇයි තේ බීපු ලෙඩෙක්ව ගත්තෙ?" මගේ ඊලඟ ප්‍රශ්නය .
    ඔව්! ඒ දුඹුරු පාටට ගලාගෙන ආවෙ තේ. අපි දෙන්නම ඒක දන්නවා. ලෙඩා ඊට ටික වෙලාවකට කලින් බීපු තේ.!!

    "තේ බීපු බව මට කිව්වෙ නෑ."
    "පැය හයක් නොකා නොබී ඉන්න ඕන බව මම ඊයෙත් එයාට කිව්වා. කෑව ද බිව්ව ද කියලා උදේ ගන්න කලිනුත් ඇහුවා. නෑ කියලමයි කිව්වෙ."

    මගේ මිත්‍රයා කිව්වෙ සුසුමකුත් හෙලන ගමන්ම. ඔහුගේ දුක හොඳටම වැටහුනත් පොඩි තට්ටුවක් දාල මම එතනින් අයින් වුනේ මගේ ලිස්ට් එකත් ඉවර කරන්න තියන නිසයි.
    මොකද්ද මේ වුනේ? පාදයේ සුලු සැත්කමකට රෝහල්ගත වුණු මේ රෝගියාට දැඩි සත්කාර ඒකකයේ නතර වෙන්න වුනේ ඇයි?
    සාමාන්‍යයෙන් සැත්කමකට මුහුන දෙන්න සිටින රෝගීන්ට, දරු ප්‍රසූතියකට රෝහල් ගත වන මව්වරුන්ට වගේම සමහර පරීක්ශන සඳහාත් නිරාහාරව සිටිය යුතු බවට උපදෙස් දෙන බව හැමෝම දන්නවා. ප්‍රශ්නය තිබෙන්නේ කොයි තරම් දුරට උපදෙස් පිලිපදිනවාද කියන කාරනය තුලයි. මෙවැනි උපදෙසක් දීමට හේතුව හෝ එය පිලි නොපැදීමෙන් වෙන හානිය ගැන අවබෝධයක් නැති වීම වගේම උපදෙස් හරියටම නිවැරදිව පිලිපැදීම සම්බන්ධව ජාතියක් වශයෙන් ම ඇති නොසැලකිල්ලත් මෙවැනි බරපතල අවසානයන් දක්වා අපව ගෙන යාමට උදවු වෙනවා.

    ඇයි අපි මේ රෝගීන්ට නිරාහාරව සිටින ලෙස උපදෙස් දෙන්නේ?

    1) සාමාන්‍යයෙන් අපි ගන්නා ආහාර ගලනාලය හරහා ආමාශගත වුනාට පස්සෙ ඒවා නැවත ගලනාලය තුලට ඇතුලු වීම වැලැක්වීමට යාන්ත්‍රණයක් අපේ සිරුරේ තිබෙනවා. ඒක නිකං එක පැත්තකට විතරක් ගමන් කරන්නට ඉඩදෙන දොරක් විදියට හිතන්නකෝ. ඉතිං මේ දොර නිවැරදිව වහලා තියාගන්නෙ සිරුරේ ඇති මස්පිඬු වල ආතතිය ( muscle tone ) මඟින්. සිහිසුන් වුනාම මේ මස්පිඬු වල ආතතිය අඩු වෙලා ඒවා යම් දුරකට ඉහිල් වෙනවා. එතකොට අර දොර ඇරෙන්න තියන අවදානම වැඩියි. ආමාශයේ යමක් තිබුනොත් ඒවා ගලනාලය දිගේ ආපසු ඇවිත් උගුර හරහා ශ්වාසනාලයට සහ පෙනහලු වලට ගමන් කරන්න හෝ මුඛය හෝ නාසය වසා ගනිමින් ශ්වසන මාර්ගය අවහිර කරන්න පුලුවන් . මේ තත්ත්වය නියුමෝනියාවෙන් හෝ මරනයෙන් වුනත් කෙලවර විය හැකියි.

    2) අපේ ශ්වසන මාර්ගයට වාතය හැර වෙනත් දේවල් ඇතුල් වුනාම ඒවා පෙනහළු තුලට යෑම වලක්වා පෙනහලු ආරක්ශා කරන ක්‍රම තමා කැස්ස සහ කිඹුහුම් යෑම. ඉබේ සිදු වෙන මේ ක්‍රියාවනුත් සිහිසුන් කල විට අහෝසි වී යනවා. නැවත පියවි සිහියට එනවිට ආපසු ඇතිවෙනවා. ඉතින් , මේ වැදගත් ආරක්ෂාව අහිමි වීමත් නිරාහාරව සිටිය යුතු වීමට හේතුවක්.
    නිරාහාරව සිටියත් මේ ලෙස ආහාර නැවත ගලනාලයට ඇතුලු වීමට වැඩි අවදානමක් තියන රෝගීනුත් ඉන්නවා. ගැබිණි මව්වරුන් ඒ අතර ඉහලින්ම ඉන්න පිරිස. අධික ලෙස තරබාරු පුද්ගලයන් , දැඩි ලෙස වමනය ඇති අය, බඩවැල් වල අවහිරවීම් සහ පිලිකා වැනි රෝග වලින් පෙලෙන අයත් මේ කොටසට අයිතියි. ගැබිනි මව්වරුන් ට හැකිතාක් ස්ථානීය නිර්වින්දනය දීමට උත්සාහ කරන අතර අනික් අයට මේ ගැන කලින් දැනුවත් කරලා , දැඩි සත්කාර ඒකකයේ ඇඳකුත් වෙන්කරගෙන තමා ශල්‍යාගාරයට ගන්නෙ.

    සියලු දෙනාම මේ ආකාරයට දැනුවත් කිරීමට කාලය නිරතුරුවම අපට හරස්වන නිසා මේ ගැන ඇති මඳ අවබෝධය වගේම උපදෙස් නිවැරදිව පිලිනොපැදීමත් අපි හැමදාම අත්දකින දෙයක් . විශේෂයෙන්ම ප්‍රසව වේදනාව සමඟ රෝහල්ගත වන මව්වරුන් ට කොපමණ කලින් කියා තිබුනත් රෝහලට එන්නට වහාම කලින් මොනවා හෝ ආහාරයට ගෙන තිබීම නිතරම දකින්නට ලැබෙනවා .
    "ඉස්පිරිතාලෙ ගියාම කන්න දෙන්නෙ නැති නිසා කාල යන්න" යැයි කියමින් ගෙදර උදවිය විසින් තරඟෙට කන්න දීම නිසා එසේ වූ බවයි බොහෝ මව්වරු කියන්නේ. රෝහලට පැමිණි පසු යම් සංකූලතාවයක් නිසා දරුවා අවදානමෙන් බේරාගැනීමට හදිසි සිසේරියන් සැත්කමක් කලයුතුයැයි තීරණය කල විට මවගේ ජීවිත අවදානම හා දරුවාගේ ජීවිතය අතර උහතෝකෝටික ගැටලුවකට මුහුණ පෑමට මේ කෑම නිසාම නිර්වින්දන වෛද්‍යවරයාට සිදුවෙනවා.
    සැත්කමකට මුහුණ දීමට සිටින දරුවාගේ ඇඬීම නතර කිරීමට මවුකිරි දුන් මව්වරුත්, කෑම හෝ කිරි ආදි කිසිවක් නොදෙන ලෙස කී නිසා ඒ දෙකම නොවන මයිලෝ දරුවන්ට පෙවූ පියවරුත් මට ශල්‍යාගාරයේදී මුනගැසී තිබෙනවා . කන්න බොන්න එපා කිව්වට වතුර ටිකක් බිව්වට අගුනයක් නෑනේ කියල හිතල වතුර බීල එන අයත් ඉන්නවා.
    ඇයි, අපේ කතාවේ රෝගියා වගේ "උදේ පාන්දර තේ වත් නොබී මෙහෙම හාමතේ ගිහින් ඔපරේෂන් කරන්න පුලුවන්ද " යැයි කියා හාමිනේ විසින් තේ පොවපු රෝගීන්? හාමිනේ ගේ වචනය අහක දමන්න බැරි නිසා හෝ තේ යනු ආහාර පාන යන වර්ගයට අයත් නොවන දෙයක් යැයි සිතා සිටින නිසා හෝ වැඩිපුරම මුනගැසෙන්නේ තේ බීපු රෝගීන් තමා.
    උදේ පාන්දර ශල්‍යාගාරය ලඟ දී නිර්වින්දන වෛද්‍යවරයා විසින් සී අයි ඩී එකට ගියා වගේ අහන,
    "අන්තිමට කීයටද කෑවේ"
    " මොනවද කෑවේ"
    "කොච්චර කෑවද"
    "ඊට පස්සෙ තේත් බිව්වද"
    "වතුර බිව්වෙ කීයටද " ආදී ප්‍රශ්න පත්තරයට හේතුව දැන් පැහැදිලි ඇතිනේ.

    සිරුරේ කොතනක වුනත් මොන විදිහේ සැත්කමකට වුනත් අඩුම ගානේ පැය 6 ක් ඝන ආහාර හෝ කිරි තේ නොගෙන ඉන්න ඕන. මවුකිරි නොබී පැය 4 ක් වත් ඉන්න ඕන. විනිවිද පෙනෙන , වතුර හෝ ප්ලේන් ටී වගේ දියර වර්ගයක් ( clear fluids) පැය 2 කට කලින් ගත්තාට කමක් නෑ. ආමාශයේ තිබෙන ආහාර ඉන් එහාට තියන ග්‍රහනියට ඇතුල් වීමට ගන්නා කාලය මතයි මේ වේලාවන් තීරනය කර තිබෙන්නේ.
    ඉතිං අර ප්‍රශ්න පත්තරේට උත්තර දෙනකොට හරියට තමන් කාපු බීපු දේ හරි වෙලාවත් එක්කම කියන්න මීට පස්සෙ මතක තියාගන්න . කාල හිටියොත් උපදෙස් පිලිනොපැදීම ගැන පොඩි දෝසාරෝපනයක් එන්නත් සැත්කම වෙන දවසකට කල්‍ යන්නත් පුලුවන් වුනාට බොරු කියලා සිහි නැතිකරගෙන දැඩි සත්කාරයේ හෝ පෙට්ටියක නතර වෙනවාට වඩා ඒක හොඳ බව නැවතත් මතක් කරන්න කැමතියි.




    Dr Anupama Warnasuriya ගේ සටහනකි.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    84.gif


    ඕං.... රෙපක් කෙටුව එහෙනං....