සැබෑ වීරත්වයේ කථා කිහිපයක්...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සැබෑ වීරත්වයේ කථා කිහිපයක්...

    වීරත්වයේ පදනම මානව දයාවයි

    ආදරයට, කරුණාවට, දයාවට අනුකම්පාවට ජාති ආගම් බේද නැත. මිනිසකු අනතුරට පත්වූ විටෙක ඔහු බේරා ගැනීමට මේ කිසිවක් බලනොපාන්නේය. ජීවිතයත් මරණයත් අතර පොර බදන්නා ඉන් ගලවා ගැනීමට ඉදිරිපත් වන්නේ මනුෂ්‍යත්වයේ අගය දන්නා උතුම් මිනිසුන් පමණි. එවැනි උතුම් මිනිසුන් ඇගැයීමේ මහඟු උපහාර උළෙලක දී හඳුනාගන්නට ලැබුණු මිනිසුන්ගේ කතාවයි මේ.

    පාසල් නිවාඩුවට මාතලේ ඉන්න නංගිලා අපේ ගෙදර ආවා. නංගිගේ පුතාට වයස අවුරුදු දහයයි. දවසක් පුතා සාලයේ රූපවාහිනිය බලමින් හිටියා. මම නාන්න සූදානම් වෙමින් හිටියේ. නමුත් මට එකවරම ඇහුණා තහඩුවක් වැටෙන හඬ. ඒ හඬ ඇහුණේ ළිඳ පැත්තෙන්.



    අපේ ළිඳට කොන්ක්‍රීට් කෑලි දාලා වහලා තියෙන්නේ. පායන කාලෙට වතුර ගන්න ඕන නිසා කොන්ක්‍රීට් කෑල්ල අයින් කරලා තහඩුවක් දාලා තිබුණෙ. මම දුවලා ගියා ළිඳ ළඟට. පුතා ළිඳට වැටිලා. මම ගමේ අයට කෑගහලා කිව්වා. ගමේ අය දුවගෙන ආවා. ළිඳ අඩි 45ක් විතර ගැඹුරුයි. ළිඳ ඇතුළේ ඉන්න පුතා ගොඩ ගන්න ඒ අය කඹ සොයාගෙන එන්න ගියා. ඒත් මට ඉවසගෙන ඉන්න බැරි වුණා.
    නංගි බිම වැටිලා අඬනවා.

    af1106197-1.jpg

    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න රියර් අද්මිරාල් වීරකෝන් යන මහත්වරු මොරදවාන අමිලසිරි හිමියන්ට සම්මාන ප්‍රදානය කළ මොහොත



    මට එකපාරටම මතක් වුණේ ළිඳට දාලා තියෙන වතුර බටේ. මම ඒක දිගේ ළිඳ ඇතුළට බහින්න උත්සාහ කළා.



    ඒත් අතරමඟදි වතුර බටේ අත ඇරිලා මාව ඇතුළට ම වැටුණා. කලුගලක වැදුණා. මට තදබල වේදනාවක් ආවා.



    ඒත් ඒ වේදනාව පසෙක තියල මම පුතා වතුරෙන් උඩට අරගෙන ඔසවාගෙන හිටියා. අපි පැය භාගයකට ආසන්න කාලයක් ළිඳ ඇතුළේ ඉන්න ඇති.



    ගමේ අය ඇවිත් කඹයක පුටුවක් ගැටගහලා අපි ගොඩට ගත්තා. මාත් පුතාත් රෝහල් ගත කළා. මගේ දත් ඇන්දම ගැලවුණා. මට වරින් වර සැත්කම් දහයක් පමණ සිදුකළා. මාස තුනක් එක්තැන් වෙලා හිටියා. කටටත් තුන්වතාවක් සැත්කම් කළා. මේ වෙනකොට බොහෝ දුරට හොඳ වුණත් කකුල කෙළින් තියලා ඇවිදින්න අමාරුයි. පඩිපෙළ නඟින්න අමාරුයි.


    තම ජීවිතයට තිබූ ආසාව පසෙකලා තම සොයුරියගේ දස හැවිරිදි පුතුගේ ජීවිතය බේරාගැනීමට අඩි හතළිස් පහක් ගැඹුරැති ළිඳට බට ඉන්ද්‍රානි දැඩි අනතුරකට ලක්වූවාය.



    බරපතළ තුවාල ලැබූව ද ඇය පුතුගේ ජීවිතය බේරාගැනීමට තරම් වාසනාවන්ත වූවාය. තම කුසින් උපන් දරුවන් ගඟට විසිකරන, දුම්රියට බිලිදෙන, මහමඟ දමා යන අම්මාවරුන් සිටින රටක මෙවන් ලොකු අම්මා කෙනකු සැබැවින්ම පූජනීයය.



    ඉකුත් දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති දහඅටවන විරුජන සම්මාන උළෙලේ දී දෙල්ගොඩ මහවත්තේ ගුණතුංග සිරිවර්ධන දේවගේ ඉන්ද්‍රා අත්තනායක නම් වූ දිරිය ගැහැනිය විරුජන රජත සම්මානයෙන් පිදුම් ලැබුවාය.


    පුරා වසර දහඅටක් අන් ජීවිත රැකගැනීමට ජීවිත පුජාවෙන් ඉදිරිපත් වූ වීර දරුවන්, වීර උත්තම උත්තමාවියන් පිදීමේ මහඟු මෙහෙවරේ පුරෝගාමියා වන්නේ වීර පොදුජන පදනමේ නිර්මාතෘ නීතිඥ කසුන් පී.චන්ද්‍රරත්න මහතා ය.


    මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසා සිටියේ “තම ජීවිත පරදුවට තබා අන්‍යයන්ගේ දිවි බේරාගැනීමට ඉදිරිපත් වූ උතුම් මිනිසුන් ඇගැයීම රටටම ආදර්ශයක් බවත් ඉන් රටේ සෙසු ජනතාව ද මෙවැනි වීර ක්‍රියා කිරීමට පෙලැඹෙන බවත්ය.

    af1106197-2.jpg

    අගමැති දි.මු. ජයරත්න මහතා බුදල්නා ස්වර්ණ සම්මානය සම්පත් ජානකට ප්‍රදානය කළ අවස්ථාව



    මේ අවස්ථාවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී.දයාරත්න යන මහත්වරු මෙන්ම ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ උසස් නිලධාරීහු ද සහභාගිවූහ.


    Link
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    උතුම් වූ මවුපිය සෙනෙහස හද තුළ දෝරේ ගලා ගිය විට ඔවුන්ට හැම දරුවකුම තම දරුවකු ලෙස හැගේ. එවැනි උතුම් මවු පියවරු තවමත් මේ මිහිමත ජීවත්ව සිටින බවට මෙය ද හොඳ සාක්ෂියකි.
    කළුතර පදිංචි අරුමාදුර සම්පත් ජානක ජයශාන්ත සිල්වා වෘත්තියෙන් ලොරි රියැදුරෙකි.



    පසුගිය වසරේ මාර්තු 11 වැනිදා දහවල් තම ලොරිය පදවාගෙන කළුතර පාලම ඔස්සේ යමින් සිටි සම්පත් දුටුවේ පාලම අසල මිනිසුන් රැස්ව ගඟ දෙස බලා සිටින අයුරුය.



    ලොරිය නැවතූ සම්පත් ද රැස්ව සිටි ජනකාය අතරින් එබී ගඟ දෙස බැලුවේය. ඔහු දුටුවේ ගඟේ දරුවකු පාවෙමින් පහළට ඇදී යන ආකාරයයි. දරුවා අසලට කබරයකු ද ඇදෙනු දුටු සම්පත්ගේ සිතට නැඟුණේ ඒ දරුවා පිළිබඳ සෙනෙහසකි. ඔහුට ඒ දර්ශනය තවදුරටත් බලා සිටින්නට නොහැකි විය. ඔහු ගඟට පැන්නේය. දරුවා බේරාගෙන ගොඩට පීනුවේය.


    ”මට මගේ දරුවා මතක් වුණා. ඒ දරුවත් මගෙ දරුවගෙ වයසෙමයි. මම ඒකයි ගඟට පැනලා දරු පැටියා බේරාගත්තේ. මම හැම මොහොතකම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවාගේ ජීවිතය බේරා දෙන ලෙසයි. ඒත් දින කිහිපයකට පසුව දරුවා මිය ගියා.”

    af1106197-3.jpg

    ඉන්ද්‍රා අත්තනායක බේරාගත් පුතු සමඟ අගමැතිතුමා අතින් සම්මාන ලබද්දී


    සම්පත් පවසන්නේ දුකෙනි. ඒ දරුවා බිහි කළ මවට එපා වූ දරු පැටියා කළු ගඟට වීසි කළ විට දරු සෙනෙහස හඳුනන තවත් තාත්තා කෙනෙකුගේ උතුම් වීර ක්‍රියාව වෙනුවෙන් “බුදල්නා ස්වර්ණ සම්මානය” පිරිනමනු ලැබීය.


    ජාති ආගම් භේදයකින් තොරව ජීවිතයක් බේරාගැනීමට සිය වකුගඩුවක් කතෝලික බැතිමත් කාන්තාවකට පිරිනැමූ මොරදවානේ අමිලසිරි හිමියෝ විරුජන වීර ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබූහ.
    ඉකුත් වසරේ නොවැම්බර් මස 29දා සවස පාන් ගෙන ඒමට මවත් සමඟ කඩයට යමින් සිටියදී පය පැටලී පුවක්වත්ත ඇළට වැටුණ තම නැඟනිය බේරා ගැනීමට ජීවිත ආශාව අතහැර ඇළට පැන්න මාතර තිහගොඩ පහළ පිටියල ප්‍රදේශයේ අසරප්පුලිගේ දමයන්ති ශිෂ්‍යාව විරුජන ප්‍රසාද සහතිකයෙන් පිදුම් ලැබුවාය.


    වීර පොදුජන සම්මාන උළෙලේ කාගේත් ඇසට කඳුළක් එක්කල අවස්ථාව වූයේ විරුජන රජත සම්මානයයි. ජීවිතයක් බේරා ගැනීමට ගොස් එසේ බේරා ගැනීමට ගිය පුද්ගලයා මිය යන්නේ නම් සැබැවින්ම එය ඛේදවාචකයකි. ඉකුත් වසරේ සැප්තැම්බර් 11 දින සවස 4.00ට පමණ වේරහැර සීටීබී වත්තේ සරුංගල් යැවීමට ගිය මිතුරන් දෙදෙනකුගෙන් එක් අයකු එහි අඩි හැටක් පමණ දිග විශාල වතුර ටැංකියට වැටුණේය.



    ඔහු බේරාගැනීමට ඉදිරිපත් වූයේ පැතුම් සේනාරත්නය. දියට වැටුණ මිතුරා ගොඩ සිටි මිතුරන් බේරාගත්ත ද මුලින්ම දියට පැන්න පැතුම් යළි දියෙන් උඩට නොආවේය. තවත් මිතුරකු දියට පැන ටැංකිය පතුලේ සිටි පැතුම් ගොඩට ගෙන රෝහල් ගතකිරීම සඳහා රැගෙන යන අතරතුර ඔහු මියගියේය. පැතුම් මියගියේ තවත් ජීවිතයක් බේරාගැනීමට කළ උත්සාහයේදීය.


    වේරහැර ප්‍රමෝද් අරුන්දක පැතුම් සේනාරත්න තරුණයාට හිමි විරුජන රජත සම්මානය පිළිගනු ලැබුවේ ඔහුගේ වැඩිහිටි ඥාතියකු විසිනි.


    ගාල්ලේ විදුර රුවන් ගුණරත්න හා රසාංග ලක්ෂිත නිමලරත්න මිතුරන් දෙදෙනා විරුජන ප්‍රසාද සහතිකයෙන් පුදනු ලැබුවේ 2010 වසරේ පෙබරවාරි 15 දින සවස ගාලු මුහුදේ දිය නෑමට ගොස් අනතුරට ලක්වූ දහතුන් හැවිරිදි මලීෂ හා පසිඳු යන දෙමිතුරන් බේරාගැනීමේ මහඟු මෙහෙවර වෙනුවෙනි.



    බොහෝ විට වීරයන් බිහිවන්නේ තරගකාරිත්වය මතින් ලබාගන්නා ජයග්‍රහණයෙනි.



    එහෙත් ජීවිතයත් මරණයත් අතර කරන සටනේදී තම දිවි පරදුවට තබා ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරව ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වන්නෝ සැබෑ වීරයෝය. එවන් උදාර මිනිසුන් අදත් හෙටත් සමාජයෙන් මතුව ගරු බුහුමනට පත්වනු ඇත.


    ඉනෝකා සමරවික්‍රම
    ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න