ඔන්ලයින් ණය : 'මම යාළුවෙලා හිටිය මගේ බෝයි ෆ්රෙන්ඩ්ගේ මල්ලිට ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක් යවලා මේ කෙනා වංචාකාරයෙක් කියලා'
පවතින ආර්ථික අපහසුතා හමුවේ අන්තර්ජාලය ඔස්සේ ණය දෙන සමාගම් හරහා ණය ලබා ගත් වැඩි දෙනෙකුට දැන් සිදුව ඇත්තේ ‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි’ අත්දැකීමට මුහුණ දීමටය.
පෞද්ගලික තොරතුරු ඔන්ලයින් ඔස්සේ තෙවැනි පාර්ශවයක් අතට පත්වීම නිසා විවිධ අපහාසයන්ට ගොදුරු වීමට මෙන්ම නීතියෙන්ද නිසි පිලිසරණක් නොමැති වින්දිතයින් පිරිසක් බවට පත්වීමට ණය ආපසු ගෙවාගත නොහැකි වූ ගනුදෙනුකරුවන් වැඩි දෙනෙකුට සිදුව ඇති බව මේ පිළිබඳ බීබීසී සිංහල කළ සොයා බැලීමකදී අනාවරණය විය.
රටේ පවතින ආර්ථික අර්බුදය සහ ජීවන වියදම හමුවේ ජනතාවගෙන් බහුතරයක් සිය මාසික වියදම් ආවරණය කර ගැනීම සඳහා මුදල් අතමාරු කර ගැනීම සාමාන්‍ය සංසිද්ධියකි.
බැංකු මගින් ණය ලබා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු කොන්දේසි සහ ගතවන කාලය හේතුවෙන් ඉක්මනින් ණය ලබා ගැනීමට උනන්දුවන පුද්ගලයෝ බොහෝ විට මුදල් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පොලියට මුදල් ලබා දෙන පුද්ගලයින්, සිය මිතුරන් හෝ ඥාතින්ගෙන් ණය ලබා ගැනීමට පෙළඹී සිටිති.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ඇතැම් විට කෙටි පණිවුඩ හරහා ද ප්‍රචාරණ කටයුතු කරනු ලබන ඔන්ලයින් ණය දෙන ආයතන වලින් ද බොහෝ පිරිසක් හදිසි ණය අවශ්‍යතා සපුරා ගන්නේ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්ය.
“ණය ඉල්ලුම් කිරීමේදී පෞද්ගලික දත්ත ඔවුන් සතු කර ගන්නවා”
ණය ලබා ගැනීමට ඉල්ලුම් කරනු ලබන පුද්ගලයින් ඊට අදාළ තොරතුරු සැපයීමේදී නොදැනුවත්ම ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අදාළ සමාගම වෙත සපයනු ලබයි."ෆේස්බුක් එකේ හරි වට්ස්ඇප් එකේ හරි ප්‍රමෝෂන් මැසේජස් තියෙන්නේ. ඒ විදිහට මැසේජ් එනවා මිනිත්තු පහෙන් ලෝන් එකක් දෙනවා, ඇපකරුවන් අවශ්‍ය නැහැ, ඔබට මුදල් හදිස්සියක් ද කියලා ඔය වගේ මිනිස්සුන්ව ආකර්ෂණය කර ගන්න විදිහට මැසේජ් එකක් එනවා." බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් නීතිඥ සඳරුවන් සේනානායක පැවසීය.
"සාමාන්‍යයෙන් වට්ස්ඇප් එකට හරි ෆේස්බුක් එකට මැසේජ් එක එන්නේ ලින්ක් එකත් එක්ක. ඒ ලින්ක් එක ක්ලික් කලාට පස්සේ ඔවුන් නිර්මාණය කරපු ඇප් එකක් ඩවුන්ලෝඩ් වෙනවා ෆෝන් එකට. ඒකෙ අදියර හතරක් විතර තියෙනවා. ඒ ටික අනුගමනය කරන් යද්දී අවසාන අදියරට යද්දී ඒ ණය ඉල්ලුම්කරුගේ ෆේස්බුක් එකයි විද්‍යුත් තැපල් ගිණුමයි හැක් වෙනවා."
"විද්‍යුත් තැපැල් ගිණුම හරහා අපේ දුරකථනයේ තියෙන කන්ටැක්ස් ( දුරකථන අංක) වගේම ෆේස්බුක් එකේ පාලනයත් ඒ අයගේ අතට යනවා. නමුත් ඒ අය මොකුත් කරන්නේ නැහැ."
"ඉන් පසුව ඔවුන් දැනුම් දෙනවා ණය ඉල්ලුම්කරුට තමන්ගේ ජාතික හැඳුනුම්පත අත තබාගෙන සෙල්ෆි ජායාරූපයක් ගෙන එය ඔවුන්ට යොමු කරන්න කියලා."
“ණය දීම හරහා කෙරෙන සූරා කෑම”
සියලු කරුණු සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ණය ඉල්ලුම්කරුට පළමු පියවර වශයෙන් ණය නිකුත් කිරීම සිදුකරනු ලැබුවද අදාළ සමාගම සඳහා මුදල් ලැබෙන්නේ කුමනාකාරයෙන් ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව නීතිඥ සඳරුවන් සේනානායක සඳහන් කළේය.ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ණය ලබාදීම හරහා අදාළ සමාගම් අධික පොලියක් අය කර ගනු ලබන බවය.
"ඉස්සෙල්ලාම රුපියල් 7,500 -10,000 සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක් දක්වා ණය මුදලක් මෙම ආයතනය විසින් සපයනු ලබනවා. "
"දැන් ප්රශ්නය තියෙන්නේ ඒක නෙමෙයි. ණය ගන්න කෙනෙක් කැමතියි. ඒ නිසා ණය ලබා දෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. "
"ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අනුව ඔන්ලයින් ගනුදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍ර ලේඛයක් නිකුත් කළා. අන්න ඒ චක්‍ර ලේඛය අනුව ඔන්ලයින් හරි දුරකථනය භාවිත කරලා ණය දෙනව නම් ඒකට වෙනම අවසරයක් ගන්න ඕන. ඔය ණය දෙන එකම සමාගමක්වත් ඒ අවසර අරන් නැහැ. "
"ඊළඟ කාරණාව මේ සමාගම් එක්කවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ ණය දෙන ආයතන විදිහට. මේ සල්ලි කොහෙන්ද එන්නේ කොහෙටද යන්නේ කියලා ලොකු ප්‍රශ්නයක්."
"අනිත් කාරණාව ණය ලබා දෙන්නේ පොලි රහිතව කියලයි. හැබැයි රුපියල් 10,000 ක ණයක් ඉල්ලුම් කළාම ණය ඉල්ලුම්කරුට ලැබෙන්නේ රු. 7,000ක් විතරයි. ඒකත් දවස් 10ක් ඇතුලත ගෙවන්න ඕන."
"ඒ කියන්නේ දවස් දහයට පොලිය රුපියල් 3,000ක්. හරියට බැලුවොත් සියයට 30ක පොලියක් අය කරනවා. මාසයක කාලයක් යනකොට සියයට 90ක් පොලිය. එතකොට මේ ණය දෙන පිරිස් අධික ලාභයක් උපයනවා."
"මේක පිරිමිඩ් වලටත් එහා ගිය දෙයක්. එහෙම කරන්න ඉඩ දෙන්න බෑ. "
"යම් විදිහකින් අර රුපියල් 7000ක් ණයට ලැබුන කෙනා දවස් 10ක් ඇතුළත රුපියල්10,000ක් ගෙවන්න ඕන. ඒ නියමිත දිනයට මුදල් ගෙවන්න බැරි වුනාම දවසකට 10%ක අමතර පොලියක් අය කරනු ලබනවා. ඒක තමයි ඔවුන්ගේ සැලැස්ම." ඔහු පැවසුවේ ය.
මේ ණය දෙන ආයතනවලට කාර්යාලයක් තිබේ ද?
මෙම ණය ලබා දෙන ආයතනවල කිසිදු ප්‍රධාන කාර්යාලයක් පිහිටා නොමැති අතර ඒවා පුද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කිරීමක් පමණක් සිදුකර ඇති බව මේ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය විය.පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට ලබාදී ඇති ලිපිනයන් පරික්ෂා කර බැලීමේදී එම ස්ථානවල එවන් සමාගමක් පිහිටා නොමැති බවට ද කරුණු හෙළිව තිබේ.
නීතිඥ සඳරුවන් සේනානායක පැවසුවේ මෙලෙස ණය ලබා දෙන එක් සමාගමක අධ්‍යක්ෂකවරයා මෙන්ම කොටස් හිමියා ලෙස කටයුතු කරනු ලබන්නේ තනි පුද්ගලයෙකු බවයි.
"මේ සමාගම එකම වුවත් ඔවුන් විවිධ නම් වලින් සමාජ මාධ්‍යයේ පෙනී ඉදිමින් ප්‍රචාරණ කටයුතු කරනවා."
මෙම ණය ලබා දෙන ආයතනවල කිසිදු ප්‍රධාන කාර්යාලයක් පිහිටා නොමැති අතර ඒවා පුද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කිරීමක් පමණක් සිදුකර ඇති බව මේ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය විය.
ණය නොපියවන පුද්ගලයින්ට අත්වන ඉරණම
මෙම ණය දෙන සමාගම් මගින් මුදල් ණයට ගෙන යම් හෙයකින් නියමිත දිනයට මුදල් නැවත පියවීමට අපොහොසත්වන පුද්ගලයින්ට ඉතා අප්‍රසන්න සිදුවීම් වලට මුහුණ පෑමට සිදුව තිබේ."ණය ලබා ගන්නා පුද්ගලයින්ට යම් විදිහකින් නියමිත දිනට මුදල් ගෙවීමට නොහැකි වෙලා යම් කාලයක් ගතවුනොත් අදාල ණය දෙන සමාගම කරන්නේ ණය ගත් පුද්ගලයාගේ ජංගම දුරකථනයේ තිබෙන සම්බන්ධතා ලැයිස්තුවට (කන්ටැක් ලිස්ට්) එකේ සිටින පුද්ගලයින්ට කෙටි පණිවිඩ යොමු කරනවා.” නීතිඥ සේනානායක පැවසීය.
"ඒ කෙටි පණිවිඩයේ සඳහන් වනවා මෙහෙම ණය අරක් තිබෙනවා අදාළ පුද්ගලයා විසින්. ඔහු ඒ මුදල නැවත පියවා නැහැ. ඔහු වංචාකාරයෙක් කියමින් පණිවිඩ යවනවා. "
"ඊට පස්සේ අර කන්ටැක් ලිස්ට් එකේ තියෙන නම්බර්ස් වලට කෝල් කරනවා. ඔය අතර වාරයේදී ලබා ගත්ත ජායාරූපය යොදා ගෙන ෆේස්බුක් හෝ වට්ස්ඇප් ගිණුමේ සිටින පුද්ගලයින්ට ඒවා යොමු කරනවා ණය අරන් නොපියවා ඉන්න පුද්ගලයෙක් බව කියලා. "
"අන්න එතැනින් තමයි මේ ප්රශ්නය ඇති වෙන්නේ. මේ ඔක්කොම නීතියෙන් තහනම් වැඩ."
“අම්මගේ අසනීපය නිසයි මම ණය ගත්තේ”
සිය මවගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන සමාගම් කිහිපයකින් ණය ලබා ගෙන මේ වන විට දැඩි අපහසුතාවයකට ලක්ව සිටින ගුරුවරියක් බීබීසි සිංහල සේවයට මෙලෙස අදහස් දක්වා සිටියාය.ඇයගේ ඉල්ලීම මත ඇගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට බීබීසි සිංහල කටයුතු කරන එබැවින් අපි ඇයව ස්වර්ණා ලෙසින් හඳුන්වන්නෙමු.
" මම ගුරුවරියක්. පසුගිය කාල සීමාවේ මට ගොඩක් ආර්ථික ප්‍රශ්න ඇති වුණා. මේ නිසා මම අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන ආයතන වලින් ණය ලබා ගන්න පෙළඹුණා."
"මුළින්ම රුපියල් 5,000ක් වගේ පොඩි ගණන් වලින් තමයි ණය ලැබුනේ. මම ඒ වගේ ආයතන කිහිපයක් එක්කම ගනුදෙනු කරන්න පටන් ගත්තා. "
"ණය ගන්න හේතුව වුනේ මගේ අම්මාට අසනීප වුණා. වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. මම බැංකු වලින් ණය ගන්න උත්සාහ කළත් මගේ වැටුප ඇපයට තබා ගෙන ණය ගන්න විදිහක් තිබුනේ නැහැ."
"මම අවුරුද්දක් විතර මේ අන්තර්ජාලය ඔස්සේ ණය දෙන සමාගම් වලින් මුදල් අරන් ඒවා හැම මාසයකදීම පියෙව්වා. ලොකු පොලියක් අය කරනවා ඒ අය. නමුත් හදිස්සියට වෙන ගන්න තැනක් නැති නිසා කරන්න දෙයක් නැහැ."
මේ අතරතුරදී මගේ ආර්ථික ප්‍රශ්න තවත් උත්සන්න වුණා. ඒ නිසා බැරිම තැන මම එයාලට කිව්වා මට ගෙවන්න සල්ලි නැහැ. මට ටික කාලයක් අවශ්‍යයි කියලා."
"ඒ වෙද්දී මම එක ණය දෙන ආයතනයකින් රුපියල් 40,000ක් වගේම තවත් ආයතන කිහිපයකින් තව මුදල් ප්‍රමාණයක් ණයට අරන් තිබුණේ."
"දැන් මම අර රුපියල් 40,000ක් ණයට ගත්ත සමාගමෙන් මාස එකහමාරක කාලයකට පොලී පිට පොලී එකතු කරලා රුපියල් 239,000ක් ගෙවන්න කියලා මට කියනවා."
"ඒ වගේම අනෙක් ණය දුන් ආයතනත් වැල් පොලියට පොලී එකතු කරලා ඒ ණය ගෙවන්න කියලා කෝල් පිට කෝල් දෙනවා මට."
"සාමාන්‍යයෙන් උදේ 6.00 ඉදලා රෑ 8.00 වෙනකම් මේ විදිහට මාරුවෙන් මාරුවට කෝල් කරනවා. අඩුම තරමින් එක දවසකට කෝල් 60ක් වත් එනවා. මම ඒ නිසා දැන් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඒ නිසා ඒ අය මගේ අම්මටත් කෝල් කරනවා. එයා අසනිපෙන් ඉන්නේ."
"දැන් ටික දවසකට කලින් මම රැකියාව කරන පාසලට කෝල් කරලා විදුහල්පතිට කියල තිබුණා මම මෙහෙම ණය අරන් නැවත ගෙවන්නේ නැහැ කියලා."
"පස්සේ මට කතා කරල කිව්වා ළඟදීම ඉස්කෝලෙට එනවා ලෝයර් කෙනෙකුත් අරන්, ඒ ආවම ණය මුදලෙන් භාගයයි ලෝයර්ගේ ගාස්තුවයි මම ගෙවන්න ඕන කියලා. මම කිව්වා එහෙම ගෙවන්න දැන් මගේ අතේ මුදල් නැහැයි කියලා. එතකොට ඒ කතා කරපු කෙනා කිව්වා ඒකට කරන්න දෙයක් නැහැ. කොහොම හරි සල්ලි ගෙවන්න ලෑස්ති කරන්න කියලා."
"මම ඇත්තටම සල්ලි ගත්තේ මම පත්වෙලා හිටපු තත්ත්වය නිසා. ඒත් දැන් පුදුම විදිහට මානසිකව පීඩනයට ලක් වෙලා ඉන්නේ." ඇය පැවසුවාය.

