සිංහල විවාහ චාරිත්‍ර විකාශය (ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොවේ)

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මීට වසර හතළිහකට පමණ පෙර, කුඩා දරුවකු ලෙස මගේ මාමාගේ විවාහ මංගල්‍යය දුටුවෙමි.

    ඒ කාලයේ හැටියට හොඳ මට්ටමේ මඟුල් ගෙයක් වූ එහි හරක් මස් කන්නට දුන්නේ ය. ඒ කාලයේ සාමාන්‍ය මඟුල් ගෙදරක දුන්නේ මාළු ය. මට මතක පරිදි මම මුල් වරට කුකුළු මස් කෑවේ හැත්තෑව දශකයේ අගභාගයේදී ය. ඒ දවස්වල බොහෝ ගෙවල්වල කුකුළන් සිටිමුත්, ඒ ගෙදරම අය උන්ව මරාගෙන කෑමක් ගැන මට මතකයක් නැත. උගුඩුවන් වැනි සතුන්ගෙන් කුකුළන් බේරා ගැනීම සඳහා උන්ගේ කූඩුව හදා තිබුණේ ගස් දෙකක් අතර බඳින ලද කම්බිවල එල්ලී තිබෙන පරිදි ය. දවල් දවස පුරා ම ගෙවතුවල ඇහිඳ කන කුකුළෝ හැන්දෑ වූ විට ස්වේච්ඡාවෙන් ම කූඩුවට පියෑඹූ හ. ඒ වන විට සිංහල බෞද්ධයෝ දඩ මස් ඇතුළු විවිධ මස් වර්ග කෑ හ. බ්‍රොයිලර් කුකුළු මස් ජාතික මාංශ ආහාරය වී නො තිබුණි.

    මේ මඟුල් ගෙදර සීල් අරක්කු ද බොන්නට දුන්නේ ය. ඒ පිටුපස කාමරයක හොර රහසේ වගේ ය. අප්පුහාමිලා, රාළහාමිලා හොරුන්‍ මෙන් එහි රිංගා විග විගහට අසෝක වීදුරුවෙන් දෙක තුනක් ළඟ නමාගෙන 'ක්‍රාස්, ථු:' ගා කෙළ ගසා බත් මේසයට ගිය හ.

    බත් මේසය විවිධ කෑම වර්ග පළංගාන, දීසි ආදියෙන් සමන්විත විය. බුෆේ ක්‍රමයට නොව, බෙදාගෙන කෑමට තිබුණු කෑම මේසය වටේ ගමේ ඉලංදාරි සිටගෙන අඩු පාඩු පිරිමසා දුන් හ. බත් බෙදූ හ. මේ ඉලංදාරි අතරින් ඇතැමෙක් අර කාමරය පැත්තේ ගොස් පැමිණ සිටි බැවින් වැඩිපුර බත් බෙදීම, බලෙන් බත් කැවීම වැනි කරදර තිබිණි. මට තිබුණු ලොකුම ප්‍රශ්නය අත හෝදන කෝප්පයයි. කීප දෙනෙකු අත සේදීමෙන් පසු ඒ කෝප්පයට අත එබීම මට ඔක්කාරය ගෙන දෙන වැඩක් විය. ඒ නිසා මෙවැනි මඟුල් ගෙවලදී මම කෙ‍සේ හෝ කලින් කා නිමවා අත හෝදන බඳුනේ වතුර ඉඳුල් වීමට පෙර අත දොවා ගන්නට වග බලා ගතිමි.

    මාමාගේ මඟුල් ගෙදර ඉවීම පිණිස මුස්ලිම් කෝකීන් පිරිසක් කැඳවා තිබිණි. ඔවුහු ගමේ මිනිස්සු පුස් හැලට් යයි හැඳින්වූ පලතුරු සලාදයක් සැකසූහ. පලතුරු කැබලි කුඩාවට කපා සකසන ලද ඒ චොහොරයට ටිංකිරි ද මුසු කර තිබිණි. 'තම්බි මිනිස්සු' අතින් චොහොර කරන ලද ඒ 'ජරාව' අපේ අම්මා නම් කටේ තිබ්බේ නැත.

    මඟුල් ගෙදරට සූදානම් වුණේ මාස ගණනාවක සිටයි. මඟුල් ගෙදරට සතියකට පමණ පෙර සිට පුවක් ගස් කපා ගෙනැවිත් මඟුල් මඩුවක් සාදන ලදී. ඒ කාලයේ මඟුල් ගෙදර 'දෙන' එකක් නම් ගමේ කලාකාරයෙක් ලෑලි, ගොක් කොළ ආදිය පාවිච්චි කර පෝරුවක් ද සාදයි. අපේ මාමාගේ මඟුල දෙන එකක් නොව ගේන එකකි.

    මඟුල් ගෙදරට පුටු, පිඟන්, කෝප්ප ආදිය ගෙන ආවේ අහළ පහළ ගෙවල්වලිනි. නිතර මඟුල් ගෙවල්වලට මෙසේ දෙන්න සිදු වන නිසා අපේ ගෙදර පිඟන් ‍කෝප්පවල යට පැත්තේ ඉංග්‍රීසි ජේ අකුරක් සූරා කොටා තිබිණි. මේ විවිධ වැඩවලට ගමේ තරුණයෝ හා ළමයි විශාල පිරිසක් උදව් වූහ. මඟුලට දවස් කීපයක් කලින් සිට උදව්වට පැමිණෙන ගැහැනු අය කෙළින්ම යන්නේ කුස්සිය පැත්තට ය. වැඩ කරනවාට වඩා එතැන ඇත්තේ ඕපාදූප, කෙළි කවටකම් ආදියයි. පොඩි ළමයි එහි ගොස් කටවල් දිහා බලා සිට හොඳ හොඳ දේ උගනිති.

    මඟුල් ගෙදර හැන්දෑවේ අර උදව් කළ තරුණයෝ මාමා විසින් දෙන ලද අරක්කු බෝතල් කීපය හිස් කරමින් ඩොල්කියක් වයමින් සාජ්ජයක් දැමූ හ.

    අර මාමාගේ බාල පුතා මේ ළඟදී කසාද බැන්දේ ය. මම මඟුල් ගෙවල් දෙකට ම ගියෙමි. ඒ වා තිබුණේ හෝටල්වල ය. වායු සමනය කරන ලද පාසල් පංති කාමර තුනක් පමණ ලොකු වූ ශාලාවල සුදු රෙදි දැමූ මේස, සුදු කවර දැමූ පුටු, ප්ලාස්ටික් මලින් සකසන ලද පෝරු, ආසන ආදිය තිබිණි. හැඳි ගෑරුප්පු තබා දිවා ආහාරයට සකසන ලද ඒ මේසවල අපි උදේ සිට වාඩි වී සිටියෙමු. දොර ඇරගෙන එළියට යන්නට පුළුවන් මුත්, ඇඳගෙන සිටින ටයි, කෝට්, සාරි, ඔසරි ආදිය හේතුවෙන් අධික දාහයක් දැනුණු බැවින් වැඩි දෙනෙක් අර තදබදය මැද්දේ ශාලාව තුළ ම රැඳී සිටින්නට කැමති වූ හ.

    පෝරුවේ චාරිත්‍ර අවසන් වූ පසු හා මනාල යුවල කේක් කපා කති. රිජිෆෝම්වලින් හැදූ තට්ටු කීපයක් අයිසිං කර කේක් ගෙඩියක් සේ පෙනෙන අන්දමින් හදා ඇති එහි කොණක පොඩි කේක් කෑල්ලක් තිබේ. කේක් එක හැදූ අය එතැන පෙන්වා දෙති. නැතිනම් මනමාලයා මනමාලියට කවන්නේ රිජි‍ෆෝම් ය. ඉන්පසු වෙනදාත් හමු වන ඒ පවුලේ නැන්දා පැමිණ අප පිළිගත්තේ සිප වැළඳගෙනයි. වෙනදා එහෙම ක්‍රමයක් අප අතර නැති මම නම් දෑත් එක් කර ආයුබෝවන් කීවෙමි. ජීවිතේ කවදාවත් පොඩි එකෙක් වත් සිප වැළඳ නො ගන්නා අය මඟුල් ගෙදරදී නුහුරු ලෙස එකිනෙකා සිප වැළඳ ගනිති.

    මනාලයාත්, මනාලියත් සියල්ල කරන්නේ කැමරාවට ය. ඔවුහු ජීවිතේ පළමු හා අවසන් ටෙලි නාට්‍යයේ රඟ පා පසුව ටික කාලයක් යනතුරු මේ ටෙලිය ඥාති මිත්‍රාදීන්ට පෙන්නා සතුටු වෙති. එය බලන්නේ ද එහි චරිත රඟපෑ ළඟම නෑයින් පමණි. ටික කාලයකට පසු ‍මේ බාල වීඩියෝවලට මොනවා වෙනවාදැයි සොයා බැලිය යුතු ය.

    එතැන් සිට ඩී.ජේ. හෝ සංගීත කණ්ඩායම වැඩ පටන් ගනියි. අමුත්තෝ දන්නා අඳුනන කීපදෙනා බැගින් මේස වටා වාඩි වී අර සංගීත රාවය යටපත් වන අන්දමින් ළඟ සිටින අයෙකුගේ කණට කට තබා ගිරිය පුප්පා කතා කරති.

    ඔය අතර ශාලාවෙන් පිටත බීම සූදානම් කරනු ලැබේ. බොන්නෝ වෙන වැඩකුත් නැති නිසා කරටි කැඩෙන්න ගහති. එතනත් බයිට් එක ජාතික මාංශාහාරය වන චිකන් ම ය. ඇතැම් විට බීලා වැඩි වූ එකෙක් පුටු පෙරළාගෙන වැටේ. වලි ද ඇවිළෙන වෙලාවල් තිබේ. නැතිනම් ඉතින් සිංදු හා නැටුම් ෆන් එක ය.

    උදේ පටන් වෙල්කම් ඩ්‍රින්ක් එක හැර වතුරවත් නැතිව බඩ පණුවන් මරමින් සිටි ගැහැනු අය හා නො බොන්නෝ මනාල යුවල බත් බෙදා ගත් සැණින් බුෆේ මේසය ළඟ පෝලිම් ගැසෙති. අමුත්තෝ පිඟන් අරන් පෝලිම්වල යන්නේ හරියට හිරකාරයන් පිරිසක් ‍සේ ය. පිඟානළඟ ඉඳගෙන මඟුල් ගෙදර ගෑනු ළමයෙක් පිඟන් මතින් කේක් පෙට්ටියක් තබයි. ගමේ හෝටලේකින් රුපියල් 20කට පමණ මිළ දී ගත හැකි සාමාන්‍ය කේක් කෑල්ලක් දැමූ මේ පෙට්ටි කවුරුහරි සොරකම් කර ගනියි කියා බයෙන් ය එසේ බෙදා දෙන්නේ.
    .
    මඟුල් ගෙවල්වලට එන අපේ සිංහලයෝ වැඩිදෙනෙක් දන්නා ඉංග්‍රීසියක් හෝ මේස චාරිත්‍රයක් හෝ නැත. බත් කන්නට පෙර හෝ පසු හෝ අත සෝදා ගන්නට පහසුකම් නැති නිසා ඔවුහු බාත්රූම් සොය සොයා ඒවායේ රිංගති. සමහරු හැමදාම අත් සෝදන නිසා අද නැතුවට මොකද කියා කිළිටි අතින් බත් කති. නැතිනම් නුහුරු ලෙස හැඳි ගෑරුප්පු ලෙලවති. බොහෝ හෝටල්වල කෑම ජාති රැසක් තිබෙනමුත් ඒවා මෙලෝ රහක් නැත. ඒ නිසා පෙරේතකමට බෙදාගත්තත් වැඩිහරියක් ආපසු කුණු බඳුන්වලට ම යයි.

    කෑමෙන් පසු බීපු තරුණයෝ නැටුම පටන් ගනිති. තරුණියෝ පිරිසක්ද එයට හවුල් වෙති. ශබ්ද විකාශන දැන් ෆුල් ම වොලියුම් ය. ශබ්දයේ අධිකකම නිසා දෙදෙනෙකුට කතා කරන්නත් බැරි බැවින් සෙස්සෝ නිදි කිරමින් නැටුම් බලති. මේ නැටුම් වනාහි කිසිදු නැටුම් කලාවකට අයත් නො වන පිරිසිදු සිංහල ජවුසන් වේ. මේ නටන අතර, මනාලයා හා මනාලිය ද මෙතැනට බලෙන් මෙන් ගෙනවුත් වට කරගෙන නටවති. ඔවුන් එන්නේ වදෙන් පොරෙන් වගේ ය. යන්නේ ඉක්මණින් ඇඟ බේරාගෙන යන්නා වගේ ය. ඒත්, හැම මඟුල් ගෙයකම පාහේ මෙය සිදු වේ. මනාලයා ත්‍රිවිධ හමුදාවෙන් එකක නම් යාළුවෝ මනාලයාත්, මනාලියත් උඩ දමා අල්ලති.

    මනාලයාගේ යාළුවන්ට දැන් ඉස්සර මෙන් කරන්නට උදව් නැති නිසා, හෝම් කමිංවලදී කරන්නේ අතරමගදී මනාලයාත්, මනාලියත් කාරයෙන් බස්සාගෙන ඔය කරත්තයක, අත් ට්‍රැක්ටරයක හෝ විල්බැරෝවක හෝ රැගෙන ඒමයි. සමහර මනාලයෝම යාළුවන්ට කියා මෙය සංවිධානය කර ගනිති. ඉස්සර නම් මේ ගොන්පාට් පත්තරවල ද පළ කරන ලදී.

    ඔය විදියට කාලය ගත වී අයිස් කෝපි ද බීමෙන් අනතුරුව පිටත් වන වේලාව එළඹේ. එතකල් කෙරෙන්නේ ෆොටෝ ඇල්ලිල්ල හා ලියුම් කවර අත මිට මෙළවිල්ලයි. ඉස්සර නම් මඟුල් ගෙවල්වල මංගල සභා පැවැත්වේ. ඒවායේ කතා පැවැත්වීමට විශාරදභාවයක් ඇති අය කතා පවත්වා මනාල යුවලට අවවාද අනුශාසනා පවත්වති. දැන් එහෙම කතා බතා නැත. පිටත් වන්නේ ද කැමරාවට ය. බොහෝ විට මනාලිය කලින් ඇඳගෙන සිටි ඇඳුම ගලවා ගොයිං අ‍වේ නමින් හැඳින්වෙන වෙන ඇඳුමක් ඇඳගෙන එයි. පි‍ටත් වීම සිදු වන්නේ ද කැමරාකරුවන් කියන හැටියට ය. මනාලයාගේ යාළුවෝ වටේ ඉඳගෙන දෙපැත්ත කැපෙන කතා කියති.

    මඟුල් ගෙදරට ටයි කෝට් මසා ගැනීමෙන් මනාලයාට ලාභයක් සිදු වේ. ඒ වනාහි ඉන්පසු එළඹෙන සිය යාළු මිත්‍රයන්ගේ මඟුල්වලට අර කෝට් බෑය අඳින්නට පුළුවන. ඇඳලා, ඇඳලා හම්පඩ වනතුරු පරම්පරාවක් ම මේ කෝට් බෑය මඟුල් ගෙවල්වල යයි. ගැහැනු අය මඟුල් ගෙවල්වලදී කරන ප්‍රධාන කාර්යයක් වන්නේ අනෙක් ගැහැනුන්ගේ ඇඳුම් නැරඹීමයි. එසේ බලා මතක තබා ගන්නේ වෙනත් මඟුල් ගෙවල්වලට ද ඒවා අඳිනවා ද කියා ය. මඟුල් ගෙවල්වලට යාම සඳහා අඳින ගැහැනු නියපොතුවල හා තොල්වල සායම් ගැම ද කරති. නියපොතු ගෙවෙන, කැඩෙන, ඇඟිලිවල කහට බැ‍ඳෙන වැඩපළ කරන ගැහැනු ඒ නිය මත රතු පාට ආලේපන ගා ගත් විට 'සුන්දරත්වය' කියලා වැඩක් නැත.

    ජාතියක් ලෙස අප අපගේ සංස්කෘතික අනන්‍යතාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු නො වේ ද?

    w3lanka
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Bored To Death Yawn GIF by Rose McGowan
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    2040දී වගේ මීට අවු 20කට 30කට කලින් මගුල් ගෙවල් ගැන මේවගේම හොද කියන ඒ කාලේ මගුල් ගෙවල් වල තියන නොහොබිනා වැඩ කියන ත්‍රෙඩ් වැටෙනු ඇත... :rolleyes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World