සිනමාව ගිනිඅවි සහ බොරුව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිනමාව ගිනිඅවි සහ බොරුව

    GZOKwVA.jpg

    ශ්‍රී ලංකාව වැනි රටවල ගිනිඅවි සම්බන්ධ දැනුම තිබෙන්නේ හමුදා හෝ පොලිස් සේවයේ පිරිසට පමණි.නමුත් එක්සත් ජනපදය තුල සාමාන්‍යය ජනයාට පවා ගිනි අවියක් තබා ගැනීම, ගිනිඅවි සමාජවල සාමාජිකත්වය ලබාගැනීම ආදියට පවා නිදහස තිබේ.නමුත් ලෝකයේ වැඩි පිරිසකට ගිනි අවි සම්බන්ධව තිබෙන්නේ නොසැලකිය හැකි තරම් දැනුමකි.හොලිවුඩ් චිත්‍රපට රචකයන් සහ අධ්‍යක්ෂකවරුන් මේ ගැන හොඳින් දන්නා නිසා ඔවුන් චිත්‍රපටවල ගිනිඅවි යොදාගන්නා දර්ශනවලදී ප්‍රේක්ෂකයාව සාර්ථකව මුලා කරන්නට සමත්ව තිබේ.පහත දැක්වෙන්නේ සිනමාවේ එන ගිනිඅවි සම්බන්ධව මිත්‍යාවන් කිහිපයකි.



    සයිලන්සර් සහිත ගිනි අවි නිහඬ ඝාතකයන් වෙති​

    NEHb5cw.jpg


    සයිලන්සර් සහිත ගිනිඅවි භාවිතාවූ චිත්‍රපට සමහරක්

    In The Line Of Fire, Die Hard 2, No Country For Old Men, Shooter,James Bond චිත්‍රපට පෙළ



    මිත්‍යාව

    සමහර චිත්‍රපටවල සිටින රහස් නියෝජිතයන් සහ ඝාතකයන් කාර්යාල,පුස්තකාල,රෝහල් ආදී දැඩි ඝෝෂාවක් නැති ස්ථානවල පුද්ගල ඝාතන සඳහා යොදාගන්නේ සයිලන්සර් සහිත පිස්තෝලය/ගිනිඅවිය.චිත්‍රපටවලදී පෙන්වන්නේ වෙඩි තබන අවස්ථාවේ ගිනිඅවියෙන් නොසැලකිය හැකි තරම් සුළු ශබ්දයක් පමණක් පිටවන බවයි.

    uOBZuag.jpg



    කුඩා පිස්තෝල පමණක් නොව දැවැන්ත ෂොට්ගන් පවා මෙලෙස කිසිදු ශබ්දයක් නොමැතිව වෙඩි තැබීමට භාවිතා කරන අයුරු හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවල දැක්වේ.

    KP7SyqZ.jpg


    තවත් විටෙක මිලෙන් වැඩි සයිලන්සර් වෙනුවට පහසුවෙන් සපයා ගත හැකි ඉවත දමන බෝතලය/ටින් එකක් යොදාගෙන ෂූටර්(Shooter) චිත්‍රපටයේ මාර්ක් වල්බර්ග් කරනවාක් මෙන් වෙඩි හඬක සලකුණක් හෝ නොමැතිව දුරින් සිටින අයෙක් මරාදමයි.

    p8Ba0Sz.jpg




    සත්‍යය

    චිත්‍රපට ඔස්සේ ඔබව කොතරම් මුලාවක දමා තිබේද යන්න දැනගන්නට නම් ගිනිඅවියක් ක්‍රියාකරන්නේ කෙසේද සහ වෙඩිල්ලක් තැබූ විට අවිය තුල සිදුවන ක්‍රියාවලිය ගැන දැනුමක් තිබිය යුතුය.ගිනිඅවියක් ක්‍රියාත්මක කලවිට වෙඩි බෙහෙත් පිපිරීයෑම නිසා විශාල ශබ්දයක් ජනිත වේ.ෂොට්ගන් එකක නම් මෙම ශබ්දය ඩෙසිබල් 165ක් පමණවන අතර එය ජෙට් එන්ජිමක ශබ්දයට(ඩෙසිබල් 140ක් පමණ) සමානය.ගිනිඅවියක් කෙළවර සවිකල කුඩා ලෝහ බැරලයකින් එතරම් විශාල ශබ්දයක් නොසැලකිය හැකිතරම් අවම කල හැකිද?සාමාන්‍යයෙන් පුස්තකාලයක් තුල ඇති ශබ්දය ඩෙසිබල් 30ක් පමණ වේ(ලංකාවේ නම් කොහොම දන්නේ නෑ).පිස්තොලයකට සයිලන්සර් එකක් සවිකර වෙඩි තබද්දී නිකුත් වන ශබ්දය මොනවගේද?මේ කියන දේවල් වැරදියි,හොලිවුඩ්වල පෙන්වන්නේ ඇත්ත කියලා කියන ඈයන්ට පුලුවන් පහල තියෙන වීඩියෝව බලලාම ඇත්ත නැත්ත තීරණය කරන්න(තත්ත්පර 11ක එකක්).



    වීඩියෝව බලන්න බැරි ඈයන්ට කතාව සාරාංශ කරලා කියනවා නම් :සයිලන්සරය සවිකර වෙඩි තැබූපසු පිස්තෝලයෙන් නිකුත්වන්නේ විකෘති වූ ශබ්දයකි.නමුත් එහි ශබ්දය යම් ප්‍රමාණයකට අවම වීමක් සිදුව තිබෙන මුත්,බළලෙක් කොට්ටයක් මතට පනිනවාක් මෙන් මෘදු ශබ්දයක්,එසේත් නැති නම් හොලිවුඩ් චිත්‍රපටවල පෙන්වනවාක් මෙන් මෘදු ශබ්දයක් නිකුත්වන්නේ නැත(චිත්‍රපටවල නම් සයිලන්සර් දාලා වෙඩි තියද්දී එන්නේ 'චුෂ්' වගේ ශබ්දයක් නේද :D)

    xfY97fk.png
    විවිධ ස්ථාන සහ උපාංග උපකරණ ආදියේ ශබ්දයේ ප්‍රමාණය​


    සයිලන්සර් නොමැතිව වෙඩි තබන්නේ නම් නිකුත්වන ශබ්දය ඩෙසිබල් 140-160 අතර වේ.අනිවාර්යෙන්ම මා ඇතුලු බොහෝදෙනෙකුට වෙඩි ශබ්දයක් කෙසේද යන්න ගැන අවබෝධයක් නැත.වෙඩි තබන අවස්ථාවක ඔබ සිටින ස්ථානය අනුව ශබ්දය නිසා ඇතිවන හානිය වෙනස් වේ.සමහර විට එය තාවකාලිකව ඔබේ ශ්‍රවණය නැතිකරාවි.තවත් විටෙක එම ශබ්දය ඔබේ ශරීරය අකුලවා දමන්නට මෙන්ම ශ්‍රවණය ස්ථිරවම අහිමි කරන්නට හේතුවිය හැකිය.සයිලන්සරයක් මගින් වෙඩි ශබ්දයේ අගය ඩෙසිබල් 120-130 දක්වා පහත දැමිය හැකිය(මෝටර්සයිකලයකින් නිකුත්වන ශබ්දය - ඩෙසිබල් 100කි ).නමුත් එය චිත්‍රපටවල පෙන්වනවාක් මෙන් ශබ්දයක් නොනඟා පුද්ගලයෙක් ඝාතනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව ඔබට වැටහෙනවා ඇති.

    YXS1B1x.jpg


    සැබවින්ම සයිලන්සරයක් මගින් විශාල ගිනිඅවියක ශබ්දය කුඩා අවියකට සමාන කරයි.ඔබ ජේම්ස් බොන්ඩ් යැයි සිතන්න.සතුරෙක්ගේ තිප්පොලකට කඩා වැදී ඔබේ සයිලන්සරය සහිත ගිනිඅවියෙන් වෙඩි තැබුව හොත් එම ශබ්දය අසන ආරක්ෂකයන් සිතන්නේ ඔබ කුඩා ප්‍රමාණයේ අවියක් භාවිතා කරන බවයි.

    සයිලන්සර්වල තත්ත්වය මෙසේ නම් ඒවා පවතින්නේ ඇයි?ඔබ සිටින්නේ ඝෝෂාකාරී පරිසරයක නම් සයිලන්සර් සහිත ස්නයිපර් අවියකින් ,කිසිදු හෝඩුවාවක් නොමැතිව කෙනෙකුට ඔබව මරා දැමිය හැකිය.​

    qhREr8t.jpg
    ෂොට්ගන් එකක් සඳහා භාවිතා කරන සයිලන්සරයක්​


    සයිලන්සර් සහිත ෂොට්ගන් තිබේද?තිබෙනවා.පහත දැක්වෙන්නේ සයිලන්සරයක් සවිකල ෂොට්ගන් එකකින් වෙඩි තබන අයුරුය.​



    එය ගිනිඅවිය තවත් ඝෝෂාකාරී කරන බවක් ඔබ පෙනේද.​


    සයිලන්සරයක් සහිත ගිනිඅවියක ක්‍රියාකාරීත්වය

    ගිනිඅවියකින් උණ්ඩයක් නිකුත් කිරීමට නම්,උණ්ඩයට පිටුපසින් වෙඩිබෙහෙත් දැල්විය යුතුය.වෙඩි බෙහෙත් අධික පීඩනයක් සහිත උණුසුම් වායු ස්පන්දයක් නිර්මාණය කරයි.මෙම අධිපීඩන වායු දහර මගින් සපයන ක්ෂණික තෙරපුම් බලය හේතුවෙන් උණ්ඩය අධික වේගයෙන් ගිනිඅවියේ බැරලය ඔස්සේ ඉදිරියට ගමන් කරවයි.උණ්ඩයට පිටුපසින් අතිවිශාල පීඩනයක් තිබේ.එය වර්ග අඟලකට රාත්තල් 3,000ක් තරම් විශාලය.අධික උෂ්ණත්වයක් සහ පීඩනයක් සහිත මෙම වායු දහර උණ්ඩයත් සමග බැරලයෙන් ඉවතට යද්දීම දීප්තිමත් ආලෝකයක් සහ ප්‍රබල ශබ්දයක් නිකුත් කෙරේ.සයිලන්සරය තිබෙන්නේ බැරලයේ කෙළවරය.එය ගිනිඅවියේ බැරලයේ පරිමාවට වඩා 20%-30% ගුණයකින් වැඩිය.සයිලන්සරය සවිකර වෙඩි තැබූ විට අධිපීඩන වායු දහර අඩු පරිමාවක් සහිත බැරලයේ සිට වැඩි පරිමාවක් සහිත සයිලන්සරය තුලට ගමන් කර ප්‍රසාරණය වේ.එවිට අධිපීඩන වායු දහරේ පීඩනය පහළ වැටේ.උණ්ඩය සයිලන්සරය තුලින් ගමන් කරද්දී ඒ මත ඇතිකරන තෙරපුම් බලය වර්ග අඟලකට රාත්තල් 60 පමණ වේ.මේ නිසා අවසානයේදී උණ්ඩය සයිලන්සරයෙන් බාහිර පරිසරයට මුදාහල විට නිකුත්වන ශබ්දය යම් ප්‍රමාණයකට අවම වේ.නමුත් උණ්ඩයක් ගිනිඅවියකින් මුදා හැරිපසුව එය ගමන් කරන විට(ශබ්දයේ වේගය ඉක්මවා යද්දී)කුඩා ප්‍රමාණයේ දෝංකාරයක්(sonic boom) ඇතිකරයි.සයිලන්සරය මගින් එවැනි සංසිද්ධියක් නිෂේධනය කල නොහැකිය.

    kXLDwuz.jpg
    සයිලන්සරයක ඇතුලත සැකැස්ම​


    Mo2QPw8.jpg
    සයිලන්සරයක්​



    සයිලන්සරයකින් ගිනිඅවියක් නිශ්ශබ්ද කල නොහැකි නම් ඒවා භාවිතා කරන්නේ ඇයි?

    මේවා සංග්‍රාම භූමියේදී සෙබලුන්ට වැදගත් උපාංගයක් වේ.දිගු දුර සහ කෙටි දුර වෙඩි තැබීම්වලදී අවම ශබ්දයක් සහ උණ්ඩ නිකුත් වෙද්දී ජනිතවන ක්ෂණික දීප්තිය නොමැතිව ගිනිඅවි පාවිච්චි කරන්නට සයිලන්සරය උදව්වේ.දඩයක්කරුවන්ට සහ වෙඩික්කරුවන්ට ඔවුන්ගේ ශ්‍රවනේන්ද්‍රියන් ආරක්ෂා කරගෙන වෙඩි තැබීම් සිදුකරන්නටද මේවා යොදාගැනේ.

    ne6AaYf.jpg
    ක්‍රියාදාම පරිගණක ක්‍රීඩාවලද සයිලන්සර් බහුලවම භාවිතා වේ​


    සයිලන්සරයක ක්‍රියාකාරීත්වය සරලව පැහැදිලි කර දෙන සජීවීකරණයක් සහ තව විස්තර පහත ඡායාරූපයෙන් පෙන්වා තිබේ.

    OOXkLJp.gif

    silencerco.com





    මැෂින් තුවක්කු යනු අනභිභවනීය ඝාතක යන්ත්‍රයන්ය

    49gfQll.jpg



    මැෂින් තුවක්කු භාවිතා වූ චිත්‍රපට කිහිපයක්

    Starship Troopers, The Mummy, Max Payne, Commando, John Woo, Scarface



    මිත්‍යාව

    බොහෝමයක් ක්‍රියාදාම චිත්‍රපටවල තුවක්කුකරුවන් කොතරම් සතුරන්ට වෙඩි තැබුවද උණ්ඩවලින් නම් හිඟයක් නැත.ඔවුන්ගේ මැෂින් තුවක්කු, උණ්ඩ නිපදවන කම්හල් වැනිය.සමහරුන් අවිය නැවත පිරවීමකින් තොරව වෙඩි තැබීම නොනවත්වා කරගෙන යයි.එසේම ඔවුන්ගේ තුවක්කුවලින් එල්ල කරන උණ්ඩ ගණන ගැණිය හොත් ඒවා ඔවුන් සතුව තිබූ උණ්ඩ ප්‍රමාණයත් ඉක්මවා යයි.තම අවියේ මැගසිනය මාරු කිරීමකින් තොරව නොනවත්වා වෙඩි තබන "කොමාන්ඩෝ" චිත්‍රපටයේ රඟන ආනෝල්ඩ්ගේ මෙම වීඩියෝපටය බලන්න.





    සත්‍යය

    පහත ඡායාරූපයේ දැක්වෙන අවිය දෙස බලන්න.එය එක්සත් ජනපද හමුදා පාවිච්චි කරන එම්16(M16) අවියේ සංස්කරණයක් වන එම්4(M4) නම් ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීයව භාවිතා කල හැකි Assault rifleකි.Modern Warfare වැනි වීඩියෝ ක්‍රීඩාවල නිරතව පිරිසට නම් මෙය හුරුපුරුදු ගිනිඅවියකි.

    tRaQl9c.jpg


    එම්4(M4) අවියක තබාගත හැකි උණ්ඩ ගණන 30කි.පහත දැක්වෙන්නේ ළමයෙකු එම්4(M4) අවියක් පුර්ණ ස්වයංක්‍රීය(fully automatic) අවස්ථාවේ භාවිතා කරන අයුරුය.(තත්ත්පර 11යි.)​



    ඔහු තත්පර හතරකට පසු වෙඩි තැබීම නතර කරන්නේ ඇයි? හේතුව මැගසිනයේ උණ්ඩ අවසන් වීමයි.එසේ නම් උණ්ඩ 30ක් මුදා හරින්නට ගත වූයේ තත්ත්පර හතරක වැනි සුළු කාලයකි.එතකොට ඔය චිත්‍රපටවල ඉන්න දුෂ්ඨයෝ පාවිච්චි කරන ඒකේ47(AK47) ගිනිඅවිය? ඒකෙත් වැඩි වෙනසක් නෑ.

    sSkXV0w.jpg



    පුර්ණ ස්වයංක්‍රීය අවස්ථාවේ ඒකේ47(AK47) අවියක් භාවිතා කරන අයුරු.



    තත්ත්පර හතරෙන් මැගසින් එකක් අවසන්.ඊට හේතුව ගිනිඅවිය පුර්ණ ස්වයංක්‍රීය(fully automatic) තත්ත්වයේ භාවිතා කිරීමයි.එහිදී මිනිත්තුවට වට 700ක වේගයක් තිබේ.ඔබ සතුව තිබෙන්නේ උණ්ඩ වට 700ක් නොව උණ්ඩ 30ක් පමණි.උණ්ඩ ඉවර කරගන්න එපා! යටත්වෙන්න වෙයි

    fdp3DMS.jpg


    එක්සත් ජනපද පාබල හමුදා සෙබලෙක් රැගෙන යන්නේ උණ්ඩ වට 210කි(මැගසින් 7කි ).එසේ නම් ඔබ පුර්ණ ස්වයංක්‍රීයව ගිනි අවිය පාවිච්චි කරන්නේ නම් (මැගසිනය ගලවා සවිකිරීමට ගතවන කාලය අතහැරිය පසු)උණ්ඩ සියල්ල මිනිත්තුවකටත් අඩු කාලයකදී අවසන් වේ.නමුත් යුද්ධයකදී මෙලෙස අපතේ හරින්නට තරම් උණ්ඩ සෙබලෙකුට ගෙන යා නොහැකිය.විශේෂයෙන් දිගු දුර මෙහෙයුමකදී මෙවැනි පුර්ණ ස්වයංක්‍රීය අවියක් උණ්ඩ නාස්ති කරන්නෙක් පමණි.මේ නිසා සමහර එම්4/එම්16(M4/M16) අවිවල ස්වයංක්‍රීයව වෙඩි තැබීමේ හැකියාව ඉවත් කර තිබේ.නමුත් ගිනිඅවියක් අර්ධ ස්වයංක්‍රීය අවස්ථාවේ යොදාගැනීම සාර්ථකය.රයිෆල් නිපදවා තිබෙන්නේ ඉලක්කයකට වෙඩි තැබීමටය.නමුත් මැෂින් තුවක්කු යොදාගන්නේ වෙඩිබලය ඔස්සේ සතුරන්ගේ ඉදිරිගමන වැළැක්වීමටය.විශේෂයෙන් සතුරන් විශාල පිරිසක් මෙල්ල කිරීමට මැෂින් තුවක්කු ප්‍රයෝජනවත් වේ.මන්ද මැෂින් තුවක්කුවක වෙඩි බලය හමුවේ කිසිවෙක් ඉදිරියට ගමන් කරනු තියා සිටින තැනින් හිස ඔසවා හෝ නොබලනු ඇති.


    M-240G වර්ගයේ මැෂින් තුවක්කුවක් සහිතව සිටින ඇමෙරිකානු සෙබලුන් දෙදෙනෙක්

    IeB4NPz.jpg


    මැෂින් තුවක්කු කිව්වාම මතක් වෙන්නේ අපේ විශේෂ බලකායේ සෙබලුන්ව.සමහරුන්ට නම් දැන් මේ රටේ යුද්ධයක් තිබුණද කියලාවත් මතකයක් නෑනේ.​

    jUgqHoz.jpg



    පළමුවරට පුර්ණ ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවක් පළමුවරට නිපදවා තිබෙන්නේ ඇමෙරිකානු ජාතික හිරම් මැක්සිම්ය.ඉන් මිනිත්තුවට උණ්ඩ වට 500ක් නිකුත් කල හැකිය.

    AFlIk7c.jpg


    මැෂින් තුවක්කුවක් නිපදවීමට දැරූ උත්සාහයේදී නිර්මාණය කල වඩාත් ජනප්‍රියම අවියක් වූයේ ගැට්ලින් නම් අවියයි(නිර්මාණකරු-රිචඩ් ජොර්ඩන් ගැට්ලින්)මෙහි බැරල් 6-10 දක්වා ප්‍රමාණයක් අඩංගු වූ අතර අවිය ක්‍රියාත්මක වූයේ ඊට සම්බන්ධ දණ්ඩක් කැරකවීමෙනි.ගැට්ලින් මැෂින් තුවක්කුව ක්‍රියාත්මක වන අයුරු දැක්වෙන සජීවිකරණයක් පහත දැක්වේ.

    jg94pu2.gif
    howstuffworks.com​



    මැක්සිම් මැෂින් තුවක්කුව නිර්මාණය වීම පිටුපස තිබූ ප්‍රධානතම යාන්ත්‍රණ තුන


    1.Recoil systems

    2.Blowback systems

    3.Gas mechanisms​



    Recoil systems​

    fN2H89K.gif



    Blowback systems

    U0aAKJm.gif


    Gas mechanisms

    ZWHWfpm.gif


    වියට්නාම සහ ඉරාක යුද්ධයන්හි වීඩියෝ පටවල සෑම දිශාවකින්ම මැෂින් තුවක්කුවලින් වෙඩි තබන අයුරු සමහර විට ඔබ දැක ඇති.නමුත් ඔවුන් වෙඩි තබන්නේ මිනිසුන්ට නොවේ.පුර්ව ස්වයංක්‍රීයව ගිනිඅවි යොදාගන්නේ මෙහෙයුමකදී සෙබලුන් නියමිත තැන්වල ස්ථානගතවන තෙක් සතුරන්ට හිස එසවීමට අවස්ථාවක් නොදීමටය.එවැනි අවස්ථාවක උණ්ඩ විශාල වශයෙන් අපතේ යයි.ඉරාක සහ ඇෆ්ගන් යුද්ධවලදී එක් ත්‍රස්තවාදියෙක් මරා දමන්නට ඇමෙරිකානු සෙබලුන් අවම වශයෙන් උණ්ඩ 250,000ක් වත් යොදාගෙන තිබෙන බවත් එලෙස විශාල වශයෙන් උණ්ඩ අපතේ යෑම නිසා ඇමෙරිකානු යුදෝපකරණ නිෂ්පාදකයන්ට ඉල්ලුමට සරිලන සේ උණ්ඩ සැපයීමට නොහැකිව ඊශ්‍රායලයෙන් උණ්ඩ ලබාගත් බවට 2005 වසරේදී ග්ලෝබල්සෙකියුටි වෙබ් අඩවිය වාර්තා කර තිබේ.


    නූතන මැෂින් තුවක්කුවකට උණ්ඩ පිරවෙන අයුරු

    QXOXb68.gif



    නූතන මැෂින් තුවක්කුවක උණ්ඩ නිකුත් කරන අයුරු සහ නැවත පිරවෙන අයුරු

    NlCWDr6.gif


    නියම මැෂින් තුවක්කු ලෙහෙසියෙන් අතේ ගෙන යා නොහැකිය.මේවා බොහෝවිට සන්නද්ධ රථ(යුද ටැංකි,ජිප් රථ ආදියේ),ප්‍රහාරක බෝට්ටු,නෞකා සහ ගුවන් යානා(ප්‍රහාරක හෙලිකොප්ටර් වල බහුලව යොදාගැනේ)ආදියේ සවි කර තිබෙනවා ඔබ දැක ඇති.​

    M134 Minigun - Heavy belt-fed machine gun

    T50p904.jpg


    මැෂින් තුවක්කු යනු අනභිභවනීය අවියක් නොවේ.මන්ද ඉන් වෙඩි තැබිය හැක්කේ සීමා සහිත පරාසයක පමණක් නිසාය.තවද එය පුර්ණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන නිසා නැවත පිරවීම කල යුතු අතර සමහර අවස්ථාවල අවියේ දෝෂ මතුවීමට ඉඩ තිබේ.එවැනි අවස්ථාවක අවිය යළි සේවයේ යොදවන්නට පිළියම් යෙදිය යුතුය.





    වෙඩි නොවදින ඇඳුම්වලට ඕනෑම උණ්ඩයක් වැළැක්විය හැකිය

    85levUW.jpg


    මිත්‍යාව

    වොක්ස්වැගන් රථයකින් එන ලිබියානුවන් පිරිසක් ඒකේ47 අවියකින් වෙඩි තබා මරාදමන්නට සැලසුම් කර තිබේ.නමුත් ඔබව මරණයෙන් ගලවා ගත හැකි අපූරු ඇඳුමක් තිබේ.එය වෙඩි නොවදින ඇඳුමකි.(බැක් ටු ද ෆියුචර් චිත්‍රපටයේ එන දර්ශනයක්)

    බොහෝමයක් ක්‍රියාදාම චිත්‍රපටවල පෙන්වන පරිදි ඕනෑම වර්ගයේ ගිනිඅවියකින් එල්ල වෙන උණ්ඩයක් කවර දුරක සිට පැමිණියත් වෙඩි නොවදින ඇඳුමක් ඇද සිටියේ නම් කිසිදු හානියක් නොවේ.පෙනෙන පරිදි ඒවාට ඕනෑම උණ්ඩයක් නැවැත්විය හැකි ආකාරයේ මැජික් බලයක් ලැබී ඇති හැඩයි.

    චිත්‍රපටවල කතා නායකයාගේ හිසට කිසිදා වෙඩි නොවදියි:rolleyes:

    8B0JaZk.jpg



    සත්‍යය

    සැබෑ ලෝකයේදී නම් Back to the Future චිත්‍රපටයේ එන විද්‍යාඥයා(Dr. Emmett Brown) මුහුණදෙන ආකාරයේ වෙඩි ප්‍රහාර මාලාවකට,වෙඩි නොවදින ඇඳුමක් ඇදි අයෙක් ලක්වුවහොත් ඔහුගේ ඉරණම දරුණු එකක් වේවි.වීඩියෝ පටය පහළින් බලන්න().



    L7Q4ks6.jpg


    LKcEZ3Q.jpg


    වෙඩිනොවදින ඇඳුම්වල විවිධ ආකාරයන් මෙතනින් බලාගන්න.මෙම ඇඳුම් බොහෝමයක් ආරක්ෂාව සලසන්නේ අත්තුවක්කුවලට(රිවෝල්වරය,පිස්තෝලය )එරෙහිවයි.නමුත් assault rifle වර්ගයේ අවි(AK47,M16)හමුවේ වෙඩි නොවදින ඇඳුමක් අසාර්ථක වීමට වැඩි ඉඩක් තිබේ.එවැනි අවියකට මුහුණ දෙන්නට නම් පහත දැක්වෙන ආකාරයේ සන්නද්ධ ඇඳුමක් වත් අවශ්‍ය වේවි.

    TCH4Ou6.jpg


    ඇමෙරිකානු සෙබලුන් වෙඩි නොවදින ඇඳුම් ඇඳ සිටිනවා ඔබ දැක ඇති.නමුත් ඒවා බරින් වැඩි රළු ඒවාය.ඒවාහි කාර්යසාධකත්වය මීටර් 14 වැඩි දුරක සිට එන වෙඩි ප්‍රහාරවලට පමණක් ඔරොත්තුදීමට ප්‍රමාණවත් බව කියවේ.සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන් වෙඩි නොවදින ඇඳුම් අදින විට ඔවුන් සම්පුර්ණ ඇඳුම් කට්ටලයම යොදා භාවිතා නොකරයි.මන්ද සම්පුර්ණ ඇඳුම් කට්ටලය රාත්තල් 33ක් පමණ බරකින් යුක්තය.

    NoDvobC.jpg


    වෙඩි නොවදින ඇඳුම අවශ්‍යතාවය මතුවන්නේ ක්‍රි.ව.1500 පමණ යුරෝපීන් ගිනිඅවි භාවිතා කිරීම ඇරඹීමත් සමගයි.ඊට පෙර සෙබලුන් සංග්‍රාමවලදී තියුණු ආයුදවලින් සිදුවිය හැකි හානිවලින් වළකින්නට ලෝහවලින් තැනූ ඇඳුම් අදින ලදි.මේවා අධික බරක් සහිත විය.සමහරක් ඇඳුම්වලින් මුළු දේහයම ආවරණය කෙරිණි.පුද්ගලයෙකුට පහසුවෙන් පැළදීමට හැකි විශ්වාසනීය වෙඩිනොවදින ඇඳුමක් නිර්මාණය කරන්නට හැකි වූයේ 1960 දශකයේදීය.සාම්ප්‍රදායික වෙඩි නොවදින ඇඳුමක් මෙන් නොව මේවාහි තිබෙන්නේ ලෝහ වෙනුවට මෘදු ෆයිබර්ය.රළු යුද සන්නාහයක් තුනී සෙරමික් හෝ ලෝහවලින් තනා ඇත.නමුත් ඒවා මෘදු සන්නාහයට වඩා වැඩි ආරක්ෂාවක් සපයයි.නමුත් සෙබලුන් සහ පොලිස් නිලධාරීන් එදිනෙදා ජීවිතයේදී පළඳින්නේ මෘදු සන්නාහයන්ය.ඒවා නම්‍යශීලී,පැළඳ සිටීමට පහසු කමිසයක් හෝ ජැකට්ටුවකට සමානය.රළු සන්නාහයන් සඳහා යොදාගන්නේ ඇලුමිනා නම් පිඟන් මැටි වර්ගයකි.


    අතීතයේ වෙඩිනොවදින ඇඳුමක් පරීක්ෂා කල අයුරු(1923)

    cs1r5ij.jpg


    වෙඩි නොවදින ඇඳුම්වලට බහුලවම භාවිතා කරන්නේ Kevlar නම් තන්තු වර්ගයයි.නමුත් ඊට අමතරව Vectran නම් තන්තු ,මකුළුවන්ගේ පටනූල්,carbon nanotubes ආදිය යොදාගන්නා බව කියවේ.​

    mTdzYJm.jpg




    මෘදු වෙඩි නොවදින ඇඳුම්

    මෘදු රෙදි කැබල්ලකින් උණ්ඩයක් නවත්වන්නේ කෙසේද?වෙඩි නොවදින ඇඳුම නිර්මාණය කර තිබෙන්නේ ස්ථර කිහිපයක් ලෙසයි.සාමාන්‍යයෙන් එහි ස්ථර හතක් තිබෙන බව කියවේ.මෙම ස්ථර Kevlar නම් රෙදි වර්ගයෙන් තනා ඇත.ඒවා දැලක් ලෙස ක්‍රියා කරමින් උණ්ඩයක් නවත්වාලයි.සරලව කියන්නේ නම් මේ ව්‍යුහය පාපන්දු දැලකට එල්ල කර පාපන්දුවක් ප්‍රතිවිරුද්ධ දෙසට විසිකරන්නාක් මෙන් ක්‍රියාකරයි.



    දැලකට පන්දුවක් එල්ල කලවිට පන්දුවේ වේගය අඩු කරනු පිණිස දැල යම් දුරක් පිටුපසට ඇදී යයි.නමුත් වෙඩිනොවදින ඇඳුමක තිබෙන ද්‍රව්‍යයක් එලෙස හැසිරුණ හොත් සිදුවෙන්නේ ඇඳුම පැළද සිටින්නාගේ දේහ අභ්‍යන්තරයට හානි සිදුවීමයි(blunt trauma).උණ්ඩය ඇතිකරන තෙරපුම සම්පුර්ණ ඇඳුම පුරා පැතිර යාමට සැලැස්වූ විට එම තත්ත්වය වළක්වා ගත හැකිය.එක්සත් ජනපදය තුල භාවිතා කරන වෙඩි නොවදින ඇඳුම් I, II-A, II, III-A, III, IV ආදී ලෙස මට්ටම්වලට බෙදා ඇත.මින් I මට්ටම ලබාදෙන්නේ අවම ආරක්ෂාවකි.IV මට්ටමේ ඇඳුමකින් උපරිම ආරක්ෂාවක් ලබාදෙයි.සමහරක් උසස් මට්ටමේ ශරීර සන්නාහයන්ට ප්‍රබල ෂොට්ගන් එකක වෙඩිල්ලකින් පවා පුද්ගලයෙක් ආරක්ෂා කල හැකිය.


    වෙඩි නොවදින ඇඳුම්වල වර්ගීකරණය-මට්ටම්

    ZaJPdHs.gif


    සාමාන්‍යයෙන් විදෙස් රටවල පොලිස් නිලධාරීන් භාවිතා කරන්නේ මට්ටමේ වෙඩි නොවදින ඇඳුම්ය.ඒවා කුඩා ප්‍රමාණයේ කැලිබරයක් සහිත අවිවලින් පමණක් පුද්ගලයෙක් ආරක්ෂා කරන්නට ප්‍රමාණවත් වේ.



    දෙවන කොටසින් හමුවෙමු.



    දෙවන කොටස



    Source:Cracked.com

    -HarshaLulzSec-
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් උඹට නියම ලිවීමේ හැකියාවක් තියෙනවා
    සම්මානයක් දීමෙන් මම හිතන්නෙ එක හැල්ලුවට ලක් කිරීමක්ද කියලත් තියෙනවා
    ඇත්තෙන්ම අපි හිතන්නෙ නැති දේවල් ගැන මේ වගේ ලිපි ලියන එක වටිනවා
    අලුත් දේවල් දැනගන්න
     
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හ්ම් උඹට නියම ලිවීමේ හැකියාවක් තියෙනවා
    සම්මානයක් දීමෙන් මම හිතන්නෙ එක හැල්ලුවට ලක් කිරීමක්ද කියලත් තියෙනවා
    ඇත්තෙන්ම අපි හිතන්නෙ නැති දේවල් ගැන මේ වගේ ලිපි ලියන එක වටිනවා
    අලුත් දේවල් දැනගන්න

    සම්මාන ගැන දැනගත්තෙත් ඊයේ පෙරේදා.ප්‍රසිද්ධ වෙන්නවත් වෙන මොනවා හරි බලාගෙන වත් නෙමෙයි මේවා දාන්නේ.ඒත් අපි ත්‍රෙඩ් එකක් දැම්මත් ඉවසගෙන ඉන්න බැරි එවුන් මේකේ ඉන්නවා කියලා මම පහුගිය ටිකේ තමයි දැනගත්තේ :baffled:.සියල්ල දත් පණ්ඩිතයෝ මේකේ ඇති.ඒත් අපි මේ ත්‍රෙඩ් එකක් දාන්නේ එහෙම වුන්ට බලන්න නෙමෙයි.නොදන්න අයට දෙයක් දැනගන්නනේ බන්.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මචන් හොද නූලක් නමුත් මම පුන්චි දෙවල් දෙකක් එකතු කරන්නද?
    සාමාන්ය වෙපන් එකකට සඊලන්සර එකක් හඊ කරල standered high velocity උන්ඩ වෙඩි තිබ්බොත් විතරඊ ඔය විදිහට ලොකු සද්දයක් එන්නෙ නමුත් built in silanced weapon එක්කකට(mp5sd වගෙ) subsonic ammanution දාල වෙඩිතිබ්බොත් සෑහෙන අඩු සද්දයක් එන්නෙ හෑබඊ ඔය ෆිල්ම් වල තියන සද්දෙට වඩා වෑඩි සද්දයක්.ඒ වගෙම සුපෙර් සොනික් බුලට් දාල වෙඩි තිබ්බොත් බුලට් එක ලගින් යද්දි ක්‍රෑක් කියලා සද්දයක් එනවාsonic boom ඒක නිසා වෙඩි සද්දෙ ඈහුන්නෑතත් වෙඩි තියනව කියල හොය ගන්න පුලුවන්





    සාමාන්යයෙන් හමුදාව පාවිච්චි කරන STANAG 4569 leval iii වර්ගයෙ NATO standered body armour එකක් මීටර 30 කදි 7.62 ම්ම් උන්ඩයක් නවත්වන්න පුලුවන් ඒ කියන්නෙ body armour එකට ඔනෑම දුරකසිට එන 7.62 උන්ඩ නවත්වන්න පුලුවන්. මෙ මීටර 30 ක දුරක් දීල තියෙන්නෙ උන්ඩයක වෙගය උපරිම වෙන්නෙ මෙ වගෙ දුරක හින්දා. අපි හිතන විදිහට උන්ඩයක වෙගය වෑඩිම වෙන්න ඔනෙ muzzel එක ගාව කියලනෙ නමුත් උන්ඩය තල්ලු කරන වායු පීඩනය උන්ඩය පිට උනාට පස්සෙත් තවත් ටික වෙලාවක් බලපාන නිසා තමඊ මෙහෙම වෙන්නෙ.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මචන් හොද නූලක් නමුත් මම පුන්චි දෙවල් දෙකක් එකතු කරන්නද?
    සාමාන්ය වෙපන් එකකට සඊලන්සර එකක් හඊ කරල standered high velocity උන්ඩ වෙඩි තිබ්බොත් විතරඊ ඔය විදිහට ලොකු සද්දයක් එන්නෙ නමුත් built in silanced weapon එක්කකට(mp5sd වගෙ) subsonic ammanution දාල වෙඩිතිබ්බොත් සෑහෙන අඩු සද්දයක් එන්නෙ හෑබඊ ඔය ෆිල්ම් වල තියන සද්දෙට වඩා වෑඩි සද්දයක්.ඒ වගෙම සුපෙර් සොනික් බුලට් දාල වෙඩි තිබ්බොත් බුලට් එක ලගින් යද්දි ක්‍රෑක් කියලා සද්දයක් එනවාsonic boom ඒක නිසා වෙඩි සද්දෙ ඈහුන්නෑතත් වෙඩි තියනව කියල හොය ගන්න පුලුවන්





    සාමාන්යයෙන් හමුදාව පාවිච්චි කරන STANAG 4569 leval iii වර්ගයෙ NATO standered body armour එකක් මීටර 30 කදි 7.62 ම්ම් උන්ඩයක් නවත්වන්න පුලුවන් ඒ කියන්නෙ body armour එකට ඔනෑම දුරකසිට එන 7.62 උන්ඩ නවත්වන්න පුලුවන්. මෙ මීටර 30 ක දුරක් දීල තියෙන්නෙ උන්ඩයක වෙගය උපරිම වෙන්නෙ මෙ වගෙ දුරක හින්දා. අපි හිතන විදිහට උන්ඩයක වෙගය වෑඩිම වෙන්න ඔනෙ muzzel එක ගාව කියලනෙ නමුත් උන්ඩය තල්ලු කරන වායු පීඩනය උන්ඩය පිට උනාට පස්සෙත් තවත් ටික වෙලාවක් බලපාන නිසා තමඊ මෙහෙම වෙන්නෙ.

    Thanks macho :) උඹ නම් Pro.වගේ ෆීල්ඩ් එක ගැන.අනිත අයට දැනගන්න කියලා එහෙන් මෙහෙන් හොයලා දැම්මා.වැඩි දෙයක් දන්නේ නෑ.