සුදු නෝනා - කෙටිකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,623
    4,097
    113
    කඩවත
    End.jpg

    "ජීවිතේ විඳින්න තියෙන සුන්දරම දේවල් වලින් එකක් තමයි ආදරේ කියන්නෙ. අසීමිතව කරන ආදරේකට පුලුවං ඕනම ජීවිතයක් ලස්සන කරන්න. ගලක් වගේ හිතක් මොලොක් කරන්න. ඇත්තටම ආදරේ කියන්නෙ භාවනාවක්.. "

    තොර තෝංචියක් නැතුව ආදරේ ගැන දොඩවන රේඩියෝ නිවේදිකාව කෙරෙහි මා හට ඇති වූයේ කේන්තියකි.
    බම්බුව තමයි ආදරේ.... යටි තොල විකා ගනිමින් මා හටම කොඳුරා ගත්තේ ආදරයක් නිසා අතීතයෙන් තවමත් මතුවී එන්නා වූ අනේකවිද වේදනා ගොන්න හිතේ කොනක ඇවිලෙමින් තිබියදීය.

    මාගේ ප්‍රථම ප්‍රේමය වූ දීනා මා හට හමුවන්නේ 2016 වසරේදීය. ඇය එවකට ලංකාවේ ප්‍රසිද්ද ජාත්‍යන්තර පාසලක ගුරුවරියකි. මාද යාන්තම් ගුරුවරයෙකු ලෙස රැකියාව පටන් ගත්තා පමණි.. විටෙක ඇයගේ ජීවිතයේ ඇය දුටු සොඳුරුතම මිනිසා වූ මා... තවත් විටෙක ඇයගේ ජීවිතයේ එපාමකරපු මිනිහා තරමටම උසස්වීම් ලද්දෙමි. ඒ අතරතුර කාලයේ අප දෙදෙනා අතර ගොඩනැගුනු ප්‍රේමය වෙනම පොතකින් එළිදැක්වීමට වුවද ප්‍රමාණවත්ය. අටලෝ දහම සිහිකරමින් ඇය මා අතහැර වෙනත් අයෙකු හා විවාහ වන විට මාගේ මානසිකව වැටී තුවාල වූ හිත සුවපත් කර ගන්නට තවත් දෑ අවුරුද්දක් ගතවිය. උසස්පෙල අවසන් වූ ළමුන්ට ඉගැන්වීමට යොමු වූ සමයක සිටි මා ඉගැන්වීමටම සිත යොමු කර ඇයගේ මතක වලින් යම්තාක් දුරකට ඈත් උනෙමි. එහෙත්... අදටත් ඒ මතක ඉඳහිට සිත පාරයි. ඇය මා හට ඉතිරි කර ගිය දුකෙන් කෙල්ලන් එපා වී තනිකඩං ජීවිතං ආතල් නියතං ක්‍රමයට ජීවත් වීමට මා පුරුදු වූයෙමි. කෙල්ලන් ගනං ගන්නෙ නැති, තරමක් ආඩම්බර චරිතයක් මා තුලින් නිර්මාණය විය.

    ගුරුවරයෙක් ලෙස ඉගැන්වීම තුලින් ජීවිතයේ යම්කිසි සාධන මට්ටමකට එලඹ සිටි වකවානුවක ජනප්‍රියතාවය මා සොයා පැමිණියේ නොසිතූ අයුරිනි. ඇතැම් දෙමාපියන් මාගේ පන්ති වලට දරුවන් ඇතුලත් කිරීමට පෙල ගැසී බලා සිටි කාලයක්ද තිබුනි. ඒ අතර

    "අර සර් කරන පන්තියටම මෙයාව දාලා දෙන්න... "

    "ඒ සර් උගන්වනව නේද මෙයාලාට"

    ආයතනයට පැමිණි ඉතා සුලබ ඇමතුම් වේ.

    තත්වය එසේ තිබියදී

    "අම්මෝ සර්ගෙ ආඩම්බර"
    "සර් අර එහා කෙරවලේ ඉන්න ගෑල්ලමය සර් දිහා හැම තිස්සෙම බලනව. "
    "සර් නිලුෂිගෙ නම්බර් එක 077XXXXXXXx"
    "සර්ගෙ මාර ලොකු සීන් නේද.. "

    වැනි චිට් මේසයට පැමිණීමටත් පටං ගෙන තිබුනි. එයින් තව තවත් උඩගු වූ මා.. සදාකාලිකවම තනිකඩ වී සිටිනා තරමටම හිත දැඩි කරගත්තෙමි. ගිනිපෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළිට බිය වීම සාධාරණය.
    මගේ පළමු පෙම වූ දීනා මා අතහැර වසර 3ක් පමණ ගතවෙද්දී .. මාගේ දෙමාපියන්ට සහ නෑදෑ හිතවතුන්ට මාගේ තනිකඩ ජීවිතය ප්‍රහ්නයක් වන්නට පටන් ගති.
    සති අන්තයේ නිවසට වී සිටීමට බැරි වන තරමටම, නෑදෑ හිතවතුන් හා ප්‍රිය සම්භාශන පැවිත්වීමට නොහැකි වන තරමටම ප්‍රශ්නය එන්න එන්නම දැඩි වන්නට වූයේ එය මටද මහත් වූ මානසික පීඩාවක් කරමිනි.

    "යකෝ මුන්ටනෙ මාව බන්දන්න පුදුම අමාරුවක් තියෙන්නෙ.. "
    සෑම විටකම මා හට සිතුනි.

    "ඔය ගෑනු සේරම එකයි අම්මෙ
    වැඩක් නෑ ඕව බලල...
    මං කැමති නෑ..
    මට බෑ...
    හරි හරි ලබන අවුරුද්දෙ බලමුකො..."

    වැනි පිළිතුරු සාම්ප්‍රධායික පිලිතුරු වන්නට වූ තැන....

    "හරි එහෙම නං එකක් බලන්න යංකො...
    ආපෝ අම්මෙ ඒ පොටෝ එකේ ඉන්න එක්කෙනා ඔයාටත් වඩා නාකි පාටයි නෙ
    ඒ කෙල්ලගෙ සේරම හොඳයි ඒත් මං කැමති නෑ... "

    වැනි තරමක් වැඩි දියුණු කළ "පච" කීමටද මා පුරුදු උනෙමි.

    දෙමාපියන්ගේ බලවත් පෙරැත්තය නිසා සහ මාගේ නොමිලේ ලැබෙන ආහාර කූපනය නැති වෙතැයි මා තුල ඇති වූ අනියත බිය නිසාම හා හා පුරා කියා මාගේ කුළුදුල් මංගල යෝජනාව බැලීමට ගියෙමි. ඇය හා ඇගේ දෙමාපියන් ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණ සිටි අතර මාත් මාගේ දෙමාපියන් කැටුව ඇය බැලීමට ගියෙමි.

    අපි ඉතිං මේවා කතා කරගෙන වැඩක් නෑනේ... අපි ඒ අයටම මේවා කතා බහ කරගන්න ඉඩ අරිමු. මව් පියන් දෙපල අප දෙදෙනා අතහැර ඈතට ගියේ මාවත් ඇයවත් ඉතා අසරණ තත්වයකට ඇද දමමිනි.
    හිතවත් පාඨකය. ඔබ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන යුවතියක් සමගින් හාද වේ නම්... ඔබටත් ඇයටත් අදහස්, හැඟීම් හුවමාරු කර ගැනීමට හොඳ කාලයක් ලැබේ. පියවරෙන් පියවර ඉදිරියට යා හැකි සුන්දර මාර්ගයක් විවර වේ.

    එහෙත්.. අවාසනාවක මහත.. යෝජිත විවාහ වලදී එවන් අවස්ථා ලැබෙන්නේම නැති තරම්ය. දෙදෙනා හමුවූ මුල්ම අවස්ථාවේ සිටම ඇය බිම බලාගෙන හිඳිය. මම අහසේ පියාඹන කුරුල්ලන් ගණන් කලෙමි. ඇය ඇඟිලි වල නියපොතු දෙස බලද්දී... මම ජංගම දුරකථනය ගෙන Facebook එකේ ඉහල පහල ගියෙමි.
    ඒකි කතා කරන්නෙ නැතුව ලොකු සීන් දානව නං... මාත් එහෙම තමා...

    මා මේ පවසන දේ.. මංගල යෝජනාවක් බලන්නට එක් වරක් හෝ ගිය ඔබට ඉතා හොඳින් තේරුම් ගත හැකි වනු ඇතැයි සිතමි.
    මේ වන තෙක් මංගල යෝජනා නොබැලූ අය සිටියි නම්... දිගටම එසේම සිටින මෙන් ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.

    "මොනවද දෙන්න මෙච්චර වෙලා කතා කලේ...... "
    දෙමාපියන් පනාව දාගෙන අප සිටි තැනට පැමිනෙද්දී සුජීව ප්‍රසන්න ආරච්චි මහත්තයාගේ පොත් තුනක් විතර එක දිගට සාඛච්චා කර පෙම්වතුන් වූ දෙදෙනෙකු මෙන් අප දෙදෙනාම ඉතා අවිහිංසක ලසින් මුහුණට මුහුණ බලා සිනාසුනෙමු. ඒ මා ඇගේ මුහුණ හරි හැටි දුටු ප්‍රථම අවස්ථාවයි.

    නිවසට යාමටත් පෙරම, "අම්මෙ ඒක හරි යන්නෑ.. මට බෑ. "
    මා පිලිතුරු සපයා අවසානය.

    "මගුලක් බලන්න වත් යන්න බෑ කිවව්ව එකා.. අකමැති වෙන්න හරි එකක් ගිහිං බලල ආවත් මදැයි. "

    දෙමාපියන්ද සිත් සනසා ගත්හ. Win Win Situwation එකක් නිසා මාත් සතුටිං සිටියෙමි.

    ඒ දමා ගත්තා වූ ජිල්මාට්ටුවෙන් මාස 3ක් පමණ නිදහසේ සිටීමට හැකි විය. දැන් දැන් ආයෙත් මංගල යෝජනා පුවත්පත් පිටු මේසය උඩ දකින්නට ලැබේ. නංගීද අම්මාට නොදෙවෙනිව හයිලයිට් පෑනක්ද රැගෙන විභාගයට පාඩම් කලාට වඩා උනන්දුවෙන් යෝජනා තෝරයි.
    එහි ප්‍රතිඵලයක් ලෙස මාගේ දෙවන විවාහ යෝජනාවට දින තීන්දු විය.

    "අපිත් එන්න එන්න වයසට යනව පුතේ. හැමදාම උඹට ඔහොම ඉන්න බෑ නෙ. අපිත් ආසයි දරු මුනුබුරන්ගෙ සුරතල් බලලම හුස්ම ටික යවන්න. "

    නාට්‍යානුසාරයෙන් රඟ දැක්වූ දෙබස් වලින් වෙඩරු පිඩක් සේ උණු වූ මගේ හදවත නැවතත් මංගල ජෝජනාවක් බැලීමට යාමට මට බල කලේ බුද්ධියද පසෙකට දමමිනි.

    මෙන්න හිතවතුනි ඔබ පුල පුලා බලා සිටි ඒ අසිරිමත් දවස උදාවිය. පෙරසේම දෙමාපියන් මාහා කැටුව දේවස්ථානයක් කරා ගිය අතර... ඔවුන්ද පැමිණ සිටියහ.
    කෙල්ල ලස්සනය. හීන්දෑරිය. ප්‍රියමනාපය. සිත්හි නිධන් වූ ආඩම්බරකාර ගති පරදා ඈ ගැන ඇල්මක් ඇති වේගෙන එද්දී... නැන්දම්මා මැදින් පනින ලදී.

    පුතා මොකද කරන්නෙ, පුතාගෙ සැලරි එක කොහොමද, ඩෙසිග්නේශන් එක මොකක්ද, දැනට සේවිංග්ස් එහෙම කොච්චර තියෙනවද? පුතා මයිග්‍රේට් වෙන්න එහෙම ප්ලෑන් කරං තියෙනවද, අපේ දූ නං එහෙම ප්ලෑන් කරං තියෙනව.. ඒ නිසා තමා අපි එයාට අරං දුන්න වෙසල් එකත් ආයේ සෙල් කලේ.

    "අම්මෙ ඒක හරි යන්නෑ.. මට බෑ.. "

    "හ්ම්ම්ම්... අපිටත් හිතුන... ඒ දරුවගෙ අම්ම හදන්නෙ දුවව විකුණන්න වගේනෙ..උසාවියෙන් ප්‍රශ්න කලා වගේ "

    අම්මාත් තාත්තාත් සිනාවෙද්දී... ඒ අවස්ථාවෙනුත් යාන්තම් පණ බේරාගෙන සුපුරුදු නිදහස් තනිකඩ සංගමයේ සාමාජිකත්වය අළුත් කර අදට වසරකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත.

    "කොහොමද ඉතිං ප්‍රොපෝසල් වලිං හරිම කෙනා හොයා ගන්නෙ... ආදරේ හිතෙන්න කාලයක් ගත වෙනවනෙ.... මේ ගහෙං ගෙඩි එනව වගේ කොහොමද අනේ කෙල්ලො එක්ක යාළු වෙන්නෙ. ආදරේ එහෙම දැක්ක ගමං හිතට එන්නෙ නාට්ටි වල විතරයි. හැබෑ ජීවිතේ එහෙම නෑනෙ. අනික තාම මට උරුම කෙනා ඉපදිලද දන්නෙත් නෑ... "

    යෝජිත විවාහ මා හට ගෙන ඒමෙන් වැලකීමට මා ගැසූ පම්පෝරි වල සමාලෝචනයක් ඉහලින් ඉදිරිපත් කළෙමි.

    කාලය මෙසේ ගතවෙද්දී.. රැකියාවේ මෙන්ම පුද්ගලික ජීවිතයේද විවිධ හැලහැප්පීම් මධයයේ.. ජීවිතය ගෙවී යයි. කොරෝනා වසංගත තත්වයත් සමග නැත්තටම නැති වී ගිය මංගල යෝජනා කතා බහ වසරකට පමණ පසු යලිත් හිස ඔසවන්නට පටං ගත්තේ මා යලිත් සලිත කරමිනි.

    "පුතේ .....පත්තරේ.. ප්‍රොපෝසල් එකට කතා කලාම එයාලා ඔයාගේ පොටෝ එක එවන්න කිව්ව. ඒ පවුලෙ දෙවෙනි දුවට තමයි මේ කසාදෙ බලන්නෙ. "
    එක් දිනක් සුපුරුදු පරිදි මාගේ මෑණියන් විසින් මා වෙත කරුණු සාරාංශගත කළාය. වැඩ නිමවී නිවසට ආ ගමන්ම සිටි මා ඕනෑවට එපාවට ඇගේ රූපය නැගනියගේ ජංගම දුරකථන තිරයෙන් දුටිමි.

    කාන්තාරයට වැසි වසී, තුරු හිස් මුදුන් ප්‍රීතියෙන් සිනාසෙයි... ජීවිතේ අළුත් බලාපොරොත්තුවක් ඈත කොනක සිට එබිකම්කරයි....

    "හෝව් හෝව්...
    මොනවද මේ උඹ කියවන්නෙ..."
    හිතේ උඩිංම වැජබෙඹින් සිටි මගේ ආඩම්බරකම ඇයගේ දෙනෙත් වලට බැඳී මොහොතකට නතර වූ මාගේ චින්තනය යලිත් අවදි කලේය.

    වසර තිහකට ආසන්න මගේ ජීවිතයේ දුටු සැනින් මගේ නෙත් නතර වූ ඒ තරම් රුවක් මා දැක නොමැති තරම්ය. සියල්ලටම වඩා මා වශී වූ ඒ දෙනෙතේ කාන්තිය එම ඡායාරූපය මගේ මනසේ ජීවමාන කළේය. ජීවිතේ ගෑණු තිත්ත වී , එපා වී, ලොකු සීන් ගොඩකින් මහන්තත්තයේ පවුරක් බැඳගෙන සිටි මගේ ආඩම්බරකාර බලකොටු කඩා බිඳ දමා පොඩි එකෙක් සේ එවෙලෙහිම ඇය සොයා යන තරමට මගේ සිත ඇයට ආකර්ශණය විය.
    පාට පාට මල් වැටුනු දම්පැහැති ඇඳමක් හැද සිටි ඇයගෙන් දිස්වූයේ ඉතා චාම් පෙනුමකි.
    "සුදු නෝනා"
    කොහොම කොහෙන් පැමිණි නමක්දැයි මට සිතාගන්නටවත් නොහැකි වූ නමුත්... නංගිට චාටුවක් දමා ඇයගේ ඡායාරූපය මට whatsapp කර ගත් පසු... සුදුනෝනා මගේ වූයේ මටත් නොදැනීමය.

    " හ්ම්ම්.... හා හා අම්මල කියන හින්ද ගිහිං බලමුකො... හැබැයි ඉතිං නිකං බලනව විතරයි... "
    තවමත් පරාජය පිලි නොගන්නා මාන්නය වචන වලින් නික්මුනේ... සුදු නෝනා දකින්නටත් කලින්ම ඇය කෙරෙහි ඉතා සුවිශේෂී ආකර්ශනයක් හිතේ නම් ඇති කරවමිනි.
    එතැන් පටන් ඇයව බැලීමට යාමට දින ගනිමින් සිටි මා හට සතියක් යනු කෙතරම් දිගු කාලයක්දැයි හොඳහැටි වැටහුනි. නමක් ගමක්, විස්තරයක් කිසිත් නොදත් මා සුදුනෝනාගේ දීප්තිමත් දෙනෙත් දෙස බලමින් කොපමණ රාත්‍රීන් ගණනක් ඇයව ලබා ගැනීමට සැලසුම් කරන්නට ඇතිද...
    හමුවී ඇය මා හට කැමති වූවොත්.. ඇයගේ නම කුමක් වූවත් .... ඇයට මා අමතන්නේ සුදුනෝනා නමින්මයි... සිත දැඩිව අදිටන්කරගෙන අවසන්...
    බොලඳකමට තවත් කුමණ උපහැරණද ?

    ප්‍රිය හිතවතුනි... මෙන්න ඔබ පුලපුලා බලා සිටි දවස, ඉරිදා දිනෙක සවස අප හමුවීම සඳහා සුදුනෝනා සහ ගේ මවත් පියාත් නිවසට මදක් දුරින් පිහිටි දේවස්ථානයකට පැමිනෙන බව දන්වන ලදී. එදින සවස පන්තියත් වේලාසනින් නිම කළ මා වෙලාවටත් කලින්ම එතැනට පැමිණ සැදී පැහැදී සිටියෙමි.
    ඉරිදා දිනයක් වූ බැවින් දේවස්ථානයේ තරමක ජනකායක් සිටියත්... සෙනග අතරින් අප වෙත ඇදෙන එක්තරා සුවිශේෂී රූපයක් තුල මාගේ දෙනෙත් නතර විය.

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,623
    4,097
    113
    කඩවත
    සුදුනෝනා..

    මා මටම මුමුනා ගතිමි. කාලීන සෞඛ්‍ය නීති රෙගුලාසි වලට අනුකූලව මුහුණු ආවරණයක් පැළඳ සිටියත්... ඇගේ ඒ කාන්තිමත් දෙනෙත් වලින් සුදුනෝනා හඳුනා ගැනීමට මට අපහසු නොවීය. ලැජ්ජාවෙන් බිම බලා ගනිමින් දෙමාපියන් පෙරටුකොට අප වෙත පැමිනි ඔවුන් තිදෙනා මාත් අම්මා තාත්තාත් ආදරයෙන් පිලිගත්තෙමු.

    ආගිය තොරතුරු කතා බහ කරද්දී... ඇයගේත් මාගේත් දෙනෙත් කීප විටක්ම එකිනෙක හා වුනි. ඇස් වලින් හිනා වෙන්න අපට ඉගැන්වූයේ කොරෝනාය. මුහුණු ආවරණයට යටින් ඇගේ වත පුරා ඇදී යන අහිංසක, සුන්දර සිනහවක සේයාවක් මා නිරීක්ෂණය කළෙමි.
    එය සුබ ලකුණකි. රුවින්, කතාබහෙන්, සියල්ලගෙන්ම සුදු නෝනා මගේම යැයි සිතෙන තරමටම මාගේ හිත ඇයව පිලිගෙන ඇත.

    "ආදරේ හිතෙන්න කාලයක් ගත වෙනවනෙ.... මේ ගහෙං ගෙඩි එනව වගේ කොහොමද අනේ කෙල්ලො එක්ක යාළු වෙන්නෙ. ආදරේ එහෙම දැක්ක ගමං හිතට එන්නෙ නාට්ටි වල විතරයි." මගේම පෙර කියූ පඩි වදන් මා හටම පශ්චාත් භාගයෙන් සිනාසෙනු දැනුනි.. සුදුනෝනා හට ආදරය කරන්නට මගේ සිත පෙලඹුනේ ඇයව ජීවමානව දැකීමටත් පෙර සිටය.

    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ... සුපුරුදු ලෙස පෙනුනා...
    නුපුරුදු හෝ විඳ පුරුදු ඇතී... සුසුම් සුවඳ දැනුනා.....

    පෙර කිසිදා ඔබ හමුවී නැති බව... ඉඳුරා කියත හැකි...
    අප හමුවී නම්... ඒ පෙර සසරේ.... යුගයක වෙන්න ඇති....
    unforgettable day in my life ඈ හමුවීමෙන් පසු මා දමන FB status එක පවා දැන්මම සිතේ ලියවී අවසානය.

    විනාඩි දහයක් පමන ගතවෙද්දී මා ඉතා උනන්දුවෙන් විපරම් කරමින් සිටි ඒ උදාන වාක්‍යය දෙමාපියන්ගේ මුවින් නික්මුනි.
    "අපි අපි කතා කර ගත්තා කියල වැඩක් නෑ නෙ.. ගැලපෙන්න ඕනේ මේ දෙන්නගෙ අදහස් නෙ... අපි මෙස් දෙන්නට ටිකක් කතා කර ගන්න ඉඩ ඇරලා පැත්තකට යමු නේද එහෙම නං... "
    දෙමාපියන්ගේ යෝජනාව ඒකමතිකවම ස්ථීර වූයේ අප දෙදෙනා සුළු මොහොතකට තනි කරමිනි.

    හිතවත.... කියන්නට දස දහසක් තරම් වූ අදහස්.. යෝජනා.. බලාපොරොත්තු සිත්හි තබාගෙන... කිසිවක් කියා ගත නොහැකිව Stuck වූ අවස්ථා ඔබේ ජීවිතේ උදාවී තිබේද.. එසේනම් මේ මොහොතේ ඔබට මාගේ තත්වය තේරුම් ගත හැකි වනු ඇත. කතාව කොහෙන් කොහොම පටන් ගන්නද සිතා ගත නොහැකි අවස්ථාවකදී.. මාගේ සිත ඇදී ගියේ ඇයගේ ජංගම දුරකථනය වෙතටයි.

    "කොහොමද ඉතිං...,
    මා කතාව ආරම්භ කලෙමි.

    ඔයාගෙයි මගෙයි ගැලපීම් පටං ගන්නෙ අපේ Phones දෙකෙන්..

    මම මාගේ ජංගම දුරකථනයත් සාක්කුවෙන් රැගෙන ඈ හට පෙන්වූයෙමි. දෙදෙනාටම තිබුනේ එකම වර්ගයේ එකම වර්ණයේ දුරකථන දෙකකි. දෙදෙනාම මිලදී ගෙන තිබුනේද එකම කාල වකවානුවකය.
    එතැන් පටන් ජංගම දුරකථනය ඔස්සේ ඇරඹි අපේ කතා බස් විනාඩි කිහිපයක් යද්දී කොක් හඩලා සිනාසෙමින් කිසිදු සබකෝලයකින් තොරව හොඳ මිතුරන් දෙදෙනුකු මෙන් සරුවටම කෙරීගෙන යයි.
    මා අසන සෑම පැණයකටම මා බලාපොරොත්තු වූ ආකාරයේ පිලිතුරුම ලැබේ. ඇය මාගේන් අසන පැණ වලටත් ඇය සෑහීමකට පත් වූවා යැයි හැඟෙන තරමේ පිලිතුරු මා හට දීගත හැකි විය. සියල්ලටම වඩා පුදුමය නම්...
    මෙතෙක් කලක් විවාහ යෝජනා බැලීමට ගිය අවස්තා වලදී ගොලුවෙකු මෙන්... බොරු මාන්නයක් පෙන්වමින් සිටි මා.. පොඩි එකෙකු සේ ඇය හා සිනාසෙමින් දිගින් දිගටම කතා බහ කිරීමයි.
    ඇයද ඉතා උනන්දුවෙන්.. සිනාසෙමින් මා හට සහයෝගය දුනි. ඇගේ දෙනෙතෙහි දීප්තිමත් බවින් ඇති වූ ප්‍රේම සිතුවිල්ල ඇයගේ කටහඩ, හැසිරීම සහ පෙනුම නිසා... ස්ථීර වූයේ... මා ඇය මාගේ අවසාන මංගල යෝජනාව බවට දැඩිව සිතට කියා ගනිමිනි. සෑම විටම සුන්ර සිනහවකින් වත සරසාගෙන සිටි ඇය මගේ මුළු ජීවිතයම වන්නට පටන් ගත්තේ එදා පටන්ය.

    "මේ තමයි මගෙ කෙනා... මං හොය හොය හිටිය කෙනා. සුදු නෝනාවයි මං බඳින්නෙ. එයා එක්ක දුර ගමනක් යන්න පුලුවං කියල මට දැනෙනව. මට විශ්වාසයි. "
    මගේ හිත මටම සපථ කර ගති. ඇත්තෙන්ම ඇයහා කතා බහ කිරීමට බොහෝ දෑ තිබුනත්... අපගේ කුඩා කාලසීමාව අවසාන වූයෙන් නිවෙස් බලා යාමට සිදුවී තිබුනි. එහෙත් නික්ම යාමට මත්තෙන් ඇයගේ whatsapp අංකය ඉල්ලා ගත් මා සුදු නෝනා <3 යනුවෙන්ම ඇයගේ නම සටහන් කර ගතිමි.

    මං ඔයාට සුදු නෝනා කියල කතා කරන්නද... ඇය හා ඇති කර ගත් පලමු දුරකතන අමතුමෙන්ම මා ඇසුවෙමි.
    "ඔයාගෙ කැමැත්තක්.. කොහොමත් මම නම කියනවට වැඩිය ආස නෑ.. "
    ඇය සිනාසෙමින් පිලිතුරු දුන්නාය.
    එතැන් පටන් සුදුනෝනා හා මා අතර ඇතිවූයේ ඉතාමත්ම සුන්දර කාල වකවානුවකි. බොහෝවිට ජංගම දුරකතනයෙන් පැය ගනන් කතා බහ කරන අප දිනෙන් දින එකිනෙකා තේරුම් ගන්නටත් අඩුපාඩු දැනගෙන ඒවා හදා ගන්නටත් පටං ගත්තෙමු.

    "මට ඕනෙ මං ගැන හොයලා බලන කෙනෙක්... මගෙ පවුලෙ අයටත් හොඳින් සලකන කෙනෙක්.. කොයිම වෙලාවක වත් මාව දාලා යන්නෙ නැති කෙනෙක්..."
    සුදුනෝනා මා හා දුරකථන ඇමතුමකින් කීවාය.

    "ඉතිං මම හොයන්නෙත් අන්න එහෙම ඉන්න කෙනෙක් තමා.."
    ජීවිතේටම බඳින්නෙ නැහැයි කියල හිටිය මම.. ජීවිතේම එක්කෙනෙක් වෙනුවෙන් වෙන් කරන්නට තරම් මේ කුඩා කාලයට වෙනස්වී ඇති අපූරුව.

    කරන රැකියාවත් සමග බොහෝ කාර්්‍ය බහුල චරිතයක් වූ සුදුනෝනාගේ එකම අරමුණ වී තිබුනේ විවාහයෙන් පසු මෙම රැකියාවෙන් ඉවත්වීමයි. ඇය බොහෝ සෙයින් වෙහෙසවන බවක් පෙනෙන්නට තිබුනි.
    " ඔයාගෙ කැමැත්ත කරන්න සුදු නෝනා. මගෙං බාදාවක් නෑ"

    ඇයගේ ජීවිතයේ අතීතය හාරා අවුස්සා බැලීමට මා හට කිසිදු උවමනාවක් නොවීය. මා හට උවමනා වූයේ ඇය හා අද සිට හෙට ගැන සැලසුම් කිරීම පමණි. ඇත්තෙන්ම අතීතයේ සුදුවූ කිසියම් අවාසනාවන්ත සිද්දි දාමයක් නිසා සුදු නෝනා කනස්සල්ලෙන් පසුවූ බව ඇය මා හට ඉඟි කළ අතර.. මා ඇයගේ හිත හැදීමට නොගත් උත්සහයක් නැත. කාලය තුල සෑම ප්‍රශ්නයකටම පිලිතුරු ඇති බවට විශ්වාස කරන මා සෑම විටම ඇයව අස්වැස්සූයේ මා කෙරෙහි විශ්වාසය තමන ලෙසට ඉල්ලමිනි. ඇයගේ ජීවිතය තිබුනාට වඩා හොඳින් දියුණු කිරීමටත් ඇයට අවශ්‍ය රැකවරණය සැලසීමටත් මා සෑම විටම උත්සහ කළෙමි.

    ආදරය , විවාහය, වගකීම්... ආදී බොහෝ කරුණු කාරණා ඔස්සේ ඈතට ඇදී ගිය කතාබස් වලින් අප දොදනා වඩ ඩාත් අපට කිට්ටු වූ බව අපට හැඟී ගොස් තිබුනි. ඇත්තෙන්ම ඇය මා හට ආදරය තවමත් ප්‍රකාශ නොකලත්... ඇයගේ වචන වලින්.. සිනාවෙන්.. ඇය මා කෙරෙහි ඇති බැඳීම මා හට වැටහුනි.
    "අවුරුදු ගානකට කලිං මට උන දේත් එක්ක මං කවදාවත් හිතුවෙ නෑ සුදු මේ වගේ ආයේ කෙල්ලෙක්ට කැමති වෙන්න ආදරේ කරන්න පුලුවං වෙයි කියල. ඇත්තටම ඔයා මගෙ හිත හොරකම් කලා.. "

    ඇය හා පෙම්බස් දොඩන බොහෝ අවස්ථා වල මා විසින් ඇයට එසේ කියා ඇත.
    සෑම දිනකම උදෑසන අවදි වූ මොහොතේ පටන් නින්දට යන තුරුම ඉඳ හිට හෝ ඇයගෙන් ලැබෙන ඇමතුමකින් හෝ කෙටි පනිවිඩයකින් මාගේ ජීවිතයම ප්‍රබෝධමත් වේ.
    ඇයි ඔයා මට මෙච්චර ආදරේ....
    සුදුනෝනා විටෙක මගෙන් අසයි..

    "නුඹට හිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී...
    නුඹට සිත බැඳි කාරනේ මං තවම සොයන්නෙමී... "
    මා තාලයට පිලිතුරු දෙද්දී.. ඇය සිනාසෙයි..

    යදින මොහොතේදී දෙවියන් ඉදිරියේ සුදුනෝනා මට මාගේ බිරිඳ සේ හැඟේ... ඇය සෑම අතකින්ම මගේ දිවි පණ නලයි. මා සතුය ඇති ඇයට පිදිය හැකි උතුම්ම දේ ආදරයයි. කියවීමට ආසා කල ඇය මුහුනු පොතේ කතා අරණේ සාමාජිකාවකි. වෙන මොන වැඩේ තිබුනත් තෝරා ගත් කතා කීපයක් කියවීමට ඇය එහි පැමිනේ. මාද ලිවීමට කැමති අයෙකි. රහට ලිවිය නොහැකි වූවත් සරළ සිද්දියක් විස්තර කර ලිවීමට මට හැකියාවක් ඇතැයි මා ඇයට පැවසූ විට ඇය මා හට සිනාසේ...

    "ඔයා ලිව්වට කමක් නෑ.... දිගටම ලියන්න. හැබැයි මං ගැන ලියන ඒවා මට එවන්න එපා .. මට ලැජ්ජයි... "
    දිනක් මා ඇය වෙත නිසඳසක් ලියූ විට ඇය කීවාය
    නමුත් හොරෙන් හොරෙන් සුදුනෝනා ඒවා කියවමින් එකතු කරන බව මා දනී...

    " ඔයාට නොලියා මං වෙන කාට ලියන්නද සුදු... "
    මාද පෙරලා සිනාවකින් පිළිතුරු දුනිමි.

    පමා වී හෝ මාගේ ජීවිතයට වසන්තයක් එළඹී තිබේ. මෙතෙක් කලක් සිත දැඩිකරගෙන තනිකඩව විසූ මගේ හිත දැන් මටත් වඩා වෙන කෙනෙක් ගැන විමසයි. සොයා බලයි. සුදුනෝනාට අප්‍රමාණ ලෙස ආදරය කරයි.
    එමෙන්ම අප දෙදෙනාගේ මුල්ම හමුවීමත් සැලසුම් කලෙමු.

    "මට ආසයි ඔයා එක්ක පල්ලියකට යන්න... "
    මා ඇයට යෝජනා කළෙමි.
    "ම්ම්ම්... අපි කොච්චිකඩේ පල්ලි යං. මාත් යන්න ආසයි... "

    ඇය පිලතුරු දුන්නාය.

    "හරි එහෙම නං මේ සෙනසුරාදා යමු. "
    මම දිනයකුත් වෙන්කල ඉක්මනට ඇය සිනාසුනාය.

    සුදුනෝනා සහ මා තනිව හමුවන පළමු දිනය මා හට සුවිශේෂී එකක් කර ගන්නට උවමනා විය. ඇයටත් හොරෙන් ඇයගේ මුහුනු පොතෙන් ලබා ගත් පින්තූර කීපයක් දමා සාදා ගත් පොටෝ කොලාජ් එකක් මුද්‍රනය කරවා, ඇය වෙනුවෙන් නිසඳසක් ලියා එය සන්නස් පත්‍රියක ආකෘතියකට සැකසුවෙමි. මෙයට අමතරව ඇය වැඩිපුරම කැමති ආහාර වේලක් බුක්ති විඳිමට කැටුව යාමට හොඳ අවන්හලක්ද තෝරා ගතිමි. මේ වන විටත් ඇය මේ කිසිම දෙයක් නොද්න්නවා විය හැක .

    තත්වය මෙසේ තිබියදී... මීට දින කීපයකට ඉහතදී කාර්යාලයේ රාජකාරී වැඩකටයුත්තක් හේතුවෙන් අප හට දුර පලාතකට යාමට සිදුවිය. ඇයත් මමත් සුපුරුදු පරිදි දුරකථනයෙන් එකිනෙකා හා සම්බන්ධ වෙමින් තොරතුරු හුවමාරු කර ගතිමු.
    පෙර දින රාත්‍රියේ ඇයගේ සේවා මුරය අවසන් වී නිවසට ගිය පසුව සුපුරුදු පරිදි ඇයගෙන් දුරකථන ඇමතුම් ලැබුනේ නැත. මා යවන කෙටි පණිවිඩ වලටත් ප්‍රතිචාරයක් නැත. අවසන් ඇමතුම සිදු කලේ ඊට පැය දෙකකට පමණ පෙර වූ අතර.. එහිදී වත් ඇයගෙන් කිසිදු වෙනසක සේයාවක් වත් නොවීය.
    "මහන්සි ඇති... "
    "නිදි ඇති..."
    මා විසින් මා හටම නිදහසට හේතු සපයා ගතිමි.

    පසුදින උදෑසනත් තත්වය එසේමය.

    ඇය කෙමෙන් කෙමෙන් මාගෙන් ඈත් වන බවක් මා හට දැනුනි. ඇය වචනයක් වත් නොපවසා සිටියත්.. කුමක් හෝ බැඳීමකින් ඇය ගැන මට දැනේ. විස්තර කල නොහැකි සංකීර්ණ බැඳීමක් ඇයත් මාත් අතර ඇති බවක් මට දැනුනත්..
    " කාට කියන්නද.. කවුරු පිලිගනියිද මේවා.. "

    දිගින් දිගටම ඇය අමතන්නට උත්සහ කලෙමි. පිලිතුරක් නැත. කෙටි පණිවිඩ යොමු කලෙමි රිප්ලයි නැත.
    මා ඇයට අවංකවම පෙම් කළෙමි. කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ඇගේ දෙනෙතෙහි දුටු යම්කිසි විශේෂ නිමිත්තකට බැඳි ප්‍රේමය අද වන විට මා හට ආපසු හරවා ගත නොහැකි තරම් පරතෙරට ගොස් ඇත. ඇයට නොහැගෙන මා විඳවන තැනක.. ආදරය යනු කුමක්ද ?

    වෙනදාට උදෑසන අවදී වී පැමිනෙන කෙටි පණිවිඩය අද නැත.
    වෙනදාට ඔෆිස් ට්‍රාන්ස්පෝට් එක එනතුරු පාරේ ඉන්න ටිකට කතා කරන කෙල්ල අද නැත.
    විය හැකි සිදුවීම් දාමයක අතරමං වී ඇති මා හට නින්දක් නැත.
    සිතට සැනසීමක් නැත.

    හදිසියේම උදෑසනක ඇයගෙන් ඇමතුමක් ලැබුනි.


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,623
    4,097
    113
    කඩවත

    "සුදුනෝනා....."
    "ඇයි මේ...."

    මා ඇසුවේ එපමණකි..

    "ඔයා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා. අපේ ගෙදරිං ඔයාට කැමති නෑ. මං නිසා වරදක් උනා නං සොරි. ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බෙයි. මට දැං වැඩ පටං ගන්නව . ගෙදරදි කතා කරන්න බැරි නිසයි මෙහෙදි කතා කලේ. ආයේ මට කතා කරන්න එපා. "

    ඇමතුම විසන්ධි විය.

    කිසිවක් කරකියාගත නොහැකි තැනකට ඇදවැටුනු බවක් දැනුනි. මෙවන් දෙයක් වීමට මා අතින් සිදුවූ වරදක් මා හට නොහැඟේ..

    "අවුරුදු ගනං ආදරේ කරලා... එකටත් ඉදලා.. පස්සෙ උනුත් ඔය යස අගේට වෙන් වෙලා ඉන්නෙ.. ඕවා නං මොනවද බං අතඇරලා දාපං.... "
    "විකාර නෙ උඹට ඔය කෙල්ල විතරද මේ ලෝකෙ ඉන්නෙ. එකක් ගියොත් තව එකක් එයි අල්ලලා දාපං බං.."
    "කෙල්ලො ඔහොම තමා යකෝ... ආයේ පත්තරෙං වෙන එකෙක් බලපං..."

    කාර්යාලයේ මිතුරන් හා සහෝදරයන් මා අස්වැසීමට තැත් කරද්දී..

    "දහසක් මල් මැද එකම මලයි පැතුවේ....
    එමල කිමද සරදම් කර සැඟව ගියේ.... "

    යලිත් හුදෙකලා එක්ටැම්ගෙයක සිතින් තනිවු මා.... තවමත් උපේක්ෂාවෙන් ඇය එනතුරු බලා හිඳිමි. දිනෙන් දින ගතවද්දී මාගේ නින්ද, සිහින, සිතුම් පැතුම්... සියල්ල සුදුනෝනා ගෙන ගොස් අවසන් බව මා හට වැටහෙන්නට පටන් ගති. කොහෙන්දෝ පැමිණි හිසරදයක් , නිතර නිතර අමතක වන ගතියක් සමග මානසික ආතතියකින් මා පෙලෙන්නට විය. නිවැසියන් සමග කතා බහ අඩුවී තනිවම කාලය ගත කරමින් ඇයගේ මනෝ ලේා්කයේම සැරිසරන්නට පටන් ගතිමි. කෙතරම් උත්සහ කලත් සුදුනෝනා මගේ මතකයෙන් නික්ම නොයන බව මට දැනුනි. ඇයගේ ජීවිතය මාගේ ජීවිතය හා බැඳී ඇති අයුරක් මට දැනුනි.

    කරුණු එසේ වෙද්දී මාගේ වෙනස්වීම දරාගත නොහැකි තැන අම්මා විසින් සුදුනෝනාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබා දී ඇත.
    "ඒක වෙන්නෑ.. ඒක කෙරෙන්නෑ.. ඔයාලා පුතාට වෙන මගුලක් හොයා ගන්න...."

    ඇගේ මව පවසා ඇත.

    "හරි කමක් නෑ අක්කේ... අපිට කියන්නකො අපි අතිං.. නැත්තං පුතා අතින් මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවද ? මේ ළමයා හරියට කෑමක් කන්නෑ.. කල්පනා කර කරම ඉන්නව.... "

    "නෑ නෑ එහෙම වැරැද්දක් වෙලත් නෑ.. අපි කැමති නෑ මේකට.. එච්චරයි... "

    ඇමතුම විසන්ධි වී ඇත.

    "ආ සර්.... මොකෝ අදත් මේ කොලෙකුයි පෑනකුයි අරං මොනවද කුරුටු ගාන්නෙ.... ළමයින්ට වත් උගන්වනවද ? "

    සාත්තු සේවකයෙක් සිනාමුසු මුහුනෙන් පැමිනෙද්දී... යලිත් පියවි සිහියට ආවෙමි.

    "යං යං අන්න අරහෙ ඩොක්ට ඇවිත් ඉන්නව බලන්න.... "

    රෝගීන් රූපවාහිනිය නරඹන.. ගුවන්විදුලියට සවන් දෙන ස්ථානයේ සිට මොනවදෝ කොලයක සලකුණු කරමින් සිටි ඔහුව .. ඇටෙන්ඩන්ට් කෙනෙකු පැමිණ වාට්ටුවට කැඳවාගෙන යද්දී... අපේ කතානායකයා අත තිබූ කොලය බිම වැටුනි... තවදුරටත් ඔහු හා ගැවසීමට අපට අයිතියක් නොමැති බැවින්... මෙතනින් නික්ම යමු.

    සුදුනෝනා... ඇයි මැණික ?

    එහි ලියා තිබුනි.

    සමාප්තයි !
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,623
    4,097
    113
    කඩවත
    කතාව :love:

    හැබැයි ඒක පාරටම අවසන් උනා වගේ ෆීලින් ආවා අන්තිම ටික කියෙව්වම
    ඒකටනෙ ඉතිං කෙටි කතා කියන්නෙ :D අනික ඇත්ත කතාවක් ලියද්දි බොරු ලියන්නත් බෑ නෙ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    13,385
    1,972
    113
    මුහුද පැත්තේ..
    ඒකටනෙ ඉතිං කෙටි කතා කියන්නෙ :D අනික ඇත්ත කතාවක් ලියද්දි බොරු ලියන්නත් බෑ නෙ
    හරි යකෝ කෙටි කතාවක් කියලා දන්නවා :P හැබැයි අවසානය තව පොඩ්ඩක් විස්තර උනානම් හොදයි වගේ හිතුනා

    සිරාවට ඇත්ත කථාවක් ද බන් ?:confused:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,957
    1,691
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හරි යකෝ කෙටි කතාවක් කියලා දන්නවා :P හැබැයි අවසානය තව පොඩ්ඩක් විස්තර උනානම් හොදයි වගේ හිතුනා

    සිරාවට ඇත්ත කථාවක් ද බන් ?:confused:
    මේකේ එක දෙයක් ඇරෙන්න අනිත් ඔක්කොම ඇත්ත මචන්. මම ඔය සිද්දිය හොඳටම දන්නවා.
    "අවුරුදු ගනං ආදරේ කරලා... එකටත් ඉදලා.. පස්සෙ උනුත් ඔය යස අගේට වෙන් වෙලා ඉන්නෙ.. ඕවා නං මොනවද බං අතඇරලා දාපං.... "

    මෙහෙම කියපු ගොඩේ මාත් ඉන්නවා :(

    "
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,623
    4,097
    113
    කඩවත
    thank you :)

    sankalpa dakka kal meka sira kathawak da?.
    90% witara :dull:
    ------ Post added on Mar 20, 2021 at 12:51 PM

    මේකේ එක දෙයක් ඇරෙන්න අනිත් ඔක්කොම ඇත්ත මචන්. මම ඔය සිද්දිය හොඳටම දන්නවා.
    "අවුරුදු ගනං ආදරේ කරලා... එකටත් ඉදලා.. පස්සෙ උනුත් ඔය යස අගේට වෙන් වෙලා ඉන්නෙ.. ඕවා නං මොනවද බං අතඇරලා දාපං.... "

    මෙහෙම කියපු ගොඩේ මාත් ඉන්නවා :(

    "
    hm :(
    ------ Post added on Mar 20, 2021 at 12:52 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,252
    8,444
    113
    Fantasy
    කතාව නම් පට්ට .

    සුදු නෝනගේ ගෙදරින් අකමැති වෙන්න සැබෑ හේතුව මොකක්ද උනේ
     
    • Like
    Reactions: Stimulus mind