සුනඛ ධේනු කතා වස්තුව

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    සුනඛ ධේනු කතා වස්තුව

    ‘පට්ට’ යන විශේෂණ පදය දැන් යෙදෙන්නේ අපේ තරුණ කාලයේ තිබුණු අර්ථයෙන් නොවේ. අපේ තරුණ කාලයේ නොව තාත්තලාගේ කාලයේත් ඒ විශේෂණය යෙදුණේ ‘ඉතාම නරක’ යන අර්ථයෙනි. ‘

    “පට්ටපල් බොරුවක්” යනුවෙන් යෙදූ ඔවුන් නරකම ගැහැනියක් හැඳින්වීමට “පට්ට...” යන විශේෂණය යෙදූ අයුරු අපි අසා ඇත්තෙමු. ඇතැම් විට කතා බහේදී අපිදු යොදා ඇත්තෙමු.

    එහෙත් දැන් එය යෙදෙන්නේ “ඉතා හොඳ” යන අර්ථය ජනිත කරවනු සඳහා ය‍. ඒ අනුව “පට්ට කවි” කියන්නේ නොම්මර එකේ කවි යැයි සිතෙන කවිවලට ය. “පට්ට කෝපි එකක්” කියන්නේ නොම්මර එකේ කෝපි කෝප්පයකට ය. ඒ නව සම්ප්‍රදාය අනුව ම “පට්ට...” යැයි යොදන්නේ හොඳම එකකට ය. (වල්ලා පට්ටා) වුව ද හොඳම එකකි.)

    සාමාන්‍ය වහරට වචන එකතු කරන බජාර් එකේ පොරවල් පමණක් නොව විදග්ධ සරසවි ඇදුරන් පවා “පට්ට” යෙදුම භාවිත කරනු මම අසා ඇත්තෙමි. එබැවින් මේ සටහන තබන මම ද ඇතැම් විට “පට්ට බයිට් එක” වැනි යෙදුම් භාවිත කර ඇත්තෙමි.

    මසිතෙහි මේ සටහන අද තබන්නේ එවැනි උත්තම වර්ගයේ බැල්ලියන් දෙදෙනකු ගැන කීමට ය. මේ කතාව මින් පෙර ද මම දිවයින වටරවුමෙහි සටහන් කර ඇත්තෙමි. ඒ බොහෝ කලකට පෙර ය. ඇතැම් දේශනවල දී ද මනුෂ්‍යත්වය ගැන පැවසීමට මේ කතා දෙක භාවිත කර ඇත්තෙමි. පට්ට යන අලුත් වචනය බැල්ලියන්ට ආදේශ කිරීම අසාධාරණ යැයි මට සිතේ. මට හමුවූ සුවිශේෂ බැල්ලියන් දෙදෙනා වෙනුවෙන් සුනඛ ධේනුව යන ගෞරවණීය නාමය යෙදීමට මා කැමැති ය.

    ඒ අනුව පළමු සුනඛ ධේනුව මට මුණ ගැසුණේ මා නිතර ඇවිදින ගම්පහ නගරයේ කඩවීදියක පේව්මන්ට් එකේ දී ය. එක්තරා හිමිදිරි හෝරාවකදී ය.

    එදින මඳ වැසි දිනයකි. මම ද වැස්සට යටින් බස් නැවතුම දෙසට යමින් සිටියෙමි. එහෙත් ටික දුරක් යනවිට වැස්ස මඳක් වැඩි වූ හෙයින් තවදුරටත් වැස්සට හොරෙන් බස් නැවතුමට යාමට නොහැකි වූ නිසා කඩ වීදියේ පේව්මන්ට් එකට ගොඩවීමි. ඒ වනවිටත් සෑහෙන්නට තෙත බරිතව සිටියෙමි.

    මා පේව්මන්ට් එකට ගොඩවූ සැණින් බැල්ලියක් බුරාගෙන මා වෙතට කඩා පැන්නා ය. ඈ බුරමින් සහ කඩා පනිමින් මා වටා කැරකෙන්නට වූවා ය. “චිප්... චිප්...” යන හඬ නංවමින් අත පය වීසි කරනවා හැරෙන්නට මට කළ හැකි කිසිවක් තිබුණේ නැත.

    බැල්ලිය වටා කුඩා පැටවුන් තිදෙනෙක් ද කැරකෙන්නට වූහ. ඒ පැටවුන්ගේ කරකැවීමත් සමඟ බැල්ලියගේ බිරිල්ල දෙගුණ තෙගුණ විය.

    ඒ අතර පැටව් දෙදෙනෙක්. පේව්මන්ට් එකේ පඩිය මතින් පිටතට වැටුණාහ. බැල්ලිය කළේ බිරිල්ල නවතා උන් දෙන්නා එකා බැගින් කටින් ඩැහැගෙන යළි පේව්මන්ට් එකේ මුල්ලකින් තැබීම ය. ඉන්පසු මඳ වේලාවක් උන් සමඟ වැතිර සිටියා ය. පැටව් කිරි උරන්නට පටන් ගත්හ. බැල්ලිය එක එල්ලේ ම මා දෙස බලා සිටියා ය. ඒ බැල්ම මඳකට හෝ වෙනස් වූයේ පැටවකු ලෙව කන්නට පටන් ගත් පසුව ය.

    කිරි දෙන බැල්ලියගේ බැල්ම බුරමින් කඩා පනින විට තිබූ බැල්මට වඩා බොහෝ සෞම්‍ය එකක් විය. ඈ අහිංසකව මා සමඟ සිනාසෙන බවක් මට දැනිණි.

    “අනේ මගෙ පැටවුන්ට කිසිම කරදරයක් කරන්නට එපා.”

    එවැනි ආයාචනයක් ඒ් බැල්මෙහි තිබිණි. වැස්ස තූරල් වී ගිය හෙයින් ඒ අම්මා සහ දරු පැටවුන්ට එක හිතකින් තුරුළුව සිටින්නට ඉඩ හැර මම එතැනින් පිටවූයෙමි. එහෙත් කඩ සාප්පු කාරයින් පැමිණි පසු තම පැටවුන් සමඟ නගර කඩ වීදියේ තවත් නොතෙමෙන තැනක් සොයා යෑමට බැල්ලි‍යට සිදුවනු ඇත‍. නැතිනම් නිසැකවම කොස්සෙන් ‍පහරදී එළවා දමනු ඇත. මම එවැනි සිදුවීම් ද දැක ඇත්තෙමි.

    දෙවැනි සුනඛ ධේනුව මට මුණ ගැසුණේ අනුරාධපුර මහ කනදරාව වෑ කණ්ඩිය මත දී ය‍. මගේ පාසල් මිත්‍රයකු වූ රංජිත් සිරිලාල් එවකට කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් සේවය කරමින් සිටියේ ය. ඔහු හමුවන්නට මම එදින යමින් සිටියෙමි. මහකනදරාව වැව තිබෙන්නේ අනුරාධපුර - කහටගස්දිගිලිය පාරේ ය. මහා මාර්ගය දෙපසේ ම ඇත්තේ වැවයි.

    මේ වෑකණ්ඩිය මතින් අපේ වාහනය යනවිට පාර මැද සිටි බැල්ලියක් වහා ඉවතට පැන්නා ය. ඈ සිටියේ පාර මැද තිබූ යමක් ලෙව කමිනි. ඒ බලු පැටියකුගේ සිරුරකි. මම මොහොතකට එතැන වාහනය නවතන්නැයි රියැදුරාට පැවසීමි. සැබැවින් ම එය සංවේදී දර්ශනයක් විය.

    බලු පැටියා වාහනයකට යට වී තැලී පොඩි වී ගොසිනි. බැල්ලිය තම පැටියාගේ සිරුර අත නොහැර ඒ අසල ම රැ‍ෙදමින් සිරුර ලෙව කයි. වාහනයක් එනවිට අයිනට පනී. ඒ වාහනයට ද කුඩා සිරුර හසුව තව තවත් තැලී යන අයුරු ඈ බලා සිටී.

    වාහනය එතැනින් ගිය පසු සිරුර අසලට ගොස් නැවත එය ලෙව කයි. මම වෑන් රියෙන් බැස පියවරක් දෙකක් ඒ පැත්තට ගියෙමි. බැල්ලිය මා වෙත කඩා පැන්නා ය. එබැවින් යළි වාහනය තුළට පැන ගන්නට මට සිදුවිය.

    වාහන දෙක තුනක් ම එතැනින් යන තෙක් මම බලා සිටියෙමි. ඒ සෑම විට ම ඒ දර්ශනය දැක ගන්නට මට හැකි විය.

    මේ සිද්ධිය ද එකල දිවයින වටරවුමේ සටහන් කළෙමි.‍

    එහෙත් ඒ බැල්ලියන් දෙදෙනාගේ කතා දෙක සටහන් කළ යුතු හොඳම කාලය, මෙකල බැව් මට සිතේ.

    “තාත්තා දරුවන් දෙදෙනා නිල්වලා ගඟට දැම්මේ ය. දවසක බිලිඳු මළ සිරුරක් කැලණි ග‍ඟෙන් හමු විය‍. තාත්තා තම බිලිඳු දරුවා පොළවේ ගැසුවේ ය.”

    හිමිදිරියේ ම මේ දවස්වල පුවත්පත් වලින් අපට කියවන්නට ලැබෙන දේවල් ය. ඒත් අප “බලු වැඩ, බල්ලො බැල්ලියො” කියා කියන්නේ එපා ම කරපු මිනිසුන්ට ය. එය කෙතරම් අසාධාරණදැයි මසිත මගෙන් ප්‍රශ්න කරයි.

    මිනිසුන්ට පට්ට මිනිසුන් කියා යොදන්නට හැකි වූවත් මෙවැනි උතුම් සුනඛ ධේනුවන් වෙනුවෙන් පට්ට බැල්ලියන් යන වචනය යොදන්නට කිසිසේත් මට සිතෙන්නේ නැත.

    එබැවින් ‘බලු වැඩ’ යන යෙදුමට නව අර්ථකථනයක් සපයන්නැයි මසිත මගෙන් ඉල්ලීමක් කරයි. මම ඒ ඉල්ලීම මෙසේ සමාජගත කරමි.

    “බල්ලන්ට සාධාරණයක් ඉටු කළ මැනව.”

    Karunadasa Sooriyarachchi

    Silumina
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මනසින් උසස් මිනිස් ලෝකෙ ඉන්න සමහර මිනිස් සත්වයින් ඉතාම පහත් වැඩ කරද්දි සුනඛ ලෝකෙ ඉන්න සමහර සත්වයො පෙර බවයක තිබු යහපත් සන්සාර පුරුද්දකට මෙන් දෝ මනුසත් කම් පෙන්වන අවස්තා මමත් දැකල තියෙනව.. හොඳ ලිපියක්..

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited: