භාරත ඝාතන නඩුව - දුමින්ද ඇතුළු විත්තිකරුවන්ට ඇප
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනාට කොළඹ මහාධිකරණය විසින් අද ඇප නියම කර තිබේ.
එසේම විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර ඇති බව අප වාර්තාකරු පැවසීය.
ඒ අනූව රුපියල් 50,000 මුදල් ඇපයක් හා මිලියන 2ක බැගින් ශරීර ඇප 2ක් මත විත්තිකරුවන්ට ඇප නියම කර තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ට අප්‍රේල් 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය විසින් පසුගියදා සිතාසි නිකුත් කිරීමට නියෝග කරන ලදී.
විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එසේ සිතාසි නිකුත් කිරීමට තීරණය කෙරුණේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 17ක් යටතේ ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.
2011 ඔක්තෝබර් මස 08 පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී අංගොඩ - මුල්ලේරියාව හා හිඹුටාන යන ස්ථානවලදී ඡන්ද දායකයන්ට ගිනි අවි පෙන්වා බිය ගන්වමින්, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටි බවටත්, එසේ සිටිමින් අංගොඩ රාහුල විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසකට බලහත්කාරකම් කර ප්රචණ්ඩත්වයේ යෙදුණු බවටත්, විහි පතිරැන්නැහැලාගේ තිවංකා මධුෂානි පතිරණ යන අයට බැන වැදී බියගැන්වූ බවටත්, විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුවෙන් අධි චෝදනා නඟා තිබේ.
විතානගේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, පතිරණගේ චමින්ද රවී ජයනාත්, කොඩිප්පිලි ආරච්චිගේ ලංකා රසාංජන, විජේසුරිය ආරච්චිගේ ෂාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චන්දන සමන් කුමාර අබේවික්‍රම, ප්‍රියන්ත ජනක බණ්ඩාර, දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා ලියනාරච්චි ශමින්ද යන විත්තිකරුවන් 13 දෙනාට පසුගියදා සිතාසි නිකුත් කෙරුණු අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු අද උසාවි නොපැමිණ සිටි බව පැවසේ.
ada derana