හොල්මං හරකා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම රාජකාරී කරමින් සිටි ආයතනයේ රාජකාරී කටයුත්තකට ඉන්දියාවට පැමිණි මට මෙයට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක මා සමඟින් අධ්‍යාපනය ලබමින් සිටි අමල් ජෝදා නම් මගේ මිතුරෙකුගෙන් අදිසි දුරකථන ඇමතුමක් ලැබිණි. අමල් ජෝදා ඒ සමයේ මගේ සමීපතම මිතුරා වූ අතර කිහිපවරක්ම මා එදවස ඔහුගේ නිවෙසට ගොස් අමල් ජෝදා ගේ අම්මාගේ රසවත් ඉන්දියානු ආහාර රසවිඳ තිබිණි. ඒ දිනවල ආන්ද්‍රා ප්‍රදේශය පුරා මුස්ලිම් සහ හින්දු ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඇදිරිනීතිය පනවා තිබූ නමුත්, මගේ රාජකාරී හැදුනුම්පත භාවිතා කරමින් මා අමල් ගේ නිවෙස පිහිටි විජයපුරම් වෙත ගියේ ආයතනයේ රියදුරෙක් විජයපුරම් වෙත යන්නට අනියමින් කැමති කරවාගෙනය.
    සවස 5 පමණ වන විට මා විජයපුරම් වෙත ඇරලූ ආයතනයේ රියදුරා මා දුන් සන්තෝසම ද ගෙන පිටව ගියේය.
    මිනිසුන්ගෙන් ශූන්‍ය නගරය ඇඳිරිය වැටෙන විට කුමක්දෝ වචනයෙන් කිව නොහැකි පාළුවකින් පිරී ගොස් තිබුණේය. නගරය සම්පූර්ණයෙන්ම හිස් ය. එකම එක මිනිස් පුළුටක් සොයමින් මගේ ඇස් හාත්පස දිවගිය මුත් මනුශ්‍යය සෙයියාවක්වත් දකින්නට නොවීය. අමල් පවසා තිබුණේ මා රැගෙන යන්නට බස් නැවතුමට එන බව යි.
    අදුරු බස්නැවතුමේ කෙළවරක සිට අන්ධකාර සෙවණැල්ලක් මා සමීපයට ළං වෙමින් සිටියේය. හදවතේ නැගුණු අදිසි ගැස්ම එසේම තිබියදීත් මා දෑස් පිසදාගෙන තවත් වරක් වඩාත් හොඳින් ඒ දෙසට දෑස් යොමුකළේය. දැවැන්ත කළු හරකෙක් මගේ සමීපයේම නැවතී , උගේ විශාල ඇස් මා වෙත හයාගෙන සිටියේය.
    “මූ මොකද මං දිහා බලාගෙන කන්න වගේ ” මගේ සිතුවිලි කතා කරයි.
    ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්ත කාල වර්ණ වෘෂභරාජයෙක් විය. ඇත්ත වශයෙන්ම මේ කාලවර්ණ ජීවියා සජීවි ලෝකයේ සත්වවයෙක්ද, නැතහොත් මගේ අදුරු මනෝලෝකයේ මැවුණු විකාර රූපයයක්ද යන්න තීරණය කරගත නොහැකිව මා තවත් මොහොතක් ශෛලමය ඉරියව්වෙන් බලා සිටියේය. ඒත් ඒ මොහොතේම අදුරත් සමග එන මැසි මඳුරු කරදරයෙන් ගැලවීමට වෘෂභරාජයා නොහොත් කළු හරකා නැට්ට උස්සා තම ශරීරයටම පහරදෙන ‘චටස්’ හඩින් මා පියවි සිහියට පිවිසියේය. හදවතේ ගැස්ම ක්‍රමයෙන් අඩුවී ගිය නමුත්, කොහේදෝ යන හරකෙක් මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මා සෙල්පිළිමයක් ව සිටියේය. තත්පර කිහිපයක් මා දෙස තම තිරිසන් දෑසින් ( නමුත් ඒ දෑස්වල අහිංසක දීප්තීයක් පමණි මා දුටුවේ ) බලාසිටි කලු හරකා නැවත හැරී තමන් පැමිණි අහුමුල්ලටම යන්නට පටන් ගත්තේය. මගේ සිත සැහැල්ලු වූයේ, මේ කොහෙන්දෝ කඩාපාත් වූ හරක් කරදරයෙන් නිදහස් වීමේ අස්වැසුම් සහගත සිතුවිල්ල නිසා ය.
    නමුත් මද දුරක් ගිය හරකා නැවතී , හිස හරවා මා දෙස බැලුවේ “ ඇයි එන්නේ නැත්තේ ” වැනි සෙයියාවකිනි. මා තුෂ්නිම්භූතව බලා සිටියේය. දැන් හරකා මහ හඩින් මොරදුන්නේ මා දෙස හරවා ගත් බැල්ම එසේම තිබියදීය. තවත් මොහොතකින් පෙරට වඩා තරමක් මොලොක් හඩින් හරකා කෑගැසුවේය. නමුත් ඒ සෝකාලාපයක් වන් ඒ හඬ පාළුවට ගිය නගරයේ ගොඩනැගිලිවල වැදී නැවත නැවතත් මගේ සවන්පත් මත දෝංකාර දුන්නේය. දැන් දැන් මෙතන රැදී සිටීම නුවණට හුරු නැතැයි මගේ සිත කීවේය.
    සාක්කුවට අත යවා ජංගම දුරකතනය අතට ගත් මා , අමල්ගේ අංකය තෝරාගෙන එයට ඇමතුමක් ගත්තේය. අන්ධකාරය මැද ඩිජිටල් තිරයේ නිල් පැහැති නියෝන් එළිය නිවී දැල්වුණා පමණි.
    “ඔබ අමතන අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත”
    “දැන් මොකද කරන්නේ ......?” මා මගෙන්ම අසාගත්තේ ය.
    මට කිසිත් සිතාගත නොහැකි විය. දැන් අර කාලවර්ණ වෘෂ්භරාජයා මා වෙත නැවත ඇවිද එමින් සිටින්නේය. නගර වීදියේ පටු මුල්ලකට සහ තාප්පයකට සිරවී සිටි මට පිටව යාහැකි එකම ක්‍රමය වූයේ නැවත , දැන් මා වෙත ඇවිද එන කළු හරකා ඉදිරියටම ගමන් කිරීම පමණි. නමුත් දැවැන්ත කාල වර්ණ තිරිසනෙක් ඉදිරියට ඇවිද යාමට තරම් ධෛර්්‍යයක් මා තුළ නොතිබුණේය.නැත්නම් ඒ මොහොතේ ඒ වටපිටාවේ ගුප්ත බව මා හිරිවට්ටා තිබුණේය. මම හුන් තැනම ගල් ගැසුණෙමි.
    කළු හරකා නැවතත් මා දෙස දෑස් හයාගෙන සිටියි. උගේ දෑස්වල ඇත්තේ කිසියම් ආයාචනයක් යැයි මට සිතුණි. තත්පර කිහිපයක් එසේ බලා සිටි හරකා තරමක පහත් ස්වරයකින් , තම හිස අනෙත් දෙසට හරවාගෙන හඬගෑවේය. හරකාට උවමනා වී ඇත්තේ ඌ සමඟින් මා කැටුව යාමට බව මට තේරුම්ගියේය. මා එල්ලාගෙන සිටින පැති බෑගය ට හොම්බ දිගු කර කළු හරකා එය තම කටින් අල්ලාගන්නට කිහිප වරක් උත්සාහ කළේය. දැන් නම් මට හරකාගේ උවමනාව තදින්ම පැහැදිලි වූයේය.
    අවසානයේදී මා කළු හරකා පිටුපසින් ගාටන්නට පටන්ගෙන තිබිණි. මට වඩා අඩි කිහිපයක් ඉදිරියෙන් ඇවිද යමින් සිටි කළු හරකා කකුලක් නොන්ඩි ගසමින් ඇවිදින බව මට පෙණුනි. බැස යන හිරුගේ අවසන් රැස්දහරවල් නගරයේ ගොඩනැගිලි අතරින් , ඉඩකඩ තිබෙන අහුමුළු වලින් පෙරී එද්දී හරකාගේ සිරුරේ තැනින් තැන තැවරුණු රතුපැහැ රුධිර පැල්ලම් මට පෙණුනි. ඒවා මේ දැන් සිදුවූ තුවාලයක රුධිර පැල්ලම් බව වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. මගේ හදගැස්ම නිතැතින්ම වැඩි වන්නට වූයේය. කළු හරකා ඉදිරියට ඇවිද යන අතරේ වරින් වර නැවතී මා පිටුපසින් එනවාදැයි බැලුවේය.
    නගරය පසුකර ලෑලි නිවෙස් පේළියක් මැදින් වැටුණු පටු පාරවල් කිහිපයක් ඔස්සේ කළු හරකා ඇවිද යන්නේ ය. මා ඌ පිටුපසිනි. මා උන්මත්තකයෙක් මෙන් කොහේදෝ යන හරකෙකු පිටුපසින් ඇවිද යන්නේ අහවල් එහෙකටදැයි හැගීමක් මගේ සිතට පිවිසි නමුත්, දැන් මේ හරකාගේ හැසිරීම මගේ කුතුහලය අවුළුවා තිබිණි.
    මේ නගරයේ නිසොල්මන මා උමතු කරවන තරම් විය. ප්‍රාන්තය පුරාම ඇඳිරිනීතිය පනවා තිබූ නමුත්, මෙවන් නගරයක මිනිස් පුළුටක්වත් දකින්නට නොවීම මා කුතුහලයට පත්කළේය. ලෑලි නිවෙස් පේළිය අවසන් වූවත් ඒ ඔස්සේ ඇදී ගිය කුණු ඇල තවමත් ඉදිරියට ඇදෙයි. කළු හරකා ඉදිරියට ඇවිද යන්නේ කුණු ඇල ඉවුර මතිනි. කුණු ඇලක් වූවත් ඉන්දියාවේ වෙනත් නගරයක දකින්නට හැකි කුණු ඇලක් තරම් අපිරිසිදු කමක් මේ කුණු ඇලේ නැති හැටියකි. කුණු ඇල ඉවුර දිගේ ඇවිද ආ මම හරකාගේ මගපෙන්වීමෙන් තරමක උස් කණ්ඩියකට පිවිස සිටියෙමි.
    එපිටින් ඈතට විහිදුණු තැනිතලාවකි. තැනිතලාවේ ඔබ්බෙන් වූ සිතිජයේ ඉරු ගිලී ගොසිනි. හරකා මා දෙස බලා හඩගෑවේය. එය මහා මූසල හඩගෑමකි. දැන් රේල්පාර ඔස්සේ තවත් දුරක් ඇවිද ගිය හරකා එක්වරම ඇද වැටුණේ ය. මා උන් තැනම ගල් ගැසුණි. හරකා නැවතත් වේදනාත්ම ස්වරයෙන් කෑ ගැසූ අතර අපහසුවෙන් මා දෙස හිස ඔසවා බලන්නට උත්සාහ දැරීය. හරකා නිසා උපන් වේදනාවකින් මගේ පපුව හීන් හිරියකින් රිදුම් දුන්නේය.
    මා හරකා සමීපයට දිව ගියේය.
    කළු හරකා රුධිරයෙන් නැහැවී සිටියේය.
    “ උඹ ආවාද........?”
    ඔබ්බෙන් දුර්වල මිනිස් හඬක් මතුවූවේය. මා වෙවුළා ගියේය. හරකා ට මදක් නුදුරින් යාන්තමින් සෙලවෙන මිනිස් සිරුරක් මට පෙනෙයි. මා තවත් වරක් වෙවුළීය. බිය මගේ මුළු සිරුරම දහඩියෙන් නහවා තිබිණි.
    මහළු මිනිසෙක් හරකාට එපිටින් බිම වැතිරී සිටියේය. ඇත්තටම එතැන වූයේ මිනිසෙක් නොව එක මිනිස් හපයක් බැවු මට පැහැදිලි විය.
    හරකා වරින් වර ඒ මිනිස් හපය තම දිවෙන් පිරිසිදු කළේ ය. ඒ සෑම වාරයක් පාසාම ඒ මිනිසා සැනසුම්දායී වේදනාවෙන් කෙඳිරි ගෑවේය. මහලු මිනිසා මා එතැනට පැමිණ සිටින බව දැක තිබුණි.
    “කෝච්චියේ වැදුණා මහත්තයෝ...., අර තියෙන්නේ මගේ කරත්තේ....”
    කැබලි වී ගිය කරත්තයක කොටස් සහ රෝදයක් ඔහු සමීපයේම තිබිණි.මිනිසා සිටින්නේ මරණාසන්නවය. මා කුමක් කළ යුතුදැයි නිච්චියක් මට නොවීය.
    “මහත්තයෝ ඔය රේල්පාර කෙළවරේම ඩිස්පැන්සරියක් තියෙනවා , ඉක්මණට එතෙන්ට ගිහින් දොස්තර මහත්තයාව එක්ක එන්ට ”
    තවත් මොහොතක්වත් පමා නොවූ මා රේල්පාර දිගේ මහලු මිනිසා පෙන්වූ දෙසට දිව යන්නට වූයේය. මා බොහෝ දුරක් දිව එන්නට ඇත. රේල්පාර කණ්ඩියේ සිටින මට තරමක් දුරින් දැල්වෙන විදුලි පහනක් පෙණුනේය. එතැනට යන්නට රේල් පාරේ සිට හරිහමන් පාරක් නොවූ මුත් මා ගල් කැබලි සහ කුඩා පඳුරෙන් යුක්ත අඩි පාරක ඇවිදගෙන විදුලි පහන සමීපයට පැමිණියේය.
    දෙවියන්ට පින්සිදු වන්නට ඒ ඩිස්පැන්සරියයි. කුඩා කඩකාමරයක් වූ එතැන වීදුරුවේ රතුපැහැ කුරුසයක් ඇඳ තිබිණි. රතු කුරුසයට යටින් දොස්තර ‘රාජ් පටෙල් MBBS ” ලෙසින් ඉංග්‍රීසි අක්ෂරයෙන් පින්තාරු කර තිබුණේය. නමුත් අනෙක් පස වීදුරුව එහෙම පිටින්ම බිදී ගොස් තිබුණේය. බිදීගිය වීදුරු කැබලි බිම විසිරී තිබුණේ ය. බිදීගිය වීදුරුව අතරින් ඩිස්පන්සරියේ තම මේසයේ සිටිනා දොස්තර මහතාව මට පෙණුනි. කිසිවෙක් බෙහෙත් ගන්නට පැමිණි නොසිටි අතර මම කෙළින්ම පැති දොර විවෘත කරගෙන දොස්තර මහතා සමීපයට ගියේය.
    දොස්තර රාජ් පටෙල් යාන්තමින් මා දෙස බැලුවා පමණි. ඔහුගේ නළල පළල් බැන්ඩේජ් පටියකින් ඔතා තිබිණි.
    “ ඩොක්ටර්....”
    “ඩොක්ටර්..., ඩොක්ටර්.....” මා තරමක් උස් හඩින් කතා කළවිට වෛද්‍යවරයා මා දෙස හිස ඔසොවා බැලීය.
    “ලොකු හදිස්සියක් ඩොක්ටර්, අතන රේල් පාර ගාව කරත්තකාරයෙක් කෝච්චියට අහුවෙලා හොඳටම තුවාලයි....ඉක්මණට යමු...තව හරකෙකුත් ඉන්නවා බිම වැටිලා.......”
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තරුණ දොස්තර මහතා යාන්තමින් සිනාසුණා පමණි.
    “මහත්තයා , මේ පැත්තට අමුත්තෙක් වගෙයි....? ”
    “ ඔවු අමුත්තෙක් නම් තමයි....”
    “මහත්තයා කලබල වෙන්න එපා. කරත්තකාරයා කෝච්චියට අහුවුණේ ගියමාසේ, මිනිහා මැරුණා. බේරගන්න බැරිවුණා. හරකත් මැරුණා, ඌ හාම්පුතාට බොහෝම හිතවත් හරකෙක්.., හරකා හාමුපුතාව බේරගන්න ඇවිදගෙන ඇවිත් තිබුණා සෑහෙන දුරක්... මෙතෙන්ටත් ආවා.ලොකු කළු හරකෙක්.”
    ’‘ එහෙම වෙන්නේ කොහොමද ඩොක්ටර්, මම මේ දැන් දැක්කනේ ඒ මිනිහා අතන වැටිලා ඉන්නවා, මම හරකවත් දැක්කා.....”
    වෛද්‍යවරයා නැවතත් යාන්තමින් සිනාසුණේය.
    “ මහත්තයා..., දැන් මාසෙක ඉදන් කෝච්චි වැඩකරන්නේ නෑ. උඩහ කරත්තකාරයෝ ඔක්කොම රේල්පාරේ වාඩිවෙලා ලොකු උපවාසයක් කරනවා, කරත්තකාරයාව හිතාමතාම හැප්පුවයි කියලා...., කෝච්චි ඩ්‍රයිවර්වත් කරත්තකාරයෝ එකතුවෙලා මරලා දැම්මා...”
    මා තවමත් අවිශ්වාසයෙන් මෙන් තරුණ දොස්තර දෙස බලා සිටියේය.
    “ මේක දැන් වුණා නම් මහත්තයාට ත් ඇහෙන්න ඕනේ මේ කෝච්චියේ සද්දේ, මහත්තයත් ඉන්න ඇත්තේ මේ අහල පහළමනේ....මීට කලිනුත් ඔය හරකවයි, නාකි මනුස්සවයි කීප දෙනෙක්ම දැකලා තිබුණා..”
    දොස්තර ගේ හිසෙහි ගැටගසා තිබුණු බැන්ඩේජය රුධිරයෙන් තෙත් වෙන්නට පටන්ගෙන තිබුණි. නමුත් මා සිටියේ ඒ ගැන අවධානය යොමු කරන්නට හැකි මානසික මට්ටමක නොවේ.
    මම සිටියේ දෙලොවක් අතරය.දොස්තර පවසන්නේ ඇත්තය. දැන් එවැනි අනතුරක් වූවා නම් කෝච්චියේ හඩ හෝ මට ඇසෙන්නට තිබුණා නොවේදැයි මම ද සිතුවෙමි. එසේනම් මෙතෙක් වේලා මා දුටුවේ මොනවාද...? දැන් මා කලාන්ත වන තරම් ය. මා දෙස බලා සිටි කළු හරකාගේ ඇස් වල අවිහිංසක දීප්තිය මට නැවත නැවතත් මැවී පෙණුනේ ය.මගෙන් පිහිටක් ඉල්ලා සිටි මහලු මිනිසා.....? ඩිස්පෙන්සරියෙන් එළියට බැස්සේ කෙසේදැයි මට මතක නොතිබිණි.
    එක්වරම මගේ දුරකතනය නාද වෙන්නට විය. මා සැනසුම් සුසුමක් හෙලූයේ දුරකතන තිරයේ මිතුරාගේ නම සටහන් වෙද්දීය. මගේ මිතුරු අමල් ජෝදා ඇමතුමේ අනෙක් කෙළවරේ වූයේය.
    “ හෙලෝ....”
    මගේ කටහඩ වෙවුළුම් කෑවේය.
    “ බණ්ඩාර, උඹ කොහෙද ඉන්නේ, මං කීපාරක් කොල් ගන්න බැලුවද....?”
    වසර ගණනාවකට පසුව වුවද මිතුරාගේ දයාබරත්වය නොවෙනස්ව තිබීම මට මහා අස්වැසිල්ලක් වූවේය. මා සිටින්නේ දොස්තර රාජ් පටෙල් ගේ ඩිස්පැන්සරිය සමීපයේ බැව් මම අමල් ට පැවසූවෙමි.
    “ මොකක් , දොස්තර රාජ් පටෙල් ළග....? එහෙ මොනවද උඹ කරන්නේ . හරි හරි උඹ ඔතනින් ඉක්මණට ඉස්සරහට වරෙන්, මම බයික් එකේ එනගමන් ඉන්නේ ” යතුරු පැදිය පදවන අතරේ සුළගේ පාවයන අමල්ගේ වචන මට ඇසුණේ ඈත ලෝකයකින් පාව එන හඩක් මෙනි.
    මම සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුණෙමි. පළාතම අඳුරේය. මිතුරු අමල් ජෝදා පැවසූ ලෙසින්ම මිනිත්තු කිහිපයක් යද්දී පැමිණියේය. මා ඔහුව දකින්නේ වසර ගණනාවකට පසුවය.
    “ නැගපන් නැගපන්....”
    අමල් තම සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන සිටියේය.
    “ කොහෙද යෝදයෝ මෙහෙ ආවේ...?” අමල් අමනාපයෙන් මෙන් කීවේය. මා සිදුවූ සියල්ල ඔහුට පැවසුවෙමි. සියල්ල සාවධානව අසා සිටි අමල් කතා කරන්නට පටන්ගත්තේය. ස්කූටරය පදවන අතරේම කතා කළේය.
    “ දොස්තර කීව ඔක්කොම ඇත්ත. ඔය කරත්තකාරයගේ සිද්ධිය හරි කලබලයක් කළා මේ පැත්ත. ඒ වගේම දොස්තර උඹට කියන්නම ඕනේ කතාව කියලා නෑ...”
    අමල් ගේ හඩ සුළගේ පාවී යයි.
    “ ඒ මොකද්ද...? ” මා අසන්නේ කුතුහලයෙනි.
    “ ඇත්තටම දැන් ඔතන ඔය දොස්තරත් නෑ, ඩිස්පෙන්සරියත් නෑ, එදා අර කළු හරකා ඇවිත් තියෙන්නේ ඔතෙන්ට. දොස්තර ඌව පන්නගන්න හදනකොට හරකා දොස්තරට ඇනලා. ඔළුවටමයි ඇනලා තියෙන්නේ...දොස්තරත් එතැනම මළා....”
    “ මොනවා.....?? ” මගේ කටහඩ පිට නොවීය. කතා කරන්නට උත්සාහ කළ නමුත් වචන පිට නොවීය. මෙතෙක් වේලා අමල් ගේ උරහිසට අත් තබාගෙන සමබරතාවය රැකගෙන සිටි මම කුඩා දරුවෙක් මෙන් අමල්ව බදාගත්තෙමි. අමල් කිසිවක් නොකිවේය. අමල්ගේ සිරුර සීතලය. මා දෑස පියාගත්තෙමි. දැන් මට ඇසෙන්නේ සුළග කපාගෙන යන ස්කූටරයේ පුටු පුටු හඩ පමණි.
    මා දිගටම එසේ උන්නෙමි.
    විනාඩි කිහිපයකට පමණ පසුව ස්කුටරය නැවතුණි. මා දෑස් හැරියේය.
    හැමතැනම කළුවරය. තට්ටු නිවාස ගොඩනැගිල්ලක් ඉදිරියේ අප දැන් නතරවී සිටියි. මේ අමල් ගේ නිවෙස පිහිටි මහල් නිවාසසයි. නොදියුණු නගරයක වූ නොදියුණු මේ මහල් නිවාසයට ඉන්දියාවේ නතර වී අධ්‍යාපනයේ යෙදුණු කාලයේ කිහිපවතාවක් මා පැමිණ තිබෙයි.
    “ අර ලයිට් එක දාලා තියෙන්නේ අපේ ගෙදර, උඩට පලයන් අම්මා ඉන්නවා... මම මේ බයික් එක දාලා එන්නම්..”
    විදුලි සෝපානය ක්‍රියා නොකරයි. නිවාදමා තිබූ තරප්පු පෙළවල වූ විදුලි පහන් මා විසින්ම දල්වා ගනිමින් තෙවැනි මහලේ වූ අමල්ගේ නිවෙසට මා ඇවිද ගියේය. දොර සීනුව දෙවරක් නාද වූ පසු දොර විවෘත වූයේය. අමල්ගේ අම්මා පැමිණ දොර විවෘත කළාය.
    “කවුද....? ”
    අමල්ගේ අම්මා වැහැරී ගොසිනි.
    “ අම්මේ මම බණ්ඩාර. ලංකාවේ බණ්ඩාර....”
    එසැණින් ඇය මා හදුනාගෙන නිවෙසට ගත්තාය. මගෙන් සැප දුක් අසන්නටවත් ප්‍රමාද නොවූ ඈ හඩන්නට ගත්තාය.
    “ අනේ පුතේ බලන්න අමල් ට වෙච්ච දේ...” කියමින් වැළපෙන්නට වූ අමල්ගේ මව බිත්තියේ එල්ලා තිබූ පින්තූරයක් පෙන්වමින් නැවත හඩන්නට වූවාය. සුදු මල්මාලයක් දැමූ අමල්ගේ උඩුකය පින්තූරයක් රාමු කර බිත්තියේ එල්ලා තිබුණේය. මගේ කොදුඇට පෙළ හිරිවැටුණේ වාඩි වී සිටි තැනින් නැගිට ගන්නට නොහැකි ලෙසිනි. අමල්ගේ අම්මාගේ වැළපුම තවමත් ඇසෙයි.
    “ අනේ පුතේ , උන් එයාලව මැරුවා කරත්තකාරයෙක් හැප්පුවයි කියලා.. අයියෝ බලන්න වෙච්ච දේ...අනේ මගේ පුතා...”
    තමන් දුමරිය රියදුරෙක් වශයෙන් රැකියාව ලබන්නට පුහුණුවන බව අවසන් කාලයේ දවසක අමල් මට දන්වා එවාතිබූ බව මට එක්වරම සිහිවූයේය. තවමත් මා දොර දෙස බලා සිටියේ මගේ මිතුරු අමල් ජෝදා කොයි මොහොතක හෝ දොරෙන් මතුවේ යැයි යන බලාපොරොත්තුවෙනි. එහෙත් සුදු මල්මාලයක් පළදා බිත්තියේ එල්ලා තිබෙන අමල් ගේ පින්තූරය මට සත්‍යය පසක් කළේය.
    මා හොදහැටි හෙම්බත් වී සිටි නමුත් මෙතැන රැදී නොසිටිය යුතු යැයි මගේ සිත මට කීවේය. මා අමල්ගේ අම්මා ගේ වැළපුම මැද්දේම තරප්පු පෙළ බැසගෙන දිව ආවේය. මාර්ගයට පිවිසි මා දිගටම දිව්වේය. දිසාවක් නොදැන උමතුවෙන් මෙන් දිව යන්නට වූයේය. කලූ හරකාත්, මහලු මිනිසාත්, දොස්තර රාජ් පටෙලුත් මගේ දයාබර මිතුරා වූ අමල් ජෝදා ත් මා පසුපසින් යැයි සිතමින් දිව්වෙය. මගේ සිහිය විකල් ව තිබෙන්නට ඇත.
    මගේ දිවීම නතර වූයේ මා ඉදිරියට පැමිණි විශාල ආලෝකයක් මගේ ඇස් නිලංකාරකල පසුවය.
    එතැනින් පසු මට පියවි සිහිය ලැබුණේ චක්ලාගාන්දි පොලිස් ස්ථානයේදදීය.
    මගේ කතාවට සාවධානව කන්දී සිටි ස්ථානාධිපති වරයා මෙසේ පැවසීිය.
    “ මහත්තයා එදා අපේ ජීප් එකට නොහැප්පී බේරුණේ වාසනාවකට .
    ඇත්තටම බණ්ඩාර මහත්තයා. මෙහෙ චක්ලාගාන්දි වල රාජ්පුරම් කියලා ටවුමක් දැන් නැහැ. ඒක නිකං අතහැරලා දාපු සොහොන් පිට්ටනියක් වගේ. කරත්තකාරයාගේ සිද්ධියෙන් පස්සේ ලොකු කලබලයක් ඇතිවුණා ඒ පැත්තේ. කරත්තකාරයාගේ කුලේ මිනිස්සු මුළු ටවුමම ගිනි තිබ්බා. කෝච්චි ඩ්‍රැයිවර් ව මරලා දැම්මේ බයික් එකේ ගෙදර යනකොට.
    මහත්තයා ඔය කියන කෝච්චි ඩ්‍රයිවර්ගේ අම්මත් ඔය කලබල වලින් මැරුණා. මිනිස්සු හැමෝම ටවුම අතෑරලා ගියා. දැන් එහෙ කවුරුත් නෑ. මහ ආණ්ඩුව ලෑස්ති වෙන්නේ ටවුම කඩලා ක්‍රිකට් පිට්ටනියක් හදන්න...”
    මේ සිදුවීම සිදුවී දැන් අවුරැදු බොහෝ ගණනක් ගතවී ඇති අතර විජයපුරම් මතින් ගොඩනැගුණු සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩාංගනයක දිවා රාත්‍රී තරග පැවැත්වෙයි. සුප්‍රකට IPLතරඟ පැවැත්වෙයි. ප්‍රේකෂකයන්ගේ විජයග්‍රාහී ඝෝෂා මතින් මට මා පසුපසින් පැමිණි කළු හරකාගේ අහිංසක ආයාචනාකාරී බැල්මත්, මහලු මිනිසාගේ ජීවිතය ඉල්ලා යදින කෙදිරියත්, තරුණ දොස්තර රාජ් පටෙල් ගේ නිහඩකාරී ස්වරූපයත් මාගේ ආදරණිය මිතුරාත් සිහියට නැගෙයි.
    - චින්තක ටිකිරිබණ්ඩාර
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    හරකත් හොල්මන් කරත්ත කාරයත් හොල්මත් දොස්තරත් හොල්මන් අමලුත් හොල්මන් අමල්ගෙ අම්මත් හොල්මන් මුලු නගරෙත් හොල්මන්.කියවපු අපිත් හොල්මන්.

    ගුඩ් ස්ටෝරි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    මරු කතාව. නම දාන්න තිබුණෙ හොල්මන් හරක කියල නෙමෙයි හොල්මන් පුරය කියල...
    මම හිතුවෙ පොලිස් කාරයත් හොල්මනක් කියල...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මරු කතාව. නම දාන්න තිබුණෙ හොල්මන් හරක කියල නෙමෙයි හොල්මන් පුරය කියල...
    මම හිතුවෙ පොලිස් කාරයත් හොල්මනක් කියල...
    මේක මචං අඩයාලම ගෘප් එකේ තිබිලා ගත්ත එකක්. කතෘගෙ නම තියනවා අන්තිමට.
    ඔය නම දැම්මෙ මේකෙ කූතාඩි ටික දිගයි කියල දැක්ක ගමන් කියවන්නෙ නැති හින්දා. මේ කතාවෙ අමුතු ලල් එකක් තියන හින්දා මුන්ට මේක කියවන්න හිතෙන්න තමා දැම්මෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    මේක මචං අඩයාලම ගෘප් එකේ තිබිලා ගත්ත එකක්. කතෘගෙ නම තියනවා අන්තිමට.
    ඔය නම දැම්මෙ මේකෙ කූතාඩි ටික දිගයි කියල දැක්ක ගමන් කියවන්නෙ නැති හින්දා. මේ කතාවෙ අමුතු ලල් එකක් තියන හින්දා මුන්ට මේක කියවන්න හිතෙන්න තමා දැම්මෙ
    කතාවනං ලස්සනයි තමා...
    දිග වුණාට කියවන්න පුලුවන්...
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මරු කතාව. නම දාන්න තිබුණෙ හොල්මන් හරක කියල නෙමෙයි හොල්මන් පුරය කියල...
    මම හිතුවෙ පොලිස් කාරයත් හොල්මනක් කියල...
    කතාව එතනින් ඉස්සරහට ගියා නම් එහෙමත් වෙයි.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කතාව එතනින් ඉස්සරහට ගියා නම් එහෙමත් වෙයි.
    කතාව ඉස්සරහට ගියානං මේක දාපු මාත් හොල්මනක් වෙලා කියවපු උඹත් හොල්මනක් වෙලා නවතින්නෙ....