> ඔය පොතේ තියන්න සියල්ල ඒ අයුරින් පිලි ගන්න කියලා මම කියන්නේ නැහැ. කිවුවේත් නැහැ. විවිධ ස්වාමින් වහන්සේලා විවිධ අයුරින් පොතපත ලියනවා. ඒවා කියවලා ගත යුතු දෙයක් ගැනීම කියවන්නා සතු කාර්යක්.
ඇත්තටම ඔබ කියූ කරුණ තහවුරු කරන්න ඔබ උත්සාහ කිරිම අගය කිරීමක් ලෙසයි මම වැඩියමක් ලියුවේ. වැඩිපුර කරුණු ලියුවේ ඔබේත් අන් අයගේත්, මගේත් දහම් අවබෝධයට තවත් යම් රුකුලක් ලැබේවි යැයි සිතා.
ඉතින් මේ ලියන්නෙත් එලෙසම සිතා.
> නමුත් ත්‍රිපිටකයේ අඩංගු පිරිසිදු බුද්ධ දේශනා අවිවාදයකින් තොරවම පිළිගත යුතුයි. බෞද්ධයෙක් නම්. ඒ අනුව ඔබ කියන එක හරි.
මම නම් වෙන අය කියන දේ ගැන වුවත් විවාද කර පිළිගන්න හෝ ප්‍රතික්ශේප කරන්න පෙලබෙන්නේ නැහැ. මොකද බුදු පියානන් පවසා තිබෙනවා විවාදයට යන්න එපා කියලා.
නමුත් ත්‍රිපිටක දහම් වේවා, වෙන යම් අයෙක් කියන කරුනක් වේවා මම නම් නුවනින් විමසීමෙන්ම තමයි පිළිගන්නේ හෝ ප්‍රතික්ශේප කරන්නේ. එනිසා මම යමක් ත්‍රිපිටකයෙන් ගෙන හැර පෑවා නම් ඒ විමසීමකින් පසුවම තමයි (නැතුව ත්‍රිපිටකයේ තිබූ නිසාම නොවේ).
> මෙතන මෙහෙම කරුනකුත් තියනවා. යමෙක් සෝවාන් වෙලා නැත්තම් ඇත්තටම ඔහු සෝවාන් උනාට පස්සේ ලැබෙන, දකින දෙයක් ගැන වද වීම අනවශ්‍ය දෙයක්. සෝවාන් වෙන ඒක දැනෙන විදිහ, ලබපු කෙනා දන්නවා. ඉතින් නොලබපු අපි ඒ ගැන කරදර වීම තේරුමක් නැති දෙයක්..
මම නම් එහෙම හිතන්නේ නැහැ. අන් අයෙක් එසේ සිතීම සුදුසු යැයි හිතන්නේත් නැහැ. මොකද එවිට ඵල නොලබපු අය ඵල ලැබීම ගැන කරදර නොවී ලැබූ අය ලබපු දෙයක් ලබාගෙන හිටපුවාවේ, නොලැබූවන් ඊට කරදර වෙන්න උවමනා නැහැනේ කියා සිතුවොත් එයින් කියවෙන්නේ ඵල නොලැබූවන් නොලබාම සිටීම කමක් නැතැයි යන්නනේ. සෝවාන් ඵල වේවා වෙන යම් ඵලයක් වේවා එසේ "උනාට පස්සේ ලැබෙන, දකින දෙයක් ගැන වද වීම අනවශ්‍ය දෙයක්" ලෙස සැලකීම සුදුසු නැහැ. එහෙම වද වීම අනවශ්‍ය දෙයක් යැයි හිතනවානම් ඉතින් වෙන කුමකට වද වෙන්නද?
එනිසා ඵල නොලැබූවන් වඩ වඩාත් ඒ ගැන කරදර වෙත්වා (ලබා ගැනුමට, අවබෝධයට, පැහැදිලි බව ඇති කර ගැනීමට වීර්යය කරත්වා)!
> ඔය පොත මම පෙන්නුවේ, මම කි කරුණට නිදර්ශකයක් සඳහා පමණයි. එය පිළිගැනීම නොපිලි ගැනීම ඔබ සතු දෙයක් බව මා මුලිනුත් කිවුව. අනික මම ඔය කරුණ පිලි ගන්නවා සහ මම ඒක ප්‍රශ්නයක් කරගෙන නැහැ. මොකද මම සෝවාන් පලය ලබලා නැහැ නේ. ඉතින් ලබන්න තරම් වාසනාවක් තිබුනොත් ඔය කැරුණේ ඇත්ත නැත්ත තමුන්ටම බලා ගන්න පුළුවන්. ඒ නිසා මම ඕක ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ.
ඔබ පොත පෙන්වූවේ නිදර්ශකයක් ලෙස පමණයි බව මා දන්නවා. එය එසේ යැයි මා පිළිගෙනත් තිබෙනවා. මම ඉතින් ඔබ කියූ සහ පොතේ ඇති කාරනාව නොපිළිගන්නවා සේම මමත් ඒක ප්‍රශ්නයක් කරගෙන නැහැ.
මිත්‍රයා ඔබ සදහන් කරන්නේ සෝවාන් ඵල ලැබීමේ මිම්ම කුමක්දැයි කියා. මේ නිසා ඔබ ඔය විදිහට මිම්ම ගැන හිතුවොත් නොලබාම ලැබුනා යැයි හිතන්න පුළුවන්නේ. ඒ නිසා ඔබ මේ කියන කරුන ("ලබන්න තරම් වාසනාවක් තිබුනොත් ඔය කැරුණේ ඇත්ත නැත්ත තමුන්ටම බලා ගන්න පුළුවන්") නිවැරදි නැහැ.
> නමුත් ඔය පොතේ එක් කරුණක් පැහැදිලිව සඳහන් වෙනවා. ඒ තමා, "පලය ලබන භාවනායෝගියාගේ සිතේ පැහැදිලි විශාල වෙනසක් ඇති වෙනවා, ඒ අනුව පලය ලබපු කෙනා ඒ බව දැන ගන්නවා" කියලා. ඉතින් ඔබට ඒක පිළිගන්න වෙනවා නේ. අනික ඒ ප්‍රමාණවත් නේ. මොකද සක්කාය දිට්ටිය ප්‍රහාණය කල භාවනායෝගියා තුල අනිවාර්යෙන්ම කලින් පැවති සිතිවිලි පරම්පරාවට වඩා බොහෝ වෙනස් - පැහැදිලි ලෙසම වෙනස් සිතිවිලි දාමයක් ඇරඹෙන්න එපැයි. ඒ නිසා. එය දර්ශනයකින් තහවුරු වීම අතිරේක කරුණක්.
ඒ ප්‍රමාණවත් නැහැ මිත්‍රයා. මොකද හුදෙක් වෙනසක් පමණක් දැක එසේ කියන්න බැහැ. උදාහරනයකට සමාධි ධ්‍යාන ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ආදී ලෙසින් පවසා තිබෙනවා. මේවා දැනෙන ආකාර වෙනස්. ඒ ගැනත් සදහන්. ඉතින් කෙනෙක් ඔය එක් එක් වෙනසකට සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් කියා කියුවත් පටලැවිල්ලක්මනේ. ආර්යය ඵල ලැබීම පැත්තක තියමුකෝ. මේ යම් සමාධි ධ්‍යානයක් ලබා ගැනීම හොදයි කියා යෙමෙක් උත්සාහ ගත්තොත් හරියට ධ්‍යානාංග නොදන්නා විට තමා බලාපොරොත්තු වන දෙය ලැබුවාද, නොලැබුවාද යන්න තීරණය කර ගන්න බැරි වෙනවානේ.
> කොයි තරම් දුරට සාධාරණද නැද්ද දන්නේ නැහැ නමුත් මම ඔබ තුල දැකපු කරුණක් තියනවා. ඒ තම ඔබ පිරිසිදු බුද්ධ ධර්මය හැරුණු කොට වෙන කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් නොපිලි ගන්නා අයෙකු වීම. එය එක අතකින් හොඳයි. මොකද ඒ නිසා ඔබ වෙනත් අයෙක් කියන වැරදි දෙයක් අහලා නොමඟ යන්නේ නැහැ. ඒ වගේම අවාසියක් ලෙස, යමෙක් කියන නිවැරදි කරුනුත් ඔබට මඟ හැරේවි. ඇත්තෙන්ම ඔබ මා කියන දේ පිළිගතයුතු නැහැ. මොකද මම, ඔබ හඳුනන්නේත් නැති, දැකලත් නැති, මෙහි පැමිණ විස්තර සටහන් කරන්නෙකු පමණක් වීම. නමුත් ඔබට ඔය විදිහට නම් ඉදිරියටත් දිගටම කටයුතු කරන්නේ, ඔබට, ඔබේ ධර්ම මාර්ගය සාර්ථක කර ගන්න තරමක් අපහසු වෙයි. හේතුව කියන්නම්.
> භාවනයෝගියෙක් ධර්ම මාර්ගයේ හැසිරෙන විට, එහි සාර්ථකත්වය කරා යන ගමනේදී, ලබන සියලු අත්දැකීම් සුත්‍ර පිටකයේ සඳහන් වෙන්නේ නැහැ. ඒවායින් සමහර ඒවා ප්‍රයෝගිකව කිරීමෙන්ම පමණක් ඉගෙන ගන්නා දේවල්. ඒ වගේම ඒ ඒ පුද්ගලයන්ගේ මනසේ/කර්මයේ/පිනෙ ස්වභාවය අනුව ඒ ඒ අයට වෙනස් වෙන දේවල්. ඒ සියලු දේ සුත්‍ර පිටකයේ බුද්ධ දේශනා වල අන්තර්ගත නැහැ. එතකොට ඒවා දැන ගන්නේ කොහොමද? ඒවා දැනගන්න පුළුවන් වෙන්නේ බුද්දහමේ සඳහන් "කල්‍යාන මිත්‍ර ආශ්‍රයෙන්" පමණයි. එතකොට ඔය සම්බන්ධයෙන් දැන් ඉන්න හොඳම කල්‍යාන මිත්‍රයට තමා "ගුරුවරයා" කියන්නේ. භාවනායෝගියාගේ ගුරුවරයා.
මිතුර, ඔබ අසා ඇති බුදු පියානන් මුල, මැද, අග ගැලපෙන ලෙසත් පූර්ණ ලෙසත් දහම් දෙසා ඇති බව. ඉතින් ඔබ සිතුවානම් යමක් මට නොලැබී යනවා කියා, එනිසා මට තරමක් අපහසු වේවි කියා ඒ ඔබ සූත්‍ර පිටකයේ ඇත්තේ කුමක්ද, නැත්තේ කුමක්දැයි එතරම් අවබෝධයකින් නොකියන නිසා විය හැකියී. කොටින්ම කියනවානම් මම මේ ඔබ ලියා ඇති දෙයකට (මේ උඩින් තියෙන ඡේද දෙකගැන) මගේ අදහස් දානවානේ. ඉතින ඒ ගැනත් සූත්‍ර පිටකයේ සදහන්. ඔබ ලියා ඇති අනික් ඡේද ගැනත් එසේමයි. ඉතින් ඒ කරුණිනුත් ඔබ මේ සදහන් කරන දේ ගැන බුදු පියානන් පවසා ඇත්තේ කුමක්දැයි දන්නවා. ඔබ ඉන් පිට පනිනවානම් ඒ හැටිත් දන්නවා. මම බුදු පියානන් පැවසූ දේ විමසා බලා නිවැරදි බවින් පිළිගෙන එහිම රැදෙනවා. ඉතින් ඔබ හිතුවානම් මට අපහසු වේවි කියා ඒක නිවැරදි නැහැ.
මිතුර, බුදු දහමේ සදහන් කල්‍යාණ මිත්‍රයා කවුරුන්දැයි අදුනා ගන්න මට හැකියී. ඒ සද්ධර්මයේම සදහන් අංග පරික්ෂාවෙන්. ඉතින් මගේ උත්තරීතර කල්‍යාණ මිත්‍රයා ගෞතම බුදු පියානන් වහන්සේ. මම මේ ආශ්චර්යවත් පුද්ගලයාව දැක තිබෙනවා. කතා බහ කර නැහැ. මගේ උත්තරීතර කළ්‍යාණ මිත්‍රයාට නමස්කාර වේවා!
නමුත් මට මෙකල ඇති ගුරුවරුන් අතරින් අග්‍ර තැන් ලබන්නේ මා නිවැරදි මගට යොමුකරන්නේ මගේ උත්තරීතර කළ්‍යාණ මිත්‍රයා මා වෙත අනුකම්පාවෙන් මට දායාද කල සද්ධර්මයයි! ශ්‍රි සද්ධර්මයට නමස්කාර වේවා!
මිනුත් පසු මට ගුරුන් වන්නේ, කල්‍යාණ මිත්‍රයින් වන්නේ ආර්යය මාර්ගයට පිවිසෙන සහ පිවිසුනු, පිළිවෙත් සපුරණ, සෘජුව නිවන කරා යන අට ආකාර පුද්ගලයින්ගෙන් සමන්විත සංඝයායි. සංඝ රතනයට මාගේ නමස්කාරය වේවා!
මිතුර, ඔබ හිතනවාද මට අපහසු වේවි කියා? මට පැටලේවි කියා? මිතුර, සද්ධර්මය මගේ මෙකල උත්තරීතර ගුරුවරයා. මෙනිසා සංඝ රතනය අතපසුවීමකින් හෝ වැරදි මතයක් නිසා මාව නොමඟ යැව්වොත් ධම්ම රතනය මාව නිවැරදි කරනවා.
> කාලයාගේ ඇවෑමෙන්, මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරන්න තියන හැකියාව/පින එන්න එන්නම හීන වෙනවා. බුදුන් දවස වගේ නෙවේ දැන් කාලයේ නිවැරදි ගුරුවරයෙකුගෙන් තොරව මේ ධර්මය අවබෝධ කරන්න, ධර්ම මාර්ගය සාර්ථක කර ගන්න අමාරුයි. බැහැ කියලා නෙවේ කියන්නේ අපහසුයි කියලා. බොහෝ පිං ඇති අය පහල වෙනවා. ඒ අය ඉක්මනින් අවබෝධ කර ගන්නවා. නමුත් අපට අපි සතු ඒ පිනෙ ප්‍රමාණය දකින්න බැහැ. ඒ නිසයි සුදුසු ගුරුවරයෙකුගේ උපකාරය අවශ්‍ය වෙන්නේ.
ඔබ කියනා කරුන මමත් එසේම පිළිගන්නවා. එනිසා මම සද්ධර්මයම සුදුසු ගුරුවරයා ලෙස සලකනවා.
> භාවනා යෝගියෙකුට ඇතැම් අවස්ථාවල තමන්ට වරදින අවස්තාව හොයාගන්න බැහැ. නමුත් ඒක ගුරුවරයාට පෙනෙනවා. ඇතැම් විට ගුරුවරයෙක් නැතුව, ඒ වරදින තැන් හොයා ගන්න බැරි ඇතැම් අය, පසුව බොහෝ ප්‍රශ්න වලට ලක් වෙනවා.
ඒ කරුනත් මම එසේම පිළිගන්නවා. මගේ උත්තරීතර ගුරුන් වන සද්ධර්මය මා වරදින තැන් වලින් මුදවා ගත්තා. සංඝ රතනයේ අතපසුවීම් සහ වැරදි මතයන් නිසා මා විපිලිසර වීම වැලැක්වීමට සද්ධර්මයම මට පෙර සේම ඉදිරියටත් පිහිට වේවි.
> ඒ වගේම, ඔබට ඔබ තෝරා ගන්නා ගුරුවරයාව විශ්වාස කරන්න සිද්ද වෙනවා. මොකද ගුරුවරයාව සැක කරලා, ගුරුවරයාටත් වඩා පණ්ඩිත වෙලා ඔබට ඔය ගමන යන්න බැහැ. අන්න එතකොට ඔබ භාවනාවෙදී මුහුණ පාන ගැටළු වලට නිවැරදි විසඳුමක් ලැබෙන්නේ.
ඔව් මිතුර. මම සද්ධර්මයම විශ්වාස කරනවා. එයිට වඩා මම පණ්ඩිත වෙන්නේ නැහැ. නමුත් සමහර පටලවාගත් පණ්ඩිතයෝ මම මගේ උත්තරීතර සද්ධර්මයම ඔවුන්ට පෙන්වන විට මට පණ්ඩිතයායැයි පවසනවා. ඔවුන්ට හිතෙන්නේවත් නැහැ මම කරන්නේ මගේ උත්තරීතර ගුරුවරයා ඔවුන්ටත් මට සේම යහපතක් උදා කරදෙන නිසා ඔවුන් ගැන අනුකම්පාවෙන් මම ඔවුන්ව මගේ උත්තරීතර ගුරුවරයා කරා යොමුකරවීමමයි කරන්නේ කියා.
> අන්න ඒ නිසයි, ගුරුවරයෙක් යටතේ භාවනාව දියුණු කිරීම වැදගත් වන්නේ. නිවැරදි ගුරුවරයෙක් කරා යොමු වීම, තෝරා ගැනීම ඔබ සතු කාර්යක්. ඒකට ඔබේ දක්ෂකම, පින සහ වාසනාව උපකාර වේවි.
එයත් මම එලෙසින්ම පිළිගන්නවා. ඔබ කිව යුත්ත හොදින්ම කියා ඇති නිසා වෙන කියන්න දෙයක් නැහැ.
> යම් දවසක ඔබ ගුරුවරයාට සමාන තත්ත්වයකට පත් වේවි. අන්න එදායින් පසු ඔබට ඒ ගුරුවරයාගේ උපකාර අවශ්‍ය නොවේවි. එතෙන්දි ඔබට පුළුවන් ලැබුණු අත්දැකීමුත් උපයෝගී කරගෙන වෙනත් ගුරුවරයෙකු කරා යන්න. ඔබ තව දුරටත් අදාළ ගුරුවරයා යටතේම හිඳිමින් ඔහුගේ අදීක්ෂණය යටතේ භාවනාව ප්‍රගුණ කල යුතුද නැද්ද යන්න කිසියම් දිනක ගුරුවරයා විසින්ම ඔබට පවසාවි. අන්න එදාට ඔබ කැමති තීරණයක් ගන්න.
මගේ උත්තරීතර ගුරුවරයා හැම කල් මගේ ගුරුවරයා. මම කවදාවත්ම මගේ ගුරුවරයාට සමාන වන්නේ නැහැ. මම කවදාවත්ම මගේ ගුරුවරයා දාලා යන්නෙත් නැහැ (පූර්ණ නිවීම තෙක්). මගේ ගුරුවරයා කවදාවත් මට යන්න කියන්නෙත් නැහැ. නමුත් යම් දවසක ගුරුවරයාගේ යොමු කිරීම අවශ්‍ය නොවේවි යැයි හිතනවා. විශේෂ උපකාරයක් එවිට බලාපොරොත්තු නොවුනත් දහමින් පෝෂණය වූ මගේ ලේ පවතිනා තුරු ගුරුවරයාගේ උපකාරය නොමැතිව ඉන්නවා කියා කියන්නත් මම කැමති නැහැ.
> ඔබ භාවනාව දියුණු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් කාරණා කිහිපයක් කියන්නම්...
>
> 1. පිරිසිදු බුද්ධ ධර්මය.
> 2. දක්ෂ ගුරුවරයෙක්.
> 3. නිවැරදි/වැරදි දේ වෙන් වෙන්ව හඳුනා ගන්න ඔබේ ඇති දක්ෂකම.
> ------
> -----
>
> වගේ කරුණු ඔබට අනිවාර්යෙන් අවශ්‍ය වේවි. ඔබට පමණක් නෙවේ අපි හැමෝටම.
පළමු කරුණ සහ දෙවන කරුණ ඉතින් මට එකක්මනේ.
තුන් වන කරුන බුදු පියානන් පවසා ඇති ආකාරයටම මා තුළ පූර්ණ බවකින් පිහිටා තිබෙනවා.
නමුත් මගේ බලාපොරොත්තුව නම් භාවනාව දියුනු කිරීම නොවේ. ගමනක් යන්න වාහනයක් උවමනාද යන්නේ වාහනයේ යන්න තියෙන උවමනාවකට නොවන ආකාරයට තමයි මම භාවනාව සලකන්නේ.
> ඒ නිසා මේ වගේ forum වල දාන කරුණු වැදගත් වෙනවා තමයි, නමුත් භාවනාව සම්බන්ධ කරුණු කාරණා පිළිබඳව, තමන්ගේ ගුරුවරයා සමඟම සාකච්චා කරලා තීරණයකට එන්න. ගුරුවරයා සමඟ සාකච්චාවෙන් විසඳ ගන්න. මෙතන විවිධ අය පල කරන කරුණු නිකන් මතක තබා ගැනීම පමණක් කරන්න. මම මේ කියන්නේ භාවනාව සම්බන්ධ අත්දැකීම් හා පළපුරුදු සම්බන්ද කරුණු ගැන පමණයි. නැතුව සුත්‍ර පිටකයේ පැහැදිලිව සඳහන් වෙන බුද්ධ දේශනා පිළිබඳව නොවේ.
වරක් මට forum එකකදී මම නොදැන සිටි වැදගත් කරුණු කිහිපයක් කියාදුන් අයෙක් මුණ ගැසුනා. හිටි ගමන් ඉතින් එහෙම අය මුණ ගැහෙනවා. ඒ නිසා මට එහෙම අය ලැබෙනවාට මම කැමතියී. ඔබ උනත් අර පොත මට පෙන්වුවේ. ඉතින් මගේ අවබෝධයේ හැටියට මම හරිනම් හරි කියනවා, වැරදි නම් වැරදි කියනවා. එවිට හරි දේ හරි ලෙස අවබෝධ කර ගන්න හැමෝටම පොඩි හෝ රුකුලක් ලැබෙනවානේ. ඒ වගේම වැරදි දේ සාසනයෙන් බැහැර ලීමටත් පොඩි හෝ රුකුලක් ලැබෙනවානේ. එනිසා විවිධ අය පල කරන කරුණු නිකන් මතක තබා ගැනීමට වඩා වැඩි යමක් මම කරනවා.
> ඒ නිසා මේ කරුණ පිළිබඳව මා තව දුරටත් කරුණු දක්වන්න බලාපොරොත්තු වන්නේ නැහැ. මොකද අදාළ පලය නොලබා ඒ ගැන වාද කිරීම් නිෂ්පල සහ අනවශ්‍ය කරුණක් නිසා. මේවගේ කරුණක් මම සඳහන් කිරීමත් වැරදි. ඒකයි මා එය විස්තර නොකර ඉල්ලා අස්කර ගන්න තීරණය කලේ.
ඔබේ කැමැත්තක්. මම නම් වාද කිරිමක් ගැන හිතාගෙන කියුවා නොවෙයි. වාද කරලා මට දිනන්න දෙයක් නැහැ.
> ඉතින් ඔබේ සියලු ගැටළු වලට ඉක්මනින් පිළිතුරු සොයා ගැනීමට හැකි වේවායි මම පතනවා. තෙරුවන් සරණයි.
ඇත්තටම මේ forum එකේදී විසදාගන්න මට ගැටළුවක් තිබුනෙත් නැහැ, දැන් ඇත්තෙත් නැහැ. මගේත් අන් අයගේත් දහම් අවබෝධය වැඩි වන අයුරින් මා දන්නා දේ කීවා පමණයි. සද්ධර්මය කෙරෙහි අන් අයවත් යොමු කරා පමණයි. දහම් අවබෝධයට යොමු වන/නොවන අය කිනම් කරුනක් නිසා යොමු නොවෙනවාද, යම් පමණකින් හෝ පසුබට වෙනවාද, එසේ වන්නේ ඇයි යන්න තේරුම් ගැනීමත් මගේ එක් අරමුණක්. මේ ලිපියෙත් ප්‍රශ්න ලෙසින් ලියා ඇති වාක්‍ය තිබෙනවා. ඒ ඒවාට උත්තර ලබාගන්න අදහසින් නොවේ. ඒ කියවන අය යම් දෙයක් ගැන කල්පනා කෙරුමට යොමුකිරීමට පමණයි.
ඔබටත් තෙරුවන් සරණයි!
--
පියකර සතර බඹ විහරණ සිවු පෙදෙනි
වැර සැර නැණ යුවළ දළ දිලි දම් සොඩිනි
පුවතර තුමුල මත වරණිදුට නැගෙමිනි
මනහර සෙත් පුරට පැමිණෙව් සව් සතුනි