♥♥♥♥ බුලත් සහ කැවුම් ♥♥♥♥
බුලත් සහ කැවුම්
සිංහල අවුරුදු උදාවත් සමගම නිතැතින්ම සිහියට නැගෙන වර්ග දෙකක් වේ. ඒ බුලත් සහ කැවුම්ය.
අවුරුදු එන සංඥව ස්වභාව ධර්මය විසින් බක් මහේදී දක්වනු ලබයි. ඒ එරබදු මල් පිපීම හා කොහාගේ නාදයයි. මේ අතර ගැමි ගෙවල තෙලෙන් බැදෙන කැවුමේ සුවඳත් දස අත පැතිරී යනු ඇත. සිංහලයාගේ දිවියට මෙම වර්ග දෙකම බැඳී පවත්නා අතර ඒ හා වෙලුන රසවත් ඉතිහාසයක් ද වේ.
කැවුම් හා බද්ධ වූ ජන වහර ද කැවුම් සේ මිහිරිය රසවත්ය. හද පිනා යන සුළුය.
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා. බොහෝ ප්‍රකට එකකි. සිංහලයාගේ රස කැවිලි අතර කැවුම ප්‍රධාන බව මෙයින් කියෑවේ. එදා ගමේ කැවුම් වර්ග කීපයක් විය. මුං කැවුම්, කොණ්ඩ කැවුම්, හැඳි කැවුම් පෙණ කැවුම්, දිය කැවුම්, මල් කැවුම්, උතු පු, කබල පු (පු යනුද කැවුම් හැඳින්වීමට යෙදේ) මේ ආදී වශයෙන් එදා කැවුම් වර්ග රාශියක් හැදීමට ගැමි ලිය දැන සිටියාය.
සිංහල රජ කාලේ කැවිලි අතුරින් කැවුම රාජ සභාව දක්වා පැමිණ තිබිණි. පැණි හකුරු මුසු කොට ගිතෙලින් බැදි කැවුම් වර්ගයක් ගැන එකල පතළ විය.
බෞද්ධ ජාතක කතා සේම කාව්‍ය ග්රන්ථ රැසකම කැවුම් ගැන සඳහන්ය. මෙහි ප්‍රකටම ජාතක කතා දෙකක් වේ. එකක් කුස ජාතකයයි. දෙවැන්න ඉල්ලීස ජාතකය වේ. කුස ජාතකයේදී ධීර වීර ගුණයෙන් යුක්ත කුස රජු දැඩි විරූපියෙක් වූයේ පසේ බුදුරදුන්ට පිදූ කැවුම් පාත්‍රයෙන් උදුරාගත් නිසාය.
ස්වාමීනි නුඹ සතු කැවුම් පසේ බුදුන්ට පිළිගැන්වීම් පින් අනුමෝදන් වුව මැනැවැ කී කල බෝධිසත්වයෝ තොප සන්තක කොටස කා පියා මාගේ කොටස දන් දෙන්නට කාරණා කිම් දැයි කිපී ලුහුබැඳවා ගොසින් පසේ බුදුන්ගේ පාත්‍රයේ තිබූ කැවුම් ඇරගත්තුය. (කුස ජාතකය)
කව් සිළුමිණ මහා කාව්‍යයට වස්තු බීජය වූ මේ පුවත කුස රජුගේ දැඩි විරූපී බව පසන් කරයි. ඒ මහා කාව්‍ය රීතිය අනුවය. කුසගේ කැවුම් මූණ කව් සිළුමිණේදී දම් මුහුණ එනම් දැවුණු මූණ යනුවෙන් දක්වයි.
අලගියන්න මුකවැටිතුමාගේ කුසදා කව මෙය විග්රහ කරන්නේ වෙනත් අයුරකිනි.
පසේ මුනි සඳු ගෙන
කැවුම් ගත්තෙන් සරොසින
කුස ගිනිඳු ගෙවුවන
විසුළු වූ බව දනුව එපවින
ඉල්ලීස ජාතකයේ වර්තමාන කතාවේ එන මච්ජරිය කෝසිය සිටුවරයා අධික ලෝභියෙකි. ඔහු රාජ්‍ය සේවයට ගොස් ආපසු එද්දී දනවු වැසි මනුෂ්‍යයෙකු කොමුයෙන් පිරුණා වූ කබල්ලක් කනු දකියි. මෙහි කොමුයෙන් යන පැණි වැගිරෙන කැවුමකි. මේ ගැන සිතා කැවුම් කෑම හුදෙකලාව කරන්නට ඔහු සිතයි. එහෙත් මුගලන් හිමියන් මේ කැවුම් පිසින උඩුමහලට සෘද්ධිබලයෙන් පැමිණේ. මෙය බුදුරදුන්ගේ නියමයෙන් සිදු වේ.
මම අද පන්සීයක් භික්ෂූන් සමග විහාරයෙහිම හිඳිමි. ඒ කබල්ලක පූපයෙන්ම ආහාර කෘත්‍යය කරමි.
මුගලන් හිමියන්ට බුදු හිමියෝ මෙසේ පැවසූහ. අවසානයේ ඔහුගේ විෂම ලෝභකම විනාශවී පිසින ලද සියලුම කැවුම් මුගලන් හිමියන්ට මහත් බැතියෙන් පිරිනමයි.
සොඳුර මට පූපයෙන් කම් නැත, පෙට්ටිය පිටින්ම මේ භික්ෂුවට දීපියව යෑයි කිවූය.
නුවණට අධිපති ගණදෙවි පිදීමේදී ද කැවුම් එම පූජා භාණ්ඩ වට්ටෝරුවට අයත් විය.
කිරි දී වෙඬරු දී පස්ගෝ රසිනා
උඳු මුං තල මෑ කරලින් සොබනා
මේ නම් කැවුමෙන් නිති පුද ලබනා
දෙන් මට නුවණක් ගණදෙවි යෙහෙනා
සිංහල අවුරුද්දට එදා රබාන ප්‍රධාන වාද්‍ය භාණ්ඩයක් විය. එක් රබන් පදයක කැවුම් ගැන මෙසේ කියෑවේ.
නැන්දයි ලේලිය කැවුම්
උයන්නට ලිග්ගල මුල්ලේ
ඉඳගත්තා
ලේලි කැවුම් දෙක තුනක්
හොරෙන් ගෙන කිහිල්ල අස්සේ
ගහගත්තා
අපේ රටේ නම් නැටුම් මෙහෙමයෑයි
ලේලී කිහිලි තද කර ගත්තා
සිංහල කැවිලි අතර කැවුමට හිමිවන්නේ වැදගත් තැනකි. එම නිසා ප්‍රස්තාව පිරුළු රැසක් කැවුම වටා ගෙතී ඇත.
ඇඳිරි ගෙට කැවුම් දික් කරන්නා සේ
පුස් කෑ පැණි කැවුමක් සේ
තෙල් පැණි ඇත්නම් කැවුම්ද පඤ්ඤං
කැවුම් පෙත්තක් වටකරගෙන සිටින කුහුඹු රැලක් මෙන්
කැවුම් කන්න ගිහින් නිකං ආවා වගේ
කැවුම් කාපු රිහි යයි
පුංචි අම්මත් ඇවිත් කැවුම් පුංචි කළා වගේ
එදා ඉවුම් පිහුම් ක්‍රම අතර කදිම අතුරු පසක් වූයේ කැවුම්ය.
තෙල් දමලා බටු බැදුමක් උයාපන්
කිරි දාලා අළුරඹ කැන් උයාපන්
තෙලෙන් කිරෙන් මාලුවකුත් උයාපන්
රෑට බතට කැවුම් කිරි පැණි උයාපන්
රොබට් නොක්ස් කැවුම් ගැන මෙසේ ලියා ඇත.
ඔවුන්ගේ රස කැවිලි විවිධය. එම රස කැවිලි අතර ප්‍රධාන තැනක් ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලි කොට තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනී.
රාජසිංහ රජ ලන්දේසීන් උදෙසා කළ එක් භෝජන සංග්‍රහයකදී අතුරු පස වූයේ කැවුම්ය. කිසි දිනෙක කැවුම් නොදුටු ලන්දේසින් ඒවා මහත් ගිජු ලෙස ගිල දමා මේවා කඩා ගත්තේ මොන ගසකින්දැයි විමසා ඇත.
උමංදාවේ කැවුම් ගැන රසැති කතා කීපයක් වේ.
සත් අවුරුද්දක් කඹුට ලබාගත් තම රුවැති අඹු සිඟිත්ත සමග කාලගෝල දික්තල ගේ මාපියන් බැලීමට ගියේ කැවුම් උයා පෙට්ටියක දා බැඳගෙනය. එසේම දික්පිටියා දික්තලා සමග යන විට ගියේ එම කැවුම් කමින්ය.
අමරාදේවිය සහල් නැළියෙන් පිසූ බොහෝ දේ අතර කැවුම් ද විය.
පූජාවලියේ අනුරුද්ධ කුමරු නැති කැවුම් ඉල්ලන ඇවිටිල්ල ද රසවත් කතාවකි. පරදින හැම වාරයකම විරුද්ධ පිළට කැවුම් දිය යුතු විය. අනුරුද්ධ කුමරු යස ඉසුරින් පිරි පවුලක දරුවෙක් නිසා නැත යන අදහස නොදනී. ඔහුගේ මව කීප විටක්ම සිය සුරතල් පුතාගේ ඉල්ලීම ඉටු කරයි. එහෙත් කැවුම් දී අවසන් වූ නැති බව කීය. එසේ නම් මට නැති කැවුම් දෙන්න යෑයි ඔහු මවගෙන් ඉල්ලා සිටියි.
ථූපවංසයට අනුව දුටුගැමුණු රජතුමා මහ සෑ වැඩ කළ කම්කරුවන්ට පැණි කැවුමෙන් සංග්‍රහ කර ඇත. උණු කැවුමක් කෑමේදී ලද උපදෙස් අනුව පණ්ඩුකාභය වසභ වැනි රජවරු තම ආක්‍රමණ සාර්ථක කරගත් බව ජන කතාවල දැක්වෙයි.
මෙම අතිරැසැති ප්ර්රණිත කැවිලි වර්ගය අනාදිමත් කාලයක සිට ජන ජීවිතයට සමීප නොමඳ රසයක් ලබාදෙන බව කිව යුතුය.
සිංහලයා හැම උත්සවයකදීම ප්‍රමුඛස්ථානය දෙන්නේ බුලත්වලටය. බුලත් අත ඉතා ප්‍රබල පිළිගැනීමක් සංකේතවත් කරයි. එය සිංහලකමේ ලකුණකි. රාජ රාජ මහාමාත්‍ය ආදීහු පිළිගනු ලබන්නේ බුලත් අත දෝතට දීමෙන් වෙති.
දැහැත් පූජාව බෞද්ධයන් සියලු පින්කම්වලදී යොදා ගනී. බුලත් විටකින් සංග්‍රහ කිරීම උසස්ම පිළිගැනීමකි. චාරිත්රයකි. පිරිතට, තොවිලයට, මංගල්‍යයට, පෙරේත තටුවට, දානයට, අවමංගල්‍යයට, කුඹුරට- කමතට, ත්‍යාග දීමට, සමාව ගැනීමට මේ ආදී බොහෝ දේට සිංහලයා බුලත් යොදාගෙන ඇත.
බුලත්වලට නාගවල්ලි නමක් වේ. එයට හේතුව බුලත් උපත ලැබුවේ නා ලොවේ වීමයි. නා ලොවේ සිටි නාගයා එය සිය මුඛයෙන් ගෙන මනුලොවට පැමිණියේය. එම නිසා සිංහල ගැමියා බුලත් කොලය කෑමට ගැනීමේදී එහි අගත් මුලත් කඩා විසිකර කයි. එයට හේතුව නාග විස එහි අග මුල ඇතැයි යන විශ්වාසයයි.
ශිලා ලේඛන කීපයකම බුලත් ගැන සඳහන්ය.
බදුලු හෝපිටිගමු ශිලා ලේඛනයේ බුලත් පුවක් මණ්ඩපයේ තබා විකුණනු කොට ඉස නොතැනZZ යනාදී වශයෙන් සඳහන්ය.
10 සියවසේ එප්පාවල සෙල්ලිපියේ කෑම බීම ගැන සඳහන් වන තැන බුලත් ගැනද දක්වා ඇත.
හිඳුන්, සසරු පැසවි එක් යහලක් ඉසා ලුණු දෙපැලක්
ඉසා වියළි දෙං උන්දේ, පුවක්
බුලත් ස්කලයෙන් දෙ අතක් ඉසා....
කව් සිළුමිණ කතුවරයා එදා පබවත ගේ රුසිරු මුහුණට ගැසුවේ කෙළ නොව බුලත් හපයයි - පවසා ඇත.
වැලපින් ඉති සරත
පබවත වත පියුම් හි
කාව්‍යශේඛර මහාකාව්‍යය රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ බුලතින් රත් පැහැ ගැන්වුණු තරුණියන්ගේ දෙතොල ගැන කියන්නේ එයින් මුහුණේ සිරියාව වැඩි කළ බවකි.
කපුරු බුලතින් රත්
ලවනත වතල පැහැපත්
පියුම්රා මිණි වත්
දසන් අග මදහසින් සිත් ගත්
ජනකවියා බුලත් ගැන විවිධ අර්ථ සපයා ඇත. තේරවිලි කවියේ ද ජන කවියා බුලත් දුටුවේ නවතාවයෙනි.
කඳේ නිමල් කඳේ නිමල් කඳේ නී
ගින්නේ නොලා කෑ කඳටයි තිරේනී
යනෙනා ගමන තද සයුරේ බලෙනී
සන්නේ තුනයි තෝරාපන් බෑණනණී
මෙයට පිළිතුර දෙන බෑනා එය බුලත් බ ව නොසඟවා පවසයි.
පෙරත් නාග ලොව සිටවද ආවේ
දලුත් කඩා දැම්මයි පැළ උනාවේ
දියත් ඇදලාම ඒ වැල වැවීමේ
බුලත් වලට කිව් සන්නේද මාමේ
බුලත් විටට කපුරු ඇතුළු සරක්කු යෙදීමෙන් එහි රසය දෙගුණ වන අයුරු ගණදෙවි හෑල්ලේ දැක්වේ.
මුව සුද්දකර එවිට - වළඳවා සතුටු කොට කපුරු බුලතුත් සොඳට
ළමා කෙළි සැහැලි වලද බුලත් අමතක කර නැත.
දොරකඩ ගහේ පුවාක් - පුවාක්
බට පඳුරේ බුලාත් බුලාත්
ඇතැම් විට ගැමියන්ට කොතෙක් රසවත් ආහාර පාන දුන්නද බුලත් නැතිනම් එය නෝක්කාඩුවකට හේතු වේ.
කන්න අපට බත් දුන්නා
බොන්න වතුර ගෙන දුන්නා
කන්න බුලත් නැත ගෙන්නා
යන්න ගමට සිහිවෙන්නා
බුලත් සහ කැවුම් සිංහල අවුරුද්දේ සිරියාව වඩවයි. කොහාගේ නාදයත් සමග උදාවන සිංහල අවුරුද්ද කැවුම් නිසා වඩාත් ප්‍රණීත වන අතර බුලත් නිසා සුහදත්වය වඩවයි.