ශ්රී ලංකා පිල අඛණ්ඩව තරග පරදිනවා. ක්රිකට් කඩා වැටිලා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඔබ එයට ප්රධාන හේතුව ලෙස දකින්නේ මොකක්ද?
මම ප්රධානම දේ හැටියට දකින්නේ තේරීම් පිළිබඳව තිබෙන ප්රශ්නයයි. තේරීම් කමිටුව කිසිදු සැලසුමක් වගේම දැක්මක් නැතුව තවත් විදියකට කියනවා නම් අනාගතය බලන්නෙ නැතුව තීරණය අරන් තියෙනවා.
දිනේෂ් චන්දිමාල් එක්දින පිලේ ඉන්නම ඕනේ. ඔහුට හැකියාව තිබෙනවා එක්දින තරගයක ඕවර 50 බැට් කරලා ගේම් එක තියා ගන්න. ඕවර 50 හෝ 20 හෝ ඉතාම වැදගත් දේ තමයි කඩුල්ලේ රැඳී සිටීම. පසුපෙළට නිදහසේ ලකුණු රැස්කරන්න නම් ඉදිරි පෙළ හොඳ පිතිකරුවො ඉන්න ඕනේ. චන්දිමාල් නැති එක පළමු ප්රශ්නය.
දෙවැනි එක තමයි අපේ පන්දු යැවීමේ අංශය. ඉතාමත් හොඳ පන්දු යවන්නන් දෙදෙනෙක් වන වැන්ඩසේ සහ තරිඳු කෞෂාල් සංචිතයේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. අපිට ඕනේ කඩුලු දවාගන්න පුළුවන් පන්දු යවන්නො. මේ දෙන්නට කඩුලු දවාගන්න පුළුවන්. ලකුණු 50 දීලා කඩුල්ලක් දවාගන්න බැරි නම් වැඩක් නෑ. සීමිත ඕවර තරගයක වුණත් කඩුලු දවාගන්න පන්දු යවන්නෝ ඕනේ. ටෙස්ට් ක්රිකට්වලට එය වඩාත් වැදගත්.
මම දකින විදියට අපේ තේරීම් ක්රමවේදයේ ගොඩක් ප්රශ්න තියෙනවා. බලපෑම් තියෙනවා නම් ඉවත් වෙන්න ඕනේ. මම තේරීම් කමිටු සභාපතිවරයාව ඉඳලා ඉවත් වුණා. අද අපි ඒවා දකින්නේ නෑ. අද අස්වෙන කාලයක් නොවෙයි.