අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් කොටසක් හෙට දිවුරුම් දෙන්නට නියමිතය. මෙවර සම්පූර්ණ ඇමති ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20 කට සීමා කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහගේ අගමැති තනතුර යටතේ අමාත්‍ය ධූර භාරගන්නට කැමති බව දන්වා සිටීමෙන් පසු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනද සංචාරක අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංගද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකරද දිවුරුම් දීමට නියමිතය.
දිනේෂ් පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හා ප්‍රසන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වීම හේතු කරගෙන ඇමති ධූරයක් දැරීම අවශ්‍යවී ඇත.
අත්‍යවශ්‍ය අමාත්‍යධුර මුලින් පත් කර අනතුරුව සෙසු අමාත්‍යංශ පත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුව ලබන සතියේ පැවැත්වීමෙන් පසුව පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉවත්වී එජාපයේ අය ඒ වෙනුවට මන්ත්‍රීවරුන් ලෙස පත්වනු ඇති බවත් පසුව ඔවුන් ඇමති ධූර වලට පත්වනු ඇති බවත් විශ්වාස කෙරේ.ඒ අනුව අකිල විරාජ්, වජිර අබේවර්ධන,සාගල රත්නායක, රංගේ බණ්ඩාර, රුවන් විජේවර්ධන ආදීන් දෙවැනි වටයේ ඇමතිවරුන් බවට පත්වන්නට ඉඩක් පවතී.
මේ අනුව මුලින් ඇමති ධූර ගන්නා 5 නුත් දෙවනුව ඇමති ධූර ගන්නා 5 නුත් පසු තවත් 10 දෙනෙකුගේ පුරප්පාඩු පවතින අතර ඒ සඳහා ශ්‍රීලනිප හා සජබෙන් හැලී එන අය ඇමතිධූර ලබාගන්නට නියමිතය.
නිර්පාක්ෂික බුද්ධිමතුන් ජාතික ලැයිස්තුවෙන් ගෙන්නාගෙන හෝ ඇමති ධූර ලබාදිය යුතුය යනුවෙන් අරගලයට සම්බන්ධ අය හා මහා සංඝරත්නය ඇතුළු අය ගෙනා ධනාත්මක යෝජනා මෙහිදී සැලකිල්ලට ගන්නා බවත් තවම වාර්තා නොවේ.
අගමැති වන්නට පෙර රනිල් වික්‍රමසිංහ ජනපති හමුවී කොන්දේසි ලෙස ඉදිරිපත් කළ එකම ඉල්ලීම තමන්ගේ බහුතරය සකසා දෙන්නැයි කළ ආයාචනය බවට වාර්තා පළව තිබෙන අතර තමන්ගේ බුද්ධිය තුළින් සියලු ප්‍රශ්න විසඳාදිය හැකිය යන අධි තක්සේරු අදහසක් ලබාදී ඇතැයිද වාර්තාවී තිබුණි.එම පසුබිම තුළ රනිල් සියල්ල මෙහෙයවමින් කණ්ඩායම ලවා වැඩගන්නා ආකාරයක් නව ආණ්ඩුවේ ව්‍යුහය ලෙස පෙන්නුම් කරයි.මෙවර ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිත අතර ඒ සඳහා පොදු ජන පෙරමුණේ, ශ්‍රීලනිපයෙන් හැලී එන හා සජබයෙන් හැලී එන අය නම් කිරීමට නියමිත බවද වාර්තාවේ.

