🔴THE LAST OF US - දිලීරයකට මිනිසුන් සොම්බීන් කළ හැකි ද?🔴

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    මේ දිනවල බොහෝදෙනා අතර ජනප්‍රිය වූ ටෙලිකතා මාලාවක් HBO ඔස්සේ විකාශය වෙනවා. “The Last of Us” යනුවෙන් හැඳින්වෙන මෙම ටෙලිකතා මාලාව, එනමින් ම ඇති පරිගණක ක්‍රීඩාවක් මත පදනම් වී ඇති බැවින්, විශාල රසික පිරිසක් ඒ වටා ගොඩ නැඟුණා. “The Last of Us”, අතිශය ව්‍යසනකාරී සිදුවීමකින් පසු අවධිය (post-apocalyptic) පදනම් කර ගත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි යි.

    the_last_of_us-1024x1024.jpg
    “The Last of Us” කතා මාලාවේ එන දර්ශනයක් – www.polygon.com
    ව්‍යසනයට පසුබිම් වන්නේ එක්තරා දිලීර කාණ්ඩයක්. එම දිලීර ආසාදනය හේතුවෙන් මිනිසුන් සොම්බීන් බවට පරිවර්තනය වීමක් සිදුවන අතර, දිලීරයත් සමඟ ආසාදිතයා නිරූපද්‍රිත ව ජීවත් වන කාලය අනුව ආසාදිතයා ගේ ගති ලක්ෂණ සහ හැසිරීම් පවා වෙනස් වෙනවා.

    ටෙලිකතා මාලාව ඔබ දැනටමත් නරඹමින් සිටිනවා නම් හෝ කතාවට පාදක වූ පරිගණක ක්‍රීඩාව ක්‍රීඩා කර ඇත්නම්, මෙවැනි භයානක පරපෝෂී දිලීර, නිර්මාණවලට පමණක් සීමා වූ හුදු ප්‍රබන්ධයක්යැ යි සිතෙන්නට පුළුවන්. එහෙත්, “The Last of Us” හරහා හමුවන මේ දිලීරය අර්ධ සත්‍යයක් ලෙස යෝජනා කිරීමට අපට සිදු වෙනවා!

    ඒ වුණාට කලබල වෙන්න එපා!

    “The Last of Us” පරිගණක ක්‍රීඩාවේ නිර්මාතෘවරුන් මේ සොම්බි දිලීරය සඳහා මූලික අදහස ලබා ගත්තේ පෘථිවියේ සත්‍ය වශයෙන් ම ජීවත් වන “කෝඩිසෙප්ස්” නම් දීලිර කාණ්ඩය පදනම් කර ගනිමින්.

    කුහුඹුවන් ආසාදනය කරමින් ජීවත් වූ “කෝඩිසෙප්ස්” දිලීර, කිසියම් ජාන විකෘතියක් හරහා මිනිසුන් ආසාදනය කිරීමට තරම් දියුණු වූ ආකාරයෙන් ප්‍රබන්ධගත කිරීමක් “The Last of Us” හි සිදු වෙනවා. ටෙලිකතා මාලාවේ පසුබිම එක්තරා අන්දමක අර්ධ සත්‍යයක් ලෙස අප පැවසුවේ ඒ නිසා යි.

    xuZxf5q2RPGAaWpL94EBP5-1024x576.jpg
    පෙඩ්‍රෝ පැස්කල් ගේ රංගනයත් ප්‍රසාදයට පත් වෙමින් තිබෙනවා – www.tomsguide.com
    “කෝඩිසෙප්ස්” යනු කුහුඹුවන් සොම්බීකරණයට ලක් කරන දිලීරයක් බව දැන් ඔබට පැහැදිලි යි. නමුත්, එවැනි දිලීරයකට මිනිසකු ආසාදනය කිරීම දක්වා පරිණාමික ව දියුණු විය හැකි ද?

    මේ ගැටලුවට අදාළ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කිරීමට මත්තෙන් අපි “කෝඩිසෙප්ස්” දිලීරය ක්‍රියාත්මක වන අන්දම සොයා බලමු.

    Ophiocordyceps unilateralis​

    “කෝඩිසෙප්ස්” යනු තරමක් පුළුල් පරපෝෂී දිලීර කාණ්ඩයක්. මෙම කාණ්ඩයේ සිටින සාමාජිකයන් යම්කිසි කෘමීන් විශේෂයක් හෝ කෘමී ගණයක් ආසාදනය කිරීම සඳහා පරිණාමික ව හැඩගැසී තිබුණත්, සියලු දෙනාට ම සොම්බීන් ආකාරයෙන් ධාරකයාගේ සිරුර පාලනය කිරීමේ හැකියාව නැහැ.

    එම හැකියාව ඇත්තේ “ඔෆියෝකෝඩිසෙප්ස් (Ophiocordyceps)” ලෙස හඳුන්වන දිලීර ගණයට පමණ යි. “The Last of Us” හි නිර්මාණකරුවන් සිය ප්‍රබන්ධයට අවශ්‍ය ආභාසය Ophiocordyceps unilateralis නම් දිලීර විශේෂය හරහා ලබා ගත් බව පැවසෙනවා. මේ දිලීරය “බුලට් කුහුඹුවන්” සොම්බීකරණය කිරීම සඳහා පරිණාමික ව දියුණු වී ඇති විශේෂයක්.

    3787b5e3b8b44b24c1d048e6341c85ba.jpg
    දිලීරය නිසා ඉරණම විසඳුණු කුහුඹුවෙක් – www.pinterest.com
    කුහුඹු ජනපදයක සිටින නිරෝගී කුහුඹුවන් ඉතා කඩිසර ව සිය ජනපදයේ උන්නතිය වෙනුවෙන් වෙහෙසෙනවා. ජනපදයෙන් පිටත විශාල වපසරියක ඔවුන්ට සැරි සරන්නට සිදු වන්නේ එහි ප්‍රතිපලයක් වශයෙන්. මෙවැනි කුහුඹුවන් ඔෆියොකෝඩිසෙප්ස් දිලීරයකින් මුදා හැරි බීජාණු වෙත නිරාවරණය වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

    එම බීජාණු කුහුඹුවාගේ මුඛය වැනි බාහිරට විවෘත වූ ව්‍යුහයක් මඟින් සිරුරට ඇතුළු වීමෙන් පසු දිලීරය සිය මාරාන්තික ආක්‍රමණය අරඹන අතර, කුහුඹු සිරුරෙන් පෝෂණය ලබමින් සිය සෛල ගුණනය කර ගැනීමට දිලීරය ක්‍රියා කරනවා. කුහුඹුවා ගේ ශරීර ස්කන්ධය මෙන් අඩකට ආසන්න ස්කන්ධයකින් යුතු දිලීර සෛල වර්ධනය වීමට තරම් මෙම ආක්‍රමණය බලවත්!

    මාරාන්තික ජීවන චක්‍රය​

    දිලීර සෛල මඟින් කුහුඹුවා ගේ මොළයට යම් බලපෑමක් එල්ල කරන අතර, එමඟින් කුහුඹුවාට තම ස්වයං පාලනය අහිමි වී දිලීරයේ පාලනයට නතු වෙනවා. එතැන් පටන් කුහුඹුවා කැප වන්නේ දිලීරයේ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීම සඳහා පමණ යි. සිය ජීවිතයේ අවසාන භාගය එළඹෙන විට ජනපදයෙන් සමු ගන්නා ආසාදිත කුහුඹුවා, අසල තිබෙන ගසක හොඳින් හිරු එළිය සහ සුළඟ හමන උස් ශාඛාවක් තෝරා ගන්නවා. එම ශාඛාවේ පත්‍ර‍යක් ඉදිරිපස හනුවලින් තදින් අල්ලා ගත් පසු කුහුඹුවා සිය ජීවිතයට සමු දෙනවා.

    original-1024x674.jpg
    “Ophiocordyceps” දිලීර වර්ග එක් එක් කෘමී විශේෂ සඳහා පරපෝෂීතාවය දක්වනවා – www.inaturalist.org
    මෙවැනි මෙහෙයවීමක් දිලීරය සිදු කරන්නේ තමාට අවශ්‍ය ප්‍රශස්ත පරිසරය සොයා ගැනීම සඳහා යි. ආර්ද්‍රතාව සහ උෂ්ණත්වය යහපත් තැනක කුහුඹුවා මියැදෙන බැවින්, දිලීරයට සිය ජීවන චක්‍රයේ ඊළඟ අවස්ථාවට පිවිසීමේ අවකාශය උදා වෙනවා. අවසාන පියවර වශයෙන් මෙතෙක් අභ්‍යන්තර ආසාදනයක් ලෙස පැවති දිලීරය, කුහුඹුවා ගේ හිස හෝ උරස ප්‍රදේශයෙන් ශරීරයේ පිටත සැකිල්ල සිදුරු කර ගෙන වෘන්තයක් ආකාරයෙන් බාහිර පරිසරයට පිවිසෙනවා. එම දිලීර වෘන්තයේ බීජාණු නිපදවෙන අතර, සුළඟ හමුවේ බීජාණු විශාල වපසරියක පැතිරෙන බැවින්, දිලීරය තම පැවැත්ම සාර්ථක ලෙස තහවුරු කර ගන්නවා.

    ‘ඔෆියෝකෝඩිසෙප්ස්’ ආසාදිතයෙක් පාලනය කරන්නේ කෙසේ ද?​

    ඉහත ගැටලුවට පැහැදිලි පිළිතුරක් නොමැති වුවත්, ආසාදිතයා ගේ ස්නායු පද්ධතියේ පාලනය පැහැර ගැනීමක් දිලීරය සිදු කරන බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඒ හරහා තමාට අවශ්‍ය පරිදි ආසාදිත සිරුරේ මාංශ පේශී චලනය කිරීමේ අවස්ථාව දිලීරයට උදාවන බව සිතිය හැකි යි.

    ස්නායු පද්ධතිය යටත් කර ගැනීමට නම්, ආසාදිතයා ගේ මොළය වටා දිලීර සෛල වර්ධනය වීමත් සිදුවිය යුතු යි. කෙසේ නමුත්, වෙනත් සතකු ගේ මොළය වටා ආගන්තුක සෛල පහසුවෙන් වර්ධනය වන්නේ නැහැ. එවැනි ක්‍රියාවලියක් සිදු කිරීමට නම් පරපෝෂිතයාට (මෙහි දී දිලීරය) ආසාදිතයා ගේ DNA වෙනස් කිරීමක් හෝ වෙනත් රසායනික බලපෑමක් සිදු කිරීමේ හැකියාව තිබිය යුතු යි. මේ කාරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත පිළිතුරක් නොමැති බව යි පැවසෙන්නේ.

    800px-Infection_of_host_insect.jpeg
    Ophiocordyceps sinensis හි ජීවන චක්‍රය – microbewiki.kenyon.edu
    දැන් අපේ ප්‍රධාන ගැටලුවට යමු.

    “The Last of Us” ඔස්සේ අපට පෙන්වන ආකාරයට මෙවැනි දිලීරයක් මිනිසුන් ආසාදනය කිරීම දක්වා දියුණු විය හැකි ද?

    “The Last of Us” පවසන ආකාරයට “කෝඩිසෙප්ස්” දිලීර මිනිසුන් සොම්බීන් බවට හැරවීමට තරම් දරුණු වන්නේ දේශගුණික විපර්යාස ඔස්සේ හටගත් ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම නිසා යි. යම් දුරකට එහි තර්කානුකූල කාරණා අඩංගු වුවත්, දිලීරයකින් සිදුවන මානව සොම්බීකරණය සැබෑ ජීවිතයේ සිදුවෙන දෙයක් නම් නොවෙ යි.

    තර්කානුකූල කාරණයක්​

    අප බොහෝ දෙනෙක් දන්නා පරිදි පෘථිවියේ සතුන් චලතාපීන් සහ අචලතාපීන් ලෙස බෙදා වෙන් වෙනවා. මෙතෙක් කතා කළ කුහුඹුවන් ඇතුළු කෘමීන් චලතාපීන් වන අතර, මිනිසුන් වන අප අයත් වන්නේ අචලතාපී කාණ්ඩයට යි. මේ බෙදීම මතුපිටින් ඉතා සරලයැ යි ඔබට පෙනෙන්න පුළුවන්. නමුත්, ඒ පිටුපස ඇති පරිණාමික ගමන් මඟ සහ ඒ ඔස්සේ ඇති වූ ශාරීරික වෙනස්කම්වල බෙදුම් රේඛාව ඉතා පුළුල්.

    එබැවින්, කෘමීන් ආසාදනය කරමින් සිටින සොම්බි දිලීරයකට මිනිසුන් ආසාදනය කිරීමට නම් විශාල ජානමය වෙනස්කමක් අවශ්‍ය වනු ඇති. ඒ සඳහා වසර මිලියන ගණනක් ගත විය හැකි යි. ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිය පමණින් එවැනි විශාල වෙනසක් දක්වා ත්වරණය වීමක් සිදු වන්නේ නැහැ.

    the-anarchists-s01-ka-1920-1024x576.jpg
    දිලීර සම්බන්ධයෙන් The Last of Us ඉදිරිපත් කරන තර්කානුකූල කාරණයක් ද තිබෙනවා. ඒ ගෝලීය උෂ්ණත්වය යි – www.hbo.com
    අනෙක් කාරණය වන්නේ සෑම සොම්බි දිලීරයක් ම නිශ්චිත කෘමියෙක් ආසාදනය කිරීම සඳහා පරිණාමය වී තිබීම යි. උදාහරණයක් ලෙස තායිලන්තයේ සිටින කුහුඹු විශේෂයක් ආසාදනය කරන කෝඩිසෙප්ස් දිලීරයකට එක්සත් ජනපදයේ සිටින වෙනත් කුහුඹු විශේෂයක් ආසාදනය කළ නොහැකි යි.

    ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හමුවේ දිලීරයක ගති ලක්ෂණ වෙනත් අයුරකින් වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. “The Last of Us” හි යම් යම් තර්කානුකූල කාරණා අඩංගු බව අප පැවසුවේ ඒ නිසා යි.

    උෂ්ණත්වය සහ දිලීර අතර සම්බන්ධය​

    ලෝකයේ දිලීර විශේෂ මිලියන ගණනක් පවතින බව දිලීරවේදීන් විශ්වාස කරනවා. දැනට දන්නා පරිදි ඉන් මිනිසාට අනතුරුදායක වන්නේ විශේෂ සිය ගණනක් පමණ යි. බරපතල දිලීර ආසාදනයකින් අප ආරක්ෂා කරන ප්‍රධාන ස්වභාවික සාධකය වන්නේ අප ගේ ශරීර උෂ්ණත්වය යි.

    මිනිස් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක් වැනි අගයක් ගන්නා අතර, බොහෝ දිලීරවලට වර්ධනය විය නොහැකි තරම් එය ඉහළ උෂ්ණත්වයක් බව යි පැවසෙන්නේ. සාමාන්‍යයෙන් දිලීරයක් වැඩීම සඳහා සෙල්සියස් අංශක 25-30 වැනි පරාසයක් වඩාත් උචිත වෙනවා.

    1-s2.0-S0960982221001391-gr1.jpg
    ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හමුවේ දිලීර රාජධානියේ හැසිරීම නිරීක්ෂණයට යටත් කිරීම ඉතා වැදගත් – www.sciencedirect.com
    දිලීර ආසාදන බොහෝමයක් අපේ සම මත ඇති වීමටත් මෙය එක් හේතුවක්. සම මත නැමීම් ඇති අතර, ඒවා ශරීර උෂ්ණත්වයට වඩා තරමක් අඩු, සිසිල් සහ අඳුරු ස්ථාන ලෙස හැඳින්විය හැකි යි. සම මත ඇති මෙවැනි ස්ථාන, වර්ධනය සඳහා සුදුසු ක්ෂුද්‍ර මට්ටමේ පරිසරයක් දිලීරවලට නිර්මාණය කර දෙනවා.

    ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවිට කුමක් සිදුවේවි ද?

    පෘථිවිය උණුසුම් වනවිට පරිසරයේ උෂ්ණත්වය සහ මිනිස් ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය අතර විශාල වෙනසක් ඇති නොවීමේ ඉඩකඩක් තිබෙනවා. සරල ම හේතුව අප අචලතාපීන් වීම යි. යම් හෙයකින් වැඩිවන උෂ්ණත්වයට ඔරොත්තු දීමේ හැකියාව දිලීර විසින් පරිණාමිකව වර්ධනය කරගතහොත්, ඔවුන්ට මිනිස් සිරුර තුළ ජීවත් වීමත් එතරම් දුෂ්කර කාර්යයක් නොවෙයි.

    මෙම කාරණය හුදු උපකල්පනයක් නොවන්නේ දැනටමත් ලෝකයේ ශක්තිමත් උදාහරණයක් තිබෙන නිසා යි!
     

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93

    Candida auris​

    ඉහළ යන උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන් ආසාදනය කිරීමට සමත් වූවායැ යි අනුමාන කරන එක් දිලීර විශේෂයක් විද්‍යාඥයන් අනාවරණය කර තිබෙනවා. විද්‍යාත්මකව මෙම දිලීරය හඳුන්වන්නේ Candida auris යනුවෙන්. අද්භූත ආසාදනයක් ලෙසින් ඉස්මතු වූ මෙම දිලීරය, මුලින් ම වාර්තා වූයේ 2009 වර්ෂයේ ජපානයේදී යි. 2011-2012 කාල වකවානුව වනවිට Candida auris මහද්වීප තුනකින් වාර්තා වුණා.

    “ඒක පැමිණියේ නිශ්චිත තැනකින් නොවෙයි. මේ දිලීරය අප අතර ම තිබුණු එකක්. වසර ගණනාවක් පුරා එය ඉහළ උෂ්ණත්වයන්ට අනුවර්තනය වෙමින් හදිසියේ ම මතු වුණා.”
    ජෝන්ස් හොප්කින්ස් බ්ලූම්බර්ග් මහජන සෞඛ්‍ය පාසලේ බෝවන රෝග විශේෂඥයෙක් වන අ(ර්)ටුරෝ කැසඩවෝල් පවසනවා.

    Candida-auris-fungi-emerging-multidrug-resistant-fungus-1028379142_1256x837-1024x683.jpeg
    Candida auris දිලීරය – healthpolicy-watch.news
    Candida auris
    මිනිස් රුධිරවාහිනී පද්ධතියට ඇතුළු වූ විට බැක්ටීරියාවලට සමාන ආසාදනයක් ඇති කරන බව සඳහන්. සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට දිලීරය සමඟ සටන් කිරීමේ හැකියාව තිබුණත්, බොහෝදෙනා දිලීරය හමුවේ වාසනාවන්ත වන්නේ නැහැ.

    දේශගුණික විපර්යාස හමුවේ මිනිසා තවදුරටත් සංවේදී නොවුණහොත්, Candida auris වැනි අලුත් අභියෝග තවදුරටත් ඉස්මතු වීමට ඉඩ තිබෙනවා. ඇතැම් විට “The Last of Us” හි පෙන්වන සොම්බී දිලීරයටත් වඩා එම තත්ත්වය භයානක විය හැකි යි. කොවිඩ් වසංගතයේ අත්දැකීම් දැනටමත් අපට බොහෝ පාඩම් කියා දී තිබෙනවා.

    roar.media
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    TFS. good post.

    මට හිතෙන්නම දැනටමත් ඔව්ව gene engineer කරල zombie or similer virus හදල ඇත්තෙ. :yes:
    experiment එකකටවත් already හදල වෙන්න පුලුවන්.