සැදෑ අඳුර ලොව (Sanda Andura Lowa)
මේ ගීතය අසන විටම සැදෑ සමය පිලිබඳ ඉතා චමත්කාරජනක සිතුවිලි සමුදායක් අප සැමගේ සිතට නැගෙනවා නොඅනුමානයි. ඒ සුන්දර ගීතය රචනා කර ගායනා කරන්නෙ සෝමතිලක ජයමහ ශූරීන්. ගීතය රචනා කරන්නට හේතු වන කරුණ සෝමතිලක ජයමහ මහතා විසින් දිනක් පුවත්පතකට පවසා තිබුණ. ලිපිය හොයාගත්තේ අන්තර්ජාලයෙන්.
ගීතය රචනා කරන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ ඔහුගේ ගුරුවරයකු වූ ඩන්ස්ටන් සිල්වා මහතාගේ රාජකාරියකට.
කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුන. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. ඔහු එතැනදී දුටුවා මද දුරකින් පිහිටි ගෙයක්. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන් පත් වැහෙන වෙලාවට"
ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා.
මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා. 1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා.
ගීතය ගැන තොරතුරු උපුටා ගත්තේ: http://i1211.photobucket.com/albums/cc424/chajee1983/2011-07-17/23.png (sl-unlimited වෙබ් අඩවියේ chajee1983 නම් සාමාජිකයා පලකළ ලිපියකින් )






