@1sam අනිවා ඉතුරු ටිකක් දාන්න
..වයස බැලුවොත් මට අංකල් කෙනෙක් වෙන්නෙ
ඔව්, මේ එළකිරි එකේ ඉන්න බොහොම දෙනෙකුට මම අංකල් කෙනෙක් විය හැකියි. මම 1962 උපන් කෙනෙක්.
කතාව තව ටිකක් ලියන්නම්.
පංති පහ අවසානයේ අපේ අදහස මොකක්ද කියලා ඇහුවට, අපිව උගුලකට අහු උනා වගේ හැඟීමක් එන විදියට තමයි එතන කටයුතු සිද්ද උනේ. රහස්‍ය භාවය ගැන, ඒ ගොල්ලන්ගේ කටයුතු වලට විරුද්ධ වීම, පාවාදීම වැනි වචනත් කියවුනා විය හැකියි. අර අපි නොදන්නා එක්කෙනා නම් පන්ති පහ ඉවර වෙන්නත් කලින්ම එයා මේකට එකතු වෙලා වැඩ කරන්න කැමති බව අඟවලා තිබුනා. මාත් එක්ක හිටපු යාළුවො තුන්දෙනාත් මේ කතා වලට වශී වෙලා හිටියාට, ඒගොල්ලෝ මම කියන දෙයකට පිටින් යන්නේ නැති තරමේ හිතවත් කමක් අපි අතර තිබුනා.
අපේ අදහස අහලා, දින කිහිපයකට පස්සේ අපේ උත්තරය මොකක්ද කියන එක දිනකට දෙකකට වරක් ඇවිත් අපෙන් අහන්න ගත්තා. අපි උත්තරයක් දුන්නේ නැහැ. මගේ අදහස උනේ, මේකට අකමැතියි කියන එක කොහොමවත්ම ඒ තැනැත්තාට කියන්නේ නැතිව, පුළුවන් හැටියකට මග ඇරලා ඉන්න එකයි.
මම මේ තුන්දෙනාටම අපි වැටුන වල ගැන පැහැදිලි කළා. අපි මේකට එකතු නොවිය යුතු බව මම,හේතු සහිතව ඒ තුන්දෙනාට පැහැදිලි කරලා දුන්නා. ඒගොල්ලෝ මගේ අදහස පිළිගත්තා. ඒ උනාට, "අපි මේකට අකමැතියි, ඒ නිසා අපේ අදහස මේ ව්‍යාපාරයට එකතු නොවී ඉන්නයි" කියා මෙහි සංවිධායකට කීම තවත් කරදර ගොඩකට අත වැනීමක් වෙන්න පුළුවන් කියන එකත් මම ඒගොල්ලන්ට කිව්වා.
මේකට පිලියමක් හැටියට අපි කලේ මේ පන්ති පවත්වපු පුද්ගලයාව මග හරින එකයි. ඒක මෙහෙම එක වචනෙකින් කිව්වාට එයාට සැක නොහිතෙන විදියට අපි හතර දෙනාම කොහොම හරි ටික කාලයක් වහන් වෙලා හිටියා. මිනිහාටම එපා වෙලා අපි පස්සේ එලවන එක නවත්තන්න ඇති.
මට කියන්න තියන අවාසනාවන්තම සිද්ධිය මේ කාලයෙන් වසර ගණනාවකට පසුව 1989 පමණ කාලයේ මම දැන ගත් එකක්. අපේ පංති වලට සහභාගී උන, අපි නොහඳුනන සාමාජිකයා වූ "සරත්" ගැන අපි කිසිම තොරතුරක් දැන හිටියේ නැහැ. නමුත්, 89 දී පමණ මා සමග සේවය කල කෙනෙකුගේ ගෙදරකදී සරත් ගේ පින්තුරයක් දැක්කා. ඒ ගැන විමසූ විට, ඒ ඔවුන්ගේ ඥාති සොහොයුරෙකු බවත්, එයා jvp එකට වැඩ කළා කියලා හමුදාවෙන් අරන් ගිය බවත්, මිනිය කොට්ටාවේ තැනක තිබී හමු උන බවත්, එයා අහිංසකයෙකු මිස ජවිපෙ ට කිසිම සම්බන්ධයක් නැති කෙනෙකු බවත් කිව්වා. මම මෙයා ගැන දන්නා දේවල් කිසිවක් කිව්වේ නැහැ. මෙයා ගෙදරට හොරෙන් තමයි හැම දෙයක්ම කරලා තියෙන්නේ.
මේ භීෂණය ආරම්භ කලේ ජවිපෙ මිසක් ආණ්ඩුව නොවෙයි. ආණ්ඩුව හරියි කියන එක මම එයින් අදහස් කරන්නේ නැහැ. ඊළඟට, හොඳින් හෝ නරකින් භීෂණය අවසාන කලේ මේ මුල් පෝස්ට් එකේ කියැවෙන ප්‍රේමදාස උඩුගම්පොල වාගේ සිල්ලර ඝාතකයෝ නොවෙයි. මේ පෝස්ට් එකේ හෝ රිප්ලයි එකකවත් නම සඳහන් වෙලා තියනවා දැක්කේ නැති, රංජන් විජේරත්න තමයි මේ සියලු ඝාතකයන්ට ආරක්ෂාවත්, අවි ආයුධත්, අනිකුත් පහසුකම් සියල්ලමත් ලබා දීලා ජවිපෙ භීෂණයට ඊටත් දරුණු භීෂණයකින් පිළිතුරු දීලා මේ ප්රශ්නය අවසාන කලේ.
ඒ විතරක් නොවෙයි, "හමුදාවෙන් හා පොලිසියෙන් ඉල්ලා අස් නොවන, හමුදා/පොලිස් නිලධාරීන්ගේ ගේ පවුල් වල සාමාජිකයන් ඝාතනය කිරීම" කියන ක්‍රියාදාමය ජවිපෙ මගින් ආරම්භ කළා යැයි ප්‍රසිද්ධ උනත්, ඒ ඝාතන බොහොමයක් පිටුපස හිටියෙත් රංජන් විජේරත්නයි. ඒ සිද්ධි දාමය මගින් සාමාන්‍ය ජනතාව ජවිපෙට වෛර කරන තත්වයකට පත් කරන්න රන්ජන් විජේරත්න සමත් උනා. (උඩුගම්පොලගේ පවුලේ අයගේ ඝාතන ජවිපෙ මගින් කලත්, සාමාන්‍ය ජනතාව ඒ සම්බන්ධයෙන් හිත යටින් සතුටු උන බව තමයි මම දන්නේ.) නමුත්, ජවිපෙ මර්ධනයට කොහෙත්ම සම්බන්ධයක් නැති හමුදා/පොලිස් නිලධාරීන්ගේ පවුල් ඝාතනය කරන්න ජවිපෙට උවමනාවක් නොතිබුනා වාගේම එයින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඔවුන් නොදැන හිටියා යැයි මම හිතන්නේ නැහැ. මෙයින් ඉතා සුක්ෂම ලෙස ඌරාගෙ මාළු ඌරාගෙ පිටේම තියලා කපන්න රන්ජන් විජේරත්න සමත් උනා. ඒ තමයි ජවිපෙ භීෂණයේ අවසානය.
මේ වාගේ හිත නරක් වෙන කතා අවසානයේ ටිකක් හිනා යන සිද්ධියක් කියන්නම්.
කලබල බොහොම උත්සන්න කාලයේ, කඩ සාප්පු වලට පොඩි ලියුම් කෑල්ලක් දීලා, කඩ වහන්න කියලා අණ කරන එක එදිනෙදා සිදුවීමක් තරමට සාමාන්‍ය වෙලා තිබුනා. පන්නිපිටියේ කඩයකට මෙහෙම ලියුමක් දෙන්න ආපු ජේ වී පී කොල්ලෙක්, කඩේ හොය හොයා යනකොට පොලිසියෙන් අල්ලාගෙන තිබුනා. මේ කොල්ලා ටිකක් විතර පිස්සු පොරක්. කන් විදලා, කරාබු දාලා, මාල දාලා, හමුදාවේ පතරොම් මල්ලක් වගේ හචා බෑග් එකකුත් එල්ලාගෙන, පන්නිපිටියේ ඒ මේ අත ඇවිදිනකොට සැක හිතපු පොලිස් කාරයෝ දෙන්නෙක් මේකාව අල්ලා ගෙන ප්‍රශ්න කරලා. "මෙන්න මේ ලියුම කඩේකට දෙන්න යනවා" කියලා කියපු ගමන් මුලින්ම මේකාට තුන හතරක් නෙලලා, ලියුම අරං බලලා.
ඒ ලියුමේ තිබුනේ එක වාක්‍යයයි. //ආවුද අරං සෙනසුරාදා එනවා, ගෑස් ගෙනැත් තියන්න. -ගුණපාල. // මේක දැකපු ගමන් මේ කොල්ලාට වචනයක් වත් කතා කරන්න නොදී හොඳටම ගහලා. වාසනාවට, මේ සිද්ධිය බලා හිටපු එතන කඩේ මුදලාලිත් මෙතෙන්ට ඔලුව දාලා. කොහොම හරි ඒ මුදලාලි ලියුම දැක්ක ගමන් සිද්ධිය තේරුම් අරං මේ කොල්ලාව බේරාගෙන අපේ ගෙදරට අරන් ආවා.
සිද්ද වෙලා තියෙන්නේ මේකයි. අපේ වාහනේ ටින්කර් කරපු බාස් ගේ වැඩ හොඳයි කියලා දැකපු මේ මුදලාලි(එයා අපේ තාත්තාගේ යාලුවෙක්), ඒ බාස් ලවා එයාගේ වාහනේ ටින්කර් වැඩ ටික කරවා ගන්න පොරොන්දු කරවාගෙන. ඒකට දිනයක් යොදාගෙන, ගෑස් බෝතල් මුදලාලිගේ ගෙදරට ගෙනත් තියන්න, එදාට බාස් අවශ්‍ය ආවුද අරං වැඩේට එනවා කියන එක තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. ඒක පොඩි කොළ කෑල්ලක ලියලා, එයාගේ ගෝලයෙක් අතේ එවලා. බාස් කෙනෙකුගේ ලිපියක් හින්දා වැඩිය ව්‍යාකරණානුකුලව ලියැවිලා නැතිව ඇති. කොහොම උනත්, මේ මුදලාලි, බාස්ට ඇඳුනුම් කම හදාගත්තේ මගෙන් නිසා මේකාව අපේ ගෙදරට අරගෙන ආවා. ඊට පස්සේ අඳුනන දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන ගිහිල්ලා එකාට ප්‍රතිකාර කරලා ගෙදර ගිහිං බැස්සුවා.
බැරි වෙලාවත්, ඒ මොහොතේ මුදලාලි ඉදිරිපත් නොවුනා නම්, පහුවෙනිදා පත්තරේ මුල් පිටුවෙම 'දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ ත්‍රස්තවාදියෙකු පන්නිපිටියෙන් අල්ලයි" කියන හෙඩ් ලයින් එකයි, ටයර් එකකට දාලා පුච්චපු මිනියකුයි තමයි ඉතුරු වෙන්නේ!