අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ,
අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ "කිසිම දෙයක් දන්නේ නැත", "මහ ලොකු ප්රපඥ්ඥාවකුත් නැත", "මහ ලොකු සීලයක්ද නැත". උන්වහන්සේ අපිට සූත්රෙ දේශනා කියා දෙන්න දන්නේ නැත. උන්වහන්සේ දන්නා අභිධර්මයකුදු නැත. උන්වහන්සේ ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා මෙන් ලස්සනට ගලපා ගැඹුරු දහම් කරුණු කියා දෙන්නට දක්ෂද නැත. උන්වහන්සේ දන්නේ ගාථාවක් කියලා ඔය මොනවාහරි කාගේ හරි ගැන ගුණ කථනයක් කිරීමටත් ස්තුති කිරීමටත් ගමේ සිදුවන පින්කම් ආදිය ගැන දීර්ඝ විස්තරයක් කිරීමට පමණි. හැබැයි ජාතක කතා උතුම් මිනිස් ගුණධර්ම ආදිය ගැන ලස්සනට ගලපා ගුරුහරුකම් දීමට දක්ශය. ගමේ කාට හෝ ලෙඩක් දුකක් වුණා කියා දැනගත් සැණින් පිරිත් නූල් පන්දුවත් රැගෙන උපාසක මහතෙක් සමඟ දඩිබිදියේ දිවගොස් සෙත් පිරිත් ටිකක් කියා පිරිත් නූලක් ගැටගසා පැමිණීම උන්වහන්සේගේ සිරිතකි. දකින හමුවන කාටත් බුලත් විට කා රතු පැහැ ගැන්වුණු දෙතොල් එකට පූට්ටු කර කහට පැහැ ගැන්වුණු දසන් සඟවා ඉතාම ගරු සරු ඇතිව නිහතමානීව හිස සලා සුන්දර සිනහවක් පාන්නේය. උන්වහන්සේ කාලවර්ණය, මිටිය, ලස්සනයි කීමට කිසිම දෙයක් නැත. හැබැයි හරිම ප්රි ය මනාපය. දකින කෙනාගේ සිත පහදවන්නේය. ඉතා සංවර වූ කාය සමාචාර ඇත්තේය. ඉතා සුන්දර වචී සමාචාර ඇත්තේය.
ගමේ පව් කාරයන් මැරුණාම උන්ගේ පව් ගෙවන්නේත් උන්වහන්සේය. ජීවත්ව ඉන්න ටිකේ නොකරනා දහ ජරා වැඩක් නැතිව හිඳ කිසිම ගුණධර්මයක් නැතිව, පිනක් රැස් නොකර, දහමක් පුරුදු නොකර, බාහිර වැඩම කරමින් හිඳ, සීලයක් නොරැක හිඳ මැරුණාට පසු පාංශුකූලයෙන් සුගතියට යන්න ඉන්නා මෝඩයන්ගේ පාංශුකූලයට උන්වහන්සේ නොවැඩ ඉන්නේම නැත. ගුණකථනයේදී උන්වහන්සේ කිසිම දිනක මොන පව්කාරයාට වුවත් අගුණයක් කියන්නේම නැත. අගුණය පසෙක තබා ගුණයම කියන්නේය. ගුණයම දකින්නේය. ගුණයම පසසන්නේය. ඒ උන්වහන්සේගේ සත්පුරුෂ ගුණයකි.
උන්වහන්සේ හත් දවසේ, තුන් මාසේ, අවුරුද්දේ දාන බාර නොගෙන සිටින්නේ නැත. ගෑනුන්ගේ හම්පඩ සාරි එලා පනවා ඇති ආසන වල හිඳ දානේ වැළඳීම ප්රකතික්ශේප කරන්නේද නැත. මෙත් සිතින් යුතුව දානේ වළඳන්නේය, නැවත නැවතත් කෘතඥ්ඥතාවය පල කරන්නේය. නැවත නැවතත් පින් දෙන්නේය.
උන්වහන්සේ සතා සීපාවටත් හරිම ආදරේය. පව්කාර මිනිසුන් තම ගෙවල් වල පූසියි, බැල්ලියි පැටවු දැම්මාම හොරෙන් ගෙනැවිත් දමා යන්නේ පන්සලටය. ඒ උන්වහන්සේට පව් කාරයන් දෙන තෑග්ගකි. පන්සල පුරා බලු බෙටි සහ පූස් බෙටි ඉවත් කරන්න වෙන්නේ උන්වහන්සේටය. ඒත් උන්වහන්සේ උන් ගෙනැවිත් දමා ගියවුන්ට සාප කරන්නේ නැත, දෙස් දෙවොල් තියන්නේ නැත. ඒ උන්වහන්සේගේ ඉවසන මහ ගුණයයි.
උන්වහන්සේ පොඩි හාමුදුරුවන්ට හරිම ආදර කරුණාවෙන් යුක්තය. මවක මෙනි පියෙකු මෙනි. දිනක් උන්වහන්සේට ලිපීයකට තැබීමට රබර් මුද්රායව ගැනීමට අවශ්යව විය. එය පොඩි නමගේ කුටියේය. පොඩි නම හොඳට සැතපිලාය. දොර යතුරු දමාගෙනය. උන්වහන්සේ "පොඩි නම..." යැයි කතා කලේය. පිළිතුරක් නැත. ආයෙත් කතා කලේය. ඒත් පිළිතුරක් නැත. දොරට ගැසුවේය. තරහා ගිය බවක් පෙනෙනට නැත. ජනේලය ලඟට ගියේය. නැවත්ත් පොඩි නම අමතමින් ජනේලය ගැසුවේය. උන්වහන්සේට හරි හිනාය. "හනේ හනේ මෙහෙමත් නින්දක් මයෙ අප්පේ" කියා සිනාසෙමින් විත් පුටුවේ වාඩිගත්තේය. මවක්වත් පියෙක්වත් එසේ ඉවසන්නේ නැත. උන්වහන්සේගේ ඉවසන ගුනය සිතාගැනීමටවත් නොහැකිය. කරුණාව මෛත්රිවය උන්වහන්සේගේ ජීවිතයේ බද්ධ වූ දෙයකි. උන්වහන්සේට් පොඩි නම කැම්පස් යවන්න කැමති නැත. "ඕවාට ගියාම පැවිද්දා කිළිටි වෙනවා, පිරිවෙනට ගිහින් ඉගෙනගන්න පුළුවනිනේ. ඔය ඕනි තරම් පොත්පත් තියෙන්නේ ඉගෙනගන්න, අනිත් එක කැම්පස් ගියාම ඕනැ දේටයි එපා දේටයි ඔක්කෝටම පැටලිලා නාස්ති වෙනවා". ඒ උන්වහන්සේ හිතන විදියයි.
උන්වහන්සේ පිළිම ගෙය, බෝධි බැම්ම, ස්ථූපය, ධර්ම ශාලාව ඉදිකර ගැනීමට බොහෝ උත්සාහවත් විය. උන්වහන්සේ වැඩ ඉන්න ආවාසය ඉතා පරණ ලෑලි දිරා ගිය සොල්දරයකින් යුතු එකකි. උන්වහන්සේට එය හදන්නට වුවමනාවක් නැත. නමුත් බුද්ධෝපස්ථානය පිණිස ගමේ පින්වතුන්ට වන්දනාමය දානමය, සීලමය, භාවනාමය පින්කම් කරගැනීමට හැම දේම කරන්නේය.
උන්වහන්සේ කිසිම කෙනෙකුට බැන වදිනු මා දැක නැත. ඔය හාමුදුරුවෝ අපි ගිහින් දෙන ඒවා වළඳලා හොඳට නිදාගන්න එක කරන්නේ. බණක්වත් කියාගන්ට දන්නේ නැහැ. ගමේ පණ්ඩිතයෝ කියනු එමට අසා ඇත්තෙමි. තම පණ්ඩිතකම උළුප්පා කතා කිරීමේදී උන්වහන්සේගේ ධර්මඥාණය ගැන කතා කිරීම පණ්ඩිතයාට නැතිවම බැරි අංගයකි.
උන්වහන්සේ කිසිම දවසක කිසිම කෙනෙකුට නින්දා කරන්නේ නැත, ඉරිසියා කරන්නේ නැත, වෛර කරන්නේ නැත. කිසිවෙකුට ඇනුම්පද කියන්නේ නැත. සිත් රිදෙන වචන උන්වහන්සේ සතුව නැත. කල්පනා කර බලනවිට පිළිකුල් සහගත කාය සමාචාරයන් ඇති අනුන්ටත් තමන්ටත් අයහපත පිණිස පවතින ක්රිකයා කරන, ඉතා පිළිකුල් සහගත කුණුගඳ හමන වචී සමාචාර ඇති මිනිසුන් ඉදිරියේ මහා සිල්වතෙකි. ගුන යහපත්ව සුන්දර දිවියක් ගෙවන ඉවසන, කරුණාව, මෛතියම සිත රැඳි තමන්ටත් අනුන්ටත් යහපත උදා කරන ක්රි යා ඇති උන්වහන්සේ මහා ප්ර්ඥ්ඥාවන්තයෙකි. අනුන්ගේ ගුණයම දකින අගුණ නොදකින, ගුණ කියන අගුණ නොකියන උන්වහන්සේ මහා සත්පුරුශයෙකි.
බලනවිට ඔක්කෝම දන්නවා යැයි සිතාගෙන සිටි අපටමයි වැරදී තිබෙන්නේ, අපමයි නොමඟ ගොස් තිබෙන්නේ. ප්රේඥ්ඥාවන්ත කම යනු සියල්ල දැනගැනීම නොව දන්න ටික හොඳින් පුරුදු කිරීම බව ක්රිනයාවෙන් පෙන්වූයේ ඔබ වහන්සේය, සිල්වත් ගුණවත් සත්පුරුශ කම කටේ නොව තිබිය යුත්තේ තම කාය වාග් සමාචාර තුල බව ඔබ වහන්සේ අපට නිහඬව උගන්වා ඇත. බුද්ධ සාසනය පවත්වන්නේ මහ පාරේ නොව තම තම සිත් සතන් තුල බවත් ඔබ වහන්සේ මනාව කියා දී ඇත. ඔබගේ ගුණ කඳ සිතන විට නොදැනීම දෑත් එකට බැඳී හිස නැමෙන්නේමය. පින්වත් ලොකු හාමුදුරුවනේ ඔබ නිහඬව කියා දුන් මේ දහම් පාඩමට ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා..
"ඔබ වහන්සේ සියල්ලම දන්නේය".
තෙරුවන් සරණයි..!
Taken by Chathura Wijaya Sri DolahaAmuna's facebook timeline
Last edited:

