Logical Paradox


what do you say about this??ඒ යෝජනාව සම්බන්ධයෙන් වරදක් සිදු වී යැයි ද ඒ නිවැරදි නොකර තිබිණි යැයි ද අපි තර්කය සඳහා උපකල්පනය කරමු. එවිට එය නිවැරදි කළ හැක්කේ කාහට ද? ශ්‍රෙෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවේ අනුගමනය කරන ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් කිසිසේත් ම මැදිහත් වීමට නො හැකි ය. විධායකයට ද එසේ කළ නො හැකි ය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකින් ස්වාධීන ව කටයුතු කරයි. මෙයින් කියැවෙන්නේ අදාළ යෝජනාව සම්මත කිරීමේ දී පාර්ලිමේන්තුවෙන් යම් වරදක් සිදු වූ අවස්ථාවක පවා එය නිවැරදි කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව ය. ජනාධිපතිවරයාට එය නිවැරදි කිරීමට තබා එහි වරදක් සිදු වී ඇතැයි තීන්දු කිරීමට තීරණය කිරීමට නො හැකි ය.
2011 ජනවාරි 11 වැනි දා පාර්ලිමේන්තුව වරදක් කර නැති බව කථානායකතුමා තීරණය කර ඇත. ඒ තීරණය මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා ද මන්ත්‍රීවරුන් ලෙස පිළිගෙන ඇත. ඔවුන්ට එදා තමන් අතින් සිදුවුයේ වරදක් යැයි අද කිවහැකි ය. ඕනෑම අයකුට තම අදහස් වෙනස් කර ගැනීමේ අයිතිය ඇත. එහෙත් එදා පාර්ලිමේන්තුව නිවැරදි බවට ගත් තීන්දුවක් වෙනස් කිරීමට අද හැකියාවක් ඇත්නම් ඒ අගමැතිට හොා ජනාධිපතිට හෝ නොව පාර්ලිමේන්තුවට පමණ ය. ජනාධිපතිට හෝ අධිකරණයට හෝ ඒ සඳහා බලය පෑවරී නැත. ඔවුන් එසේ කරන්නේ නම් ඒ තම බලය ඉක්මවා ගොස් කරන්නකි. ජනාධිපති එසේ කරන්නේ නම් එය ඔහුගේ නිල කාර්යයක් ලෙස සැලකිය නො හැකි ය. එපමණක් නො වේ. එය ඔහුගේ පෞද්ගලික කාර්යයක් ද නො වේ. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහූට ලැබෙන මුක්තිය ද මෙහි දී අහිමි වෙයි.
ජනාධිපති අද ක්‍රියාකරන්නේ එදා පාර්ලිමේන්තුවේ දී සිදු වී යැයි කියන වරදක් නිවැරදි කිරීමට යැයි කියැවෙයි. එහෙත් එය මුළුමනින් ම වැරදි ක්‍රියාවක් හා ප්‍රකාශයකි. එදා පාර්ලිමේන්තුවේ වරදක් සිදු වී නොමැති බව කථානායකතුමා තීරණය කර ඇති අතර මන්ත්‍රීවරුන් එය පිළිගෙන ඇත. වරදක් සිදු වී තිබිණ ද ජනාධිපතිවරයාට එය නිවැරදි කිරීමේ බලයක් නැත.
ජනාධිපතිට හා අගමැතිට අනුව ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බැවින් ඇය ඉවත්කෙරී නැත. එබැවින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත් කිරීම ද නිත්‍යානුකූල නො වේ. වෙනත් වචනවලින් කියන්නේ නම් මොහාන් පීරිස් මහතාගේ පත්වීම බල රහිත හා ශූන්‍ය වෙයි. එනම් මොහාන් පීරිස් මහතා කිසි දිනෙක මෙරට අගවිනිසුරු ධුරය දරා නැත. ආණ්ඩුව එමගින් නැති අවුලක් ඇති කර ඇත.
ආණ්ඩුව කියන ආකාරයට මොහාන් පීරිස් මහතා මෙරට කිසිදිනෙක අගවිනිසුරු ධුරය දරා නැත්නම් පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක් තිස්සේ ඒ මහතා සහභාගි වී දී ඇති නඩු තීන්දුවලට කුමක් සිදුවේ ද? ඔහු අගවිනිසුරු ලෙස විවිධ නඩු සඳහා විනිශ්චයකාරවරුන් පත්කර ඇත. ඒ විනිසුරුවන් දී ඇති නඩු තීන්දුවලට කුමක් සිදුවේ ද? ඔහු සභාපතිත්වය දැරූ අධිකරණ සේවා කොමිසම විසින් පත්කරන ලද විවිධ විනිසුරුවන්ට කුමක් සිදුවේ ද? ඔහු ඉදිරියේ දිවුරුම් දුන් නීතිඥයන්ගේ කළු කබාවලට කුමක් සිදුවේ ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 119 වැනි ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරයකුගේ පත්කිරීම සම්බන්ධයෙන් දෝෂයක් වී නම් ඒ කරුණ කොට ගෙන උසාවියක් විසින් කරන ලද ක්‍රියාවක් හෝ උසාවියක නඩු විභාගයක් හෝ අවලංගු වූ ලෙස නො සැලකෙයි. එහෙත් ඒ පත් වී ඇති විනිසුරුවරයකුගේ පත්වීමෙහි දෝෂයක් ඇත්නම් ය. විනිසුරුවකු ලෙස පත් වී නැති පුද්ගලයකුගේ ක්‍රියාකාරිකම් ගැන කිව හැක්කේ කුමක් ද? ඒ ක්‍රියා ද බල රහිත හා ශූන්‍ය වෙයි. එනම් ඒ ක්‍රියාකාරකම් සිදු වී නැත. අදාළ ඊනියා නඩු තීන්දු දී නැත!
මෙහි බරපතළකම මෛත්‍රිපාල සිරිසේන මහතාට අවබෝධ වී ඇතැයි සිතිය නො හැකි ය. මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැකි ද යන්න තීරණය කෙරුණේ මොහාන් පිරිස් මහතා සභාපතිත්වය දැරූ විනිසුරු මඬුල්ලකිනි. එ විනිසුරු මඬුල්ල මොහාන් පිරිස් මහතා විසින් පත්කරන ලද්දකි. දැන් ආණ්ඩුව කියන ලෙස මොහාන් පිරිස් මහතා අගවිනිසුරු නොවී නම් ඒ විනිසුරු මඬුල්ල පත්වී නැතිවා පමණක් නොව මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වතාවට තරග කළ හැකි යැයි තීන්දුවක් ද දී නැත.
එසේ නම් පසුගිය ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ මහතා තරග කළ ජනාධිපතිවරණයක් ද තිබී නැත. එපමණක් නොව ජනාධිපතිවරණයක් නොමැතිව ජයග්‍රහාකයකු ද සිටිය නො හැකි ය. වෙනත් වචනවලින් කිවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ද වී නැත! මොහාන් පිරිස් මහතා අගවිනිසුරුි ලෙස කටයුතු නොකළේ නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද නැත. නැති ජනාධිපති කෙනකු ගන්නා තීන්දු තීරණ ගැන කිව හැක්කේ කුමක් ද? නැති ජනාධිපතිවරයකුට අගමැති කෙනකු පත්කළ හැකි ද? කැබිනට් මණ්ඩලයක් ලේකම්වරුන් පත්කළ හැකි ද? අවසාන වශයෙන් නැති ජනාධිපතිවරයකු මොහාන් පීරිස් මහතා නැති අගවිනිසුරුවරයකු බව තීරණය කළේ කෙසේ ද?
ගණිතය ඉගෙන ගන්නා අවධියෙහි දී රසල්ගේ විරුද්ධාභාසය අපට ආශ්වාදයක් ගෙන දුන්නේ ය. මම විවිධ විසංවාද සලකමින් විනෝද වීමි. දැනුදු විනෝද වෙමි. එහෙත් නැති ජනාධිපතිවරයකු නැති අගවිනිසුරුවකු ගැන කතා කිරීම නම් විනෝදය ගෙන දෙන්නක් නො වේ. නැති මනස නැති මනසක් බව නැති මනසින් අවබෝධ කර ගැනීම නිවන් අවබෝධය යැයි මම සිතමි. නැති ජනාධිපතිවරයකු ගැන අවබෝධය කුමක් සඳහා වේ ද?
නලින් ද සිල්වා


Last edited: