මචන් මං ගාව dx wagon එකක් තියෙනවා ඩීසල් එකක්.. කන්වර්ටඩ් එකක් හැබැයි.. මේක දැන් ටික්කරින් කරල ඔක්කොම කරල පේන්ට් කරල තියෙන්නේ...යට ඔක්කොම ශොක් එහෙම දාල.. දැනට මේ ටිකට ගියා ඔක්කොම 3k 3.50k වගේ.. තව අපොස්ටින් Tyre 4 දාන්න තියෙනවා.. අවුරුදූ ගානක 5ක වගේ ලයිසන්ස් කරන්න තියෙනවා.. මට මේක හොදට හදාගන්නත් ආසාව තියෙනවා alloy wheel ehema daala.. මට හිතාගන්න බැරි අපරාදයක්ද කියන එක එහෙම වියදම් කරන එක ලොකුවට..
උබලට මොකද හිතෙන්නේ.. මේක ගැන..
අනික අවුරුදු 4ක් එක තැන තිබිලා එන්ජින් ඔයිල් මාරු නොකර ස්ටාර්ට් කලාට අවුලක් නැද්ද?
දැන් දානවනම් දාන්න ඕනේ ඔයිල් එක මොකක්ද?
හදන්න මචං... අද කාලෙනං ඕක ගොඩ දැම්ම කියල කිසි පාඩුවක් නෑ.
හැබැයි මුලින්ම ඉන්ටීරියර් හදල ඇලෝවීල් ටයර් දාන්න කලින්, රනින් කන්ඩිශන් අඩුපාඩුවක් නැති වෙන්න හදාගන්න.
ස්ටාට් කරන්න කලින් එන්ජින් ඔයිල් කූර ඇදල ඔයිල් ලෙවල් එකට තියෙනවද කියල බලන්න,
රේඩියේටරේ වතුර, එයා ක්ලීනර් යහතින් තියෙනවද බලන්න. මීයො එහෙම හිටියොත්....
ඔයිල් ස්ලජ් වෙලා තියෙනවද කියලත් බලන්න. ඔයිල් අඩු වෙලානං, වෙන පෙට්‍රල් වාහනේකින් අයින් කරපු පරණ ඔයිල්, ලෙවල් එකට එන්න දාන්න.
ඊට පස්සෙ ටිකක් ස්ටාට් කරාට කමක් නෑ. හැබැයි එන්ජිම තදට රේස් කරන්න එපා. වාහනේ දුවන්නත් එපා.
අලුත් ඔයිල් දාන්න කලින් එන්ජිම අනිවා ෆ්ලශ් කරන්න.
රේඩියේටරෙත් ෆ්ලශ් කරල වතුර දාන්න. වාහනේ ටික දවසක් දුවල වතුර අඩු වෙන්නෙ, හීට් කරන්නෙ නෑ කියල තහවුරු වෙනකල් කූලන්ට් දාන්න එපා.
ඔය ටික කරල, සර්විස් කරල ග්‍රීන් ටෙස්ට් එකට දාන්න. ඒක ෆේල් වුනොත්, හොඳ තැනකින් ඉන්ජෙක්ටර් ටිකයි පොම්පෙයි සර්විස් කරගන්න වෙනව.
අප්හෝස්ටරි ටික ගහන වැඩේනං හොඳම තැනකින් බලල කරගන්න වෙනව. මොකද, ලපයි සිපයි කුශන් බාස්ල ලඟට දාල ඉන්ටීරියර් පච කරපු පරණ වාහන ඕන තරම් දැකල තියෙනව...
01. මචන් මං ගාව dx wagon එකක් තියෙනවා ඩීසල් එකක්.. කන්වර්ටඩ් එකක් හැබැයි..
ඩීසල් පරිවර්ථක රථයක් නිසා වාහනයේ පැරණි බවට හිමිවන වටිනාකමෙන් යම් ප්‍රමාණයක් අඩු වෙනවා. නමුත් ඔබ දැනට මේ සදහා රුපියල් ලක්ෂ 3 ත් 3.5 අතර වියදමක් දරලා තියන නිසා වාහනය ධාවන තත්ත්වයට හැකි විගස ගන්නවා නම් හොදයි. මොකද ඔබ වියදම් කර ඇත්තේ ඔබ දාඩිය මහන්සියෙන් හම්බ කර ගත් මුදල් වන නිසා.
එබැවින් අළුත්වැඩියාවේ ඉදිරි කටයුතු රථය ධාවන තත්ත්වයට පත් කිරීම සදහා ප්‍රමුඛතාවය ලබා දෙන්න. ඒ සදහා මේ නුලේ තවත් සහෝදරයෙක් වටිනා අදහස් ගොඩාක් ලබා දී ඇති බව මම දැක්කා. එම අදහස් සමග මම 100% එකග වෙනවා. එම උපදෙස් අනුව හැකි විගස කටයුතු කිරීම සුදුසුයි.
02. තව අපොස්ටින් Tyre 4 දාන්න තියෙනවා
මෙතනදි නම් ඇපෝස්ටින්ග් එකට වඩා ටයර් 04 දාන එකට ප්‍රමුඛතාවය ලබා දෙන්න. දීර්ඝ කාලයක් එක තැන තිබීම නිසා ටයර් වල කම්බි කැඩිලා එය අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා තියෙන්න පුළුවන්.
03. අවුරුදු 4ක් එක තැන තිබිලා එන්ජින් ඔයිල් මාරු නොකර ස්ටාර්ට් කලාට අවුලක් නැද්ද?
කිසි සේත්ම අනුමත කරන්නේ නෑ. පලපුරුදු එන්ජින් කාර්මිකයෙක් යොදවලා පරීක්ෂා කරලා බලන්න. නැත්නම් ඔබට යම් කාර්මික දැණුමක් ඇත්තෙකු නම් මීට පෙර සහෝදරයෙක් ලබා දී තිබූ උපදෙස් අනුව ක්‍රියා කර බලන්න. මට නම් හිතෙන්නේ විශ්වාසවන්ත කාර්මිකයෙක් යොදවන එක තමා වඩාත්ම සුදුසුයි.
04. දානවනම් දාන්න ඕනේ ඔයිල් එක මොකක්ද?
එන්ජිමේ වර්ගය හරි හැටි දන්නේ නැතිව කියන්න අමාරුයි. විශ්වාසවන්ත කාර්මිකයෙක් යොදවා පරීක්ෂා කරලා උපදෙස් ලබා ගත්තොත් නම් හොදයි.
05. මට හිතාගන්න බැරි අපරාදයක්ද කියන එක එහෙම වියදම් කරන එක ලොකුවට
ඔබ දැනටමත් මේ සදහා සැලකිය යුතු වියදමක් මෙයට දරා ඇති බව පේනවා. මාර්ගයේ භාගයක් ඇවිත් දැන් අරගත්ත තීර්ණය ගැන ඔබ දෙගිඩියාවකින් පසු වන බව පේනවා. ඒ නිසා මට කියන්න තියෙන්නේ රථය කෙලෙසක හෝ හැකි විගස ධාවන තත්ත්වයට ගැනීම සුදුසුයි.
වැඩිදුර විස්තර
මම මගේ අප්පච්චිගේ Toyota KE 72 නොහොත් DX Wagon රථය සමග වසර 20 කට ආසන්න කාලයක් අත්දැකීම් සහිත කෙනෙක්. හැබැයි ඒ 1295cc ප්‍රෙටල් එන්ජිම සහිතව රථයේ නිෂ්පාදකයා නිර්දේශ කර ඇති තත්ත්වයන් යටතේ රථය තබා ගැනීමෙන්. අඩුම තරමේ එයට Alloy Wheel භාවිතා කිරීමටවත් මගේ අප්පච්චි ඉඩ හසර ලබා දෙන්නේ නැ. තාමත් යකින්නක් වගේ ඕනෑම වැඩකට සුදානමින් ඇය ඉන්නවා.
මෙම රථය ගැන කෙටියෙන්ම කියනවා නම් අවශ්‍ය විට කොට අදින ඇතෙක් වෙනවා අවශ්‍ය විටක පෙරහැරේ යන ඇතෙක් වෙනවා. ඕන වැඩකට ඔට්ටුයි කියන එක තමයි ඒකෙන් කියන්නේ.
මට මතකයි අපේ ගෙදර අළුත්වැඩියා කරද්දි සිමෙන්ති කොට්ට 15 ක් පටවලා (ඒක කවදාවත්ම කරන්න එපා මොකද මෙම රථයට පටවන උපරිම බර 750kg ක් පමණක් වන නිසා) අපේ ගෙදරට එන්න තියන මහගිරිදඹ් වගේ කන්ද එක හුස්මට කිසිම අවුලක් නැතිව අදිනවා.
ඒ වගේම තමයි හරියටම ටියුන් කලාම (සයිලන්සරෙන් වතුර වැටෙනවා හරියටම ටියුන් කලාම) දුර දුවද්දි ඔබ මනා ගියර් පාලනයක් ඇති අයකු නම් AC රහිතව යන විට පෙට්‍රල් ලීටරයට 20km දුරක් සහ AC සහිතව පෙට්‍රල් ලීටරයට 16km දුරක් කිසිම අමාරුවක් නැතිව යන්න පුළුවන් කියලා මම අත්දැකීමෙන් දන්නවා.
තව හයිවේ එකේදී මම උපරිම වේගය 110kmh-1 පමණ ගිහින් තියනවා. අළුත් කාර් එකකට පරණ කාර් එකකින් ගිහින් හෝන් එකක් ගහලා ඉස්සර කරද්දි සහ එහෙම ඉස්සර කලාම අරු දත කාගෙන අමාරුවෙන් ඇවිත් ආයේ ඉස්සර කරන්න උත්සාහ ගනිද්දි දැනෙන හැගීම මාරම ආතල් එකක්.
හැබැයි රථය පරණ උනත් Mechanical Parts වල නම් කිසිම අඩුවක් නැතිව තාමත් ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන්. බුදු අම්මෝ Body Parts නම් කළුනික හොයනවා වගේ තමා. තිබ්බත් පට්ට ගණන් කියන්නේ ඒක නිසා මම දොරවල් වල ඇපෝස්ටින්ග් ඇතුලේ ග්‍රීස් කිලෝ ගානක් දාලා දිරන්නේ නැතිව තියාගන්න උපරිම උත්සාහ ගන්නවා. වාහනේ Drive කරද්දි පුළුවන් තරමි පරිස්සමින් අනතුරක් නොවෙන්න ගමන් කරන්න වග බලා ගන්නවා.
කෙසේ හෝ මේ සහෝදරයාගේ ගැටළුවේදී මම නම් දකින විදියට රථය හැකි තරම් ඉක්මනින් ධාවන තත්ත්වයට පත් කර ගන්න.
ඉන් පසුව ඔබ ටික කාලයක් භාවිතා කර බලන්න. රථය නඩත්තුව සදහා ඔබට වෙනත් නවීන රථ වලට සාපේක්ෂව අඩු වියදමක් දරන්න තියෙන්නේ.
රථය කිසිම අවස්ථාවක Power Steering කරන්න උත්සාහ කරන්න එපා. ඒක බොරු වියදමක් විතරයි. Steering Box එක හොද තත්ත්වයේ තියනවා නම් ඉතාමත් හොදින් රථය හරවන්න පුළුවන්. මෙම රථයේම දිග පළල තියන Power Steering පහසුකම ඇති Tata Cab එකකට වඩා අඩු කවයකින් මෙම රථය ආපසු හැරවිය හැකි බව මම අත්දැකීමෙන්ම දන්නවා. එකතැනම තියලා අමාරුවෙන් කපන්නේ නැතිව රථය හෙමින් චලනය වෙන්න දීලා කපන එකෙන් එහි අපහසුභාවය නැති කරගන්න පුළුවන්.
AC පද්ධතිය ගැන කථා කරද්දි රථයේ පවතින AC පද්ධතිය මේ කාලෙට ගැලපෙන්න කාර්යක්ෂමතාවය හොදටම අඩුයි. නමුත් කාර්යක්ෂම නවීන AC පද්ධති වල කොටස් එම පද්ධතියටම එක්කරලා සුපිරියටම AC පද්ධතියත් හදා ගන්න පුළුවන්.
මෙම රථය ගැන Facebook එකේ Page එකකුත් තියනවා. එයින් විශාල අදහසක් මෙම රථය ගැන ඔබට ලබා ගන්නත් පුළුවන්. ඔබට ඇති ගැටළුව එවැනි තැනක කථා කලොත් වඩාත් හොද විශේෂඥ උපදෙස් ලබා ගත හැකියි. (
https://www.facebook.com/groups/421096481581022/ )
මම මේ අදහස දැක්වීම කලේ මගේ අත්දැකීම් වලින්. ඒත් කිරියේ ඉන්න ඉන්ජිනේරුවෙක් යැයි කියා ගන්න
justinshady කියන පුද්ගලයා කියන විදියට මම පරණ ජපන් වාහන ගන්න කියන එකට කඩේ නොයන එකෙක් බව කරුණාවෙන් සලකන්න. මීට සතියකට පමණ පෙර ඇල්ටෝ එකක් ගන්න හිටිය සහෝදරයෙකුට දුන්න පිළිතුරුද මෙහි ලා වැදගත් වේ යැයි හිතුන නිසා එයද ඉදිරිපත් කරමි.
(
https://elakiri.com/threads/ඇල්ටො-එකක්-ගන්න-යන්නෙ.2031347/page-6 )