Etha Epitha Gammanen Naga Ena..........

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    "පාළු රැයක ඇසෙන දුක්බර ම කවිය..."

    sleeping_girl_in_moonlight_in_big_white_gown_zps7f70e1a8.jpg


    එක්දහස් නමසිය අසූව වසරේ මම නුගේගොඩ දෙල්කඳ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටියෙමි. තෙමහල් ගොඩනැඟිල්ලක තුන්වන මහලේ මා සිටි කාමරයට යාබද කාමරයක චිත්‍ර ශිල්පියෙක් සිටියේ ය.

    ඔහු නමින් තිලක් නින්දවන්ත ය. රාත්‍රියේ ඔහුගේ කාමරයට අල්ලාප සල්ලාපයේ යෙදීම සඳහා ප්‍රථමයෙන් ම ගිය දිනයේ ඔහුගේ බිත්තියේ එල්ලා තිබූ විශාල චිත්‍රයක් මගේ ඇස ගැටිණි.

    පැල්පතක කවුළුවෙන් එළිය බලා සිටින දුක්බර යුවතියකගේ මුහුණකට සඳ එළිය වැටී ඇති අයුරු එහි සිතුවම් වී තිබිණි.

    අප මධු විතකින් ප්‍රාණවත් වෙමින් සිටි ඒ මොහොතේ ඔහු මගෙන් ගීයක් ගයන ලෙස ඉල්ලා සිටියේ ය.

    මගේ දෑස් ඉදිරියේ දිස් වුණ ඒ සිතුවමත් සමඟ මට මතක් වූයේ මේ ගීතයයි. මම හැඟීම් බර ව කඩ හඬ අවදි කළෙමි.

    "ඈත එපිට ගම්මානෙන් නැඟ එන
    බට ලී හඬ අතරේ
    ඉතාම දුක්බර කවියක් මතුවෙද
    ඇය නිදි නොමැති පැලේ"


    කාව්‍යකාරයාගේ ලෝකය සැබෑ ලෝකයට වඩා වෙනස් ය. සැබෑ ලෝකයේ දී මිනිසුන් මුහුණ දෙන සංවේදනා ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු කල්පනා ලෝකයක් හෙවත් මායා ලෝකයක් මවා ගනී. රසිකයාව වඩාත් පහසුවෙන් ප්‍රකම්පනය කළ හැකිවන්නේ ඒ මායා ලෝකයේදී ය.

    ගම්මානයකින් නැඟෙන්නා වූ බටලී හඬ අප තුළ ජනිත කරවන්නේ ශෝකී බවකි. ඈත එපිට ගමක බටලී හඬ ඇසෙන්නට නම් පරිසරය අතිශයින් ම නිහඬ විය යුතු ය. ඒ නිහඬ පරිසරයෙන් බටලී හඬ හීන් සීරුවේ ගලාගෙන යද්දී ඇය සිටින පැල්පතෙන් ඇසෙන්නේ දුක්බර කවියකි. එය බටලී හඬ සමඟ මුසු වනවිට එහි දුක්බර බව තව තවත් වැඩිවෙයි.

    කවිය ගායනා කරන ඇය සිටින්නේ නිදි නොමැතිව ය. ඇය විරහිනියක බව වැටහේ. මේ හඬ අසා සිටින තරුණයාගේ හා ඇයගේ ආලවන්තකමට බාධාවක් එල්ල වී ඇති බව පැහැදිලි ය. වැඩිහිටියන් ගේ ප්‍රතිවිරෝධතාවක් ඔවුනට එල්ල වන්නට ඇත.

    ගං දෑලේ වැලපෙන සක්වාලිහිණියන් මෙන් ඔවුනට ද අමිහිරි වූ විරහ වේදනාව විඳින්නට සිදුවී තිබේ. දුක්බරව ළතැවෙන ඇගේ මුහුණ රසිකයාගේ දෑසෙහි මැවීමට ගීත රචකයා සමත් වෙයි. මේ චිත්ත රූප මැවීමේ කුසලතාවය සුනිල් සරතුන් ගේ වෙනත් නිර්මාණයන්හි දැකිය හැකි ය.

    ඇගේ දුක නිවන්නට ඈ වෙත පියනැඟීමට අවසරයක් ඔහුට නොමැත. ඔහුට සිදුවී ඇත්තේ දුකින් බලා සිටීමට පමණි. ඇගේ පැල ඔහුට විමානයකි. මන්ද ඔහුට ඇය රැජනක් බැවිනි.

    ඔහු මන්දිරයක සිටියත් ඔහුට දැනෙනුයේ එය අම්බලමක් ලෙසයි. කර කියා ගන්නට දෙයක් නොහැකිව අතරමං වූ පෙම්වතකුගේ ආත්මීය විලාපය රචකයා තම මායා ලෝකයට ඇතුළු කරගනී.

    "මලානිකව හඳ එළිය ගලා එන
    අම්බලමක සෙවණේ
    බලා හිඳීමි ඔබ සිටින විමන් දොර
    දැල්වෙන එළිය බඳේ"



    දෙදෙනාගේ ම ආත්මය මිරිකාගෙන පිටාර ගලන වේදනාව දෑස්වලින් දිස්වෙයි. ඔහු තම දෑසේ කඳුළු සඟවා ගෙන ඇගේ දුක්බර දෑස මවා ගැනීමේ උත්සාහයක නිරත වෙයි. ඔහු ඉදිරියේ මැවෙන්නේ කඳුළින් බොඳ වූ නීල නුවන් තරු කැට දෙකකි.

    "වේදනාව නෙතු අගට ගලාලා
    ඉකි ලන නිහඬ රැයේ
    නීල නුවන් තරු කැට බොඳ වෙනවා
    කාටත් හොර රහසේ"


    රචකයාගේ මායා ලෝකය අතිශයින් ප්‍රබල ය. විරහ විරහිනීන්ගේ සියලු ම සංවේදනා ඔහු ඒ මායා ලෝකයට එක් කරගනී. මුළු පදමාලාවේ ම නිරායාසයෙන් ගැබ් වන ගේයතා ගුණය නිසා සංගීතඥයාට ද නිරායාසයෙන් මිහිරි තනුවක් ගලා එයි.

    සංගීත් නිපුන් සනත් නන්දසිරි ගේ තනු නිර්මාණ කතිකාවකට බඳුන් නොවුව ද පදමාලාව සමඟ බද්ධ වන ඖචිත්‍යයන් ගෙන් යුතු ශබ්දාලංකාරයන් ගෙන් එම තනු සමන්විත ය. ඒ තනුව තුළ බටලී හඬ සමඟ මුසුවන කඳුළු බිංදු ද අන්තර්ගත ය.

    අතීතය සිහිකරන සෑම විට ම දෙල්කඳ බෝඩිං කාමරය මට සිහිවෙයි. ඒ සමඟ ම මගේ මිතුරාගේ බිත්තියේ එල්ලා තිබූ සිතුවම මතකයට නැඟෙයි. අම්බලමක සෙවණේ නොසිටිය ද ඒ යුවතියගේ ශෝකී දෑස මා ඉදිරියේ දිස්වෙයි. සඳ එළිය වැටුණු රාත්‍රියක මම මේ ගීතය තනිව මුමුනමි. වචනයෙන් කිවනොහැකි වේදනාවක් සමඟ නිදි යහනට ගොස් දෑස් පියා ගතිමි.

    a_zps7c007fa8.jpg


    උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.
     
    • Like
    Reactions: sandaru1rox