මේ කියන ඒවායින් සමහර ඒවා ඇත්තයි. සමහර ඒවා අමූලික බොරු. මම ඒ ගැන මීට පෙර අඩුම තරමින් දෙවතාවක් වත් පැහැදිලි කිරීම් සහිතව පිළිතුරු දී තියනවා. මේ පිළිතුර ලියන්නේ මේ පෝස්ට් එකේ පළමුවන වාක්‍යය වන
//JR බලයට එනකොට ආණ්ඩුවෙ ඉඩම් සංචිතය විතරක් අක්කර මිලියන ගානක් තිබුනා.//
කියන වාක්‍යය සම්බන්ධයෙන් පමණයි.
මේ කියමන සම්පුර්ණ ඇත්තයි. 1972 දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ රජයට පවරා ගත් ඉඩම් සියල්ලම 1977 වන විටත් තිබුනේ සම්පුර්ණ රාජ්‍ය අයිතිය යටතේයි. නමුත් 1972 දී රජයට පවරා ගත්තේ මොන විදියේ ඉඩම්ද ?, ඒවා අවුරුදු පහකට පස්සේ 1977 වෙනකොට තිබුනේ මොන තත්වයේද කියන එක මෙතන නොකීම අඩුපාඩුවක්.
රන් පවුම් වතු ජනසතුව කියලා විදේශීය (බ්‍රිතාන්‍ය) සමාගම් යටතේ පාලනය උන සහ ලාංකිකයන් සතුව තිබූ, එවකට ඉතාම ඉහල ආදායමක් ලබමින් තිබු වතු සියල්ලම 1972 දී රජයට පවරා ගත්තා. උපරිම පුද්ගලික අයිතිය අක්කර පනහකට සීමා කළා. Ceylon Tea ලෙස ලොවම දිනා සිටි ලංකාවේ තේ වල, අවසානයේ ආරම්භය එයින් සටහන් උනා. මේ තේ වතු උසවසම,ජනවසම වැනි (රාජ්‍ය)ආයතන යටතට පත් කර ඒවායේ පාලනය සඳහා දේශපාලන හිතවතුන් පත් කළා. ජනසතුවට පෙර මේ වතු වල අයිතිකරුවන් ලෙස හෝ පාලකයන් ලෙස සේවය කල බ්‍රිතාන්‍ය ජාතිකයන් සියල්ලම වාගේ මේ වතු රැක බලා ගත්තේ ඉතාම ආදරයකින්. ඔවුන් කිසිවිටකත් වතු පාලනය රැකියාවක් ලෙස සැලකුවේ නැහැ එය ඔවුන් ආදරය කල passion එකක් ලෙසට සැලකුණා කීම නිවැරදියි.
""මෙයින් අදහස් වන්නේ නැහැ සුද්දන් අපේ රට අල්ලා ගැනීම හෝ ඔවුන්ගේ පාලනය මම අනුමත කරන බව. මම කිව්වේ මේ වතු පාලනයට ඔවුන් දැක්වූ සැලකිල්ල ගැන පමණයි.""
1977 වනවිට අසාර්ථක පාලනය නිසා වසා දැමුණු වතු බොහෝ ගණනක් තිබුනා. ඒ හැර ආදායමට වඩා වියදම වැඩි උන, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් වලින් නඩත්තු වන වතු බොහෝ ගණනකුත් තිබුනා. සුද්දාගේ කාලේ තිබුන පාලනය, ආදායම, නඩත්තුව, වෙනුවට දුෂණය, වංචාව, හොරමැරකම් නිසා වතු "සියල්ලම" ඉතාම අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දී තිබුනා. 1977 න් පසු මේවා පුද්ගලීකරණය කිරීම හෝ දේශපාලකයන් තම තමන්ගේ දේශපාලන හිතවතුන්ට ලබා දීමත් 1972 දී සිදු කල විනාශයට අඩු වැඩි වශයෙන් සමානයි. නමුත් ඊට තියන විකල්පය මොකක්ද කියන එකත් ප්‍රශ්නයක්.
මේ ගැන කලකට පෙර රුවන් ජයතුංග නම් මහතෙකු ලිවූ ලිපියක් පහතින් පල කරනවා.
සුද්දිගේ තේ වත්ත
Posted on May 23rd, 2017
වෛද්‍ය රුවන් එම් ජයතුංග
මිණිපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කල සමයේ මා රාජකාරී වැඩ සඳහා මහ නුවර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට ගියේ හුන්නස්ගිරිය හරහාය. හුන්නස්ගිරිය ආසන්නයේ විශාල නිසරු මුඩු ඉඩමක් දක්නට ලැබේ.
” සර් දන්නවද මේක ඉස්සර සරු තේ වත්තක් කියලා ? රියැදුරු පුංචි බණ්ඩා මට මේ මුඩු ඉඩම පෙන්වා කීවේය.
පුංචි බණ්ඩා ගේ විස්තර අනුව මෙය ඉතා සරුසාර තේ වත්තකි. එහි අයිතිකරුවා සුද්දෙකි. දැන් සුද්දා මිය ගොසිනි . ඔහුගේ මහළු බිරිඳ තවමත් බංගලාවේ ජීවත් වන්නීය.
” කොහොමද තේ වත්ත පාළුවට ගියේ ? මම පුංචි බණ්ඩා ගෙන් ඇසුවෙමි.
” සර් වත්ත පවරා ගත්තට පස්සේ මිනිස්සු මේකෙ තිබ්බ ගස් කපලා විකුණ ගත්තා. තේ ගස් පවා උදුරලා දරට ගත්තා. හොඳ ආදායමක් තිබූ වත්තක් විනාස කරලා දැම්මා. අපේ මිනිස්සු තමයි මේක කාබාසිනියා කලේ ” ඔහු කීවේය.
මම තව තවත් හාර හාරා විස්තර ඇසුවෙමි. සිදුවී ඇත්තේ මෙයයි. රන් පවුම් වතු ජනසතු කල යුගයේදී මෙවැනි සරුසාර තේ වතු රජයට පවරාගෙන ඒවා පාලනය සඳහා තමන් ගේ දේශපාලන හෙන්චයියන්ට භාර දෙන ලදි. හාමතෙන් සිටි උන් ඉහගෙන කන්නාක් මෙන් මොවුන් මුලින්ම වත්තේ තිබූ වටිනා ගස් විකුනාගෙන කන ලදි. ඉන් පසු වත්තේ තිබූ කළුවර ගෘහ භාන්ඩ , පියානෝ යනාදියට වග කියන ලදි. ඉන් පසු වත්තේ ආදායම හොරා කන ලදි. තේ ගස් නඩත්තුවට පෝර සඳහා මුදල් වැය කරන බව පෙන්වා මුදල් ගසා ගෙන කෑම නිරන්තරයෙන්ම කෙරුනේය. . පොහොර හා නඩත්තුව නොමැතිව තේ ගස් මැරුණු විට ගම්වාසීන් සමූහ වශයෙන් වත්තට පැන තේ ගස් උදුරාගෙන යන ලදි. ඉතා හොඳ ආදායමක් ලැබූ දැකුම්කළු වත්ත විනාස කිරීමේ ශෝකය නිසා සුද්දා මිය ගියේය. ලංකාවට බෙහෙවින් ඇළුම් කල ඔහුගේ බිරිඳ ගරා වැටුණු බංගලාවේ ජීවත් වූවාය. පසුව මිනිසුන් බලෙන් වත්තේ ඉඩම් අල්ලගෙන පදිංචි වූහ. දැන් තිබෙන්නේ අතීත ශ්‍රී විභූතියේ නටබුන් පමණි.
ඉතා හොඳ කළමනාකරණයක් තිබූ ආදායම් ඉපැද්දවූ තේ වත්තක් අපේ අයියලා මෙලෙස විනාශ කලහ.මේ විනාශය කලේ අධිරාජ්‍යවාදී විරෝධය , වතු ජනසතු කිරීම ආදී වචන යොදා ගනිමින් ගැලරිය පිනවමිනි. තේ වගාව ගැන දැණුම තිබූ විශේෂඥයන් ඉවත් කොට එ් හිඩැස තම නූගත් දේශපාලන ගැත්තන් ගෙන් පුරවා කරන ලද විනාශය අති මහත් ය. මේ දේශපාලන ගැත්තන් තේ වගාව තබා මිරිස් පාත්තියක් වත් වගා කිරීමට නොදත් අඳ බාලයන් වූහ.
තේ වතු වලින් තේ පැළ උගුල්ලවා ඒවා වල බතල සිටවනවා කී විජේවීර 1971 දී සහ 1988 දී තම අනුගාමිකයන් යොදවා තේ ෆැක්ටරි වලට ගිනි තැබුවේය. මේරිස්ටන් තේ ෆැක්ටරිය යනු ජවිපෙ විසින් 1971 දී විනාශ කල ඉතා විශිෂ්ඨ තත්වයේ තිබූ තේ කම්හල් වලින් එකකි. තේ වතු කෙරෙහි විජේවීරගේ වයිරයට එක් හේතුවක් වූයේ යූ.එන්.පී විරුද්ධවාදීන් විසින් දෙනියාය ප්‍රදේශයේ වතු කම්කරුවන් ලවා පහර දී ඔහුගේ පියා සදාකාලික අබ්බගාතයෙකු කිරීමය. තවද තේ වතු නිසා නියඟය එනවා කියා ඔහු විශ්වාස කලේය. මේ හැර ඇන් ඇම් පෙරේරා විසින් අධිරාජවාදීන්ට පාඩමක් ඉගැන්වීම සඳහා වතු ජනසතු කිරීමට සිරිමාවෝ අගමැතිනියට බලපෑම් කලේය. මේ වතු ඉඩම් උඩරට ගැමියන් ගේ ඒ නිසා ඒවා අපි පවරා ගන්නවා කියමින් ලෝකයේ තිබූ ඉතා හොඳ කෘෂි වියාපෘතියක් මෙයාකාරයට සමතලා කරන ලදි. ජනසතුවෙන් පවරාගත් වතු දුර්වළ කළමනාකරණය නිසා පිරිහෙන්නට විය.
මෙලෙස කඳුකරයේ තිබූ සරුසාර ආදායම් ඉපැද්දවූ තේ වතු විනාශ මුඛයට යන ලදි. දුර දිග නොබලා න්‍යායන් මත පදනම්ව ගත් දේශපාලන තීන්දු නිසා ලෝකයේ හොඳම තේ නිෂ්පාදනයක් තිබූ ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය පහල වැටුණු අතර ලංකාවේ මෝඩකම් තම වාසියට හරවා ගත් කෙන් යාව තම තේ වතු වැඩි දියුණු කලහ. ලංකාව පයින් ගසා එලවූ තේ ආයෝජකයන් , තේ වගාව පිලිබඳ විශේෂඥයන් ඔවුන් කෙන් යාවට ගෙන්වා ගෙන තේ වගාව ආරම්භ කලහ. 2012 වසරේදී කෙන්යාව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.45 මුදලක් උපයා ගන්නා ලදි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග