කඩවර දෙවියෝ වැව් ගම් වල ගම්මුන්ට අනුකම්පා කරන දෙවි කෙනෙක්. උන්නාන්සෙට ‘කලා කඩවර’ එහෙම නැත්නම් ‘සෙනෙවිරත්න මුල් කඩවර’ කියලත් කියනවා. නඩු හබ වලට යන ගම්මු සුදු මල් මාලයක් පැළඳගෙන ගිහින් උඩක එල්ලලා කඩවර දෙවියන් සිහි කරනවා.
කඩවර දෙවියෝ දවසකට වතාවක් ලංකාව වටේ ගමන් කරනවාලු. ඒ ලංකාවේ ආරක්ෂාව ගැන බලා ගන්ට. උන්නාන්සෙ ගමන පටන් ගන්නෙ කදිරමලේ කන්දෙන්.
කදිරමලෙන් පටන් අරගෙන යාපනේ, තිරිකුණාමලේ, කොට්ටියාරාම පහු කරල කතරගමට යනවා. කතරගම දී කදිර දෙවියොත් එක්ක මැණික් ගඟෙන් දිය නානවා. දිය නාලා මාතර, ගාල්ල පහු කරලා පුස්තලමෙ ලුණු ලේවාය බලල තමයි ගමන අවසන් කරන්නෙ.
ගම්මු කියන විදිහට කඩවර දෙවියෝ දේවත්වය ලබන්ට කලින් කලා වැවේ ආරක්ෂක නිලධාරියා. වැව බිඳුණු දවසක මේ ආරක්ෂක ඇත්තා වැවේ කඩවලට පැනලා ජීවිතේ හානි කර ගත්තලු. එදා පටන් කඩවර දෙවියන් බවට පත් වුණාලු.
කඩවර දෙවියන් ලංකාව වටේ ගමන් කරන වෙලාවට කිසිදු දෙවියෙක් ඒ ගමන් මග අවහිර කරන්නෙ නෑ. ඒත් දවසක් කම්බිලි යකා ඒ ගමන් මග හරහා ගියා. හිතාමතා නොවෙයි. වැරදීමකින්. කඩවර දෙවියෝ උදහස් වෙලා කම්බිලි යකාට දඬුවම් කළා. ඒ දඬුවම බිංගිරිය රජ මහා විහාරයේ මලුව කිල්ලෝටයකින් වැලි ඇදලා පුරවන්නයි.
2009 මාර්තු 1 සිළුමිණ