its not that people never satisfied what they have already. they need more
ලෝභයේ නො පිරවිය හැකි බව
පොළොවෙහි ඇති තාක් ගං හෝ වලින් මහා ජලස්කන්ධයක් පොළොව ඇති වූ කාලයේ පටන් අද දක්වාත් සාගරය කරා ගලා බසින මුත් මහාසාගරය ජලයෙන් නො පිරෙන්නේ ය. අදත් පැමිණෙන තාක් ජලය මහා සාගරය ගන්නේ ය. නො පිරෙන්නා වූ ඒ මහා සමුද්‍රය සේ සත්ත්වයාගේ ලෝභය ද කිසි කලෙක නො පිරෙන්නේ ය. සියයක් ලැබූ කල්හි ලෝභය වැඩී දහසක් පතන්නේ ය. දහස ලැබූ කල්හි දස දහසක් පතන්නේ ය. දස දහස ලද හොත් ලක්ෂයක් පතන්නේ ය. ලක්ෂය ලැබූ කල්හි කෝටියක් පතන්නේ ය. එක් රටක් ඇති රජ තවත් රටක් පතන්නේ ය. එය ද ලදහොත් තවත් රටක් පතන්නේ ය. එය ද ලදහොත් තවත් රටක් පතන්නේ ය. එයත් ලදහොත් තවත් රටවල් පතන්නේ ය. මුළු පොළොව ම එක් රජකුට වුව ද තෘප්තියට පැමිණීමක් නම් නො වන්නේ ය. ලෝභයේ වැඩෙන ස්වභාවයට හා අතෘප්තකර බවට සාධක වශයෙන් මන්ධාතු රජතුමාගේ කථාව දක්වති. ඒ මෙසේ ය. –
මන්ධාතු රජතුමාගේ කථාව
කල්පයාගේ පටන් ගැන්මේ දී මහා සම්මත නම් රජෙක් විය. එතුමාගේ පුත්‍රයා රෝජ නම් විය. ඔහුගේ පුත්‍රා වරරෝජ නම් විය. ඔහුගේ පුත්‍රයා කල්‍යාණ නම් විය. ඔහුගේ පුත්‍රයා වරකල්‍යාණ නම් විය. ඔහුගේ පුත්‍රයා උපෝසථ නම් විය. ඔහුගේ පුත්‍රයා මන්ධාතු නම් විය. එතුමා වනාහි සප්ත රත්නයෙන් හා සෘද්ධි සතරකින් ද යුක්ත වූ චක්‍රවර්ති රජෙක් විය. එතුමා සත් රුවන් වැසි වස්සන්නට ද සමර්ථයෙක් විය. එතුමා සුවාසූ දහසක් වර්ෂ කුමාර ක්‍රීඩා කෙළේය. සුවාසූ දහසක් වර්ෂ සක්විති රජකම් කෙළේය. එතුමාගේ මුළු වයස වර්ෂ අසංඛ්‍යයකි. එතුමා එක් දිනක් තණ්හාව පුරවන්නට අසමර්ථව කලකිරුණු ස්වභාවයකින් සිටියේ ය. ඇමැත්තෝ “දේවයන් වහන්ස, කුමට කලකිරී සිටින සේක්දැ”යි ඇසූහ. එකල්හි රජතුමා කියනුයේ “මාගේ පින් බලේ සැටියට මේ රාජ්‍යය සුළු ය. මෙය කුමටද? සැප ඇති තැනක් ඇත්තේ කොහි දැ”යි කීය. ඇමතියෝ “දේවයන් වහන්ස, දිව්‍ය ලෝකය නම් මෙයට වඩා සැප ඇති තැනකැ”යි කීහ.
එකල්හි එතුමා චක්‍රරත්නානුභාවයෙන් සිය පිරිසත් සමග චාතුර්මහාරාජික දිව්‍යලෝකයට ගියේ ය. එහිදී දෙවිවරු එතුමා පිළිගෙන රාජ්‍යය ද දුන්හ. ස්වකීය පිරිස ද පිරිවරාගෙන එතුමා එහි දීර්ඝකාලයක් දිව්‍ය රාජ්‍යය කෙළේය. දිව්‍ය රාජ්‍යය ලැබීමෙන් ලෝභය තවත් වැඩුණා මිස එතුමා තෘප්තියට පත් නොවී ය. තිබෙන සම්පත්වල මඳ බව කල්පනා කොට එතුමා එහි ද කලකිරුණේ ය. සතරවරම් දෙවිවරු එතුමා කරා එළඹ “කුමට කලකිරී සිටිනෙහි දැ”යි විචාළෝ ය. මන්ධාතු රජතුමා “මෙයට වඩා සැප ඇති තැනක් නැත්දැ”යි විචාළේ ය. එකල්හි දෙවිවරු තව්තිසා දෙව්ලොව එයට වඩා සැප ඇති තැනක් බව කීහ. මන්ධාතු රජතුමා සිය පිරිස සමග එහි ද ගියේ ය. එහිදී ද ශක්‍රයන් විසින් එතුමාට රාජ්‍යයෙන් අඩක් දෙන ලද්දේ ය. මන්ධාතු රජතුමා එහි රජකම් කරද්දී ම අවුරුදු තුන් කෝටි සැටලක්ෂයක් වූ ආයුෂය ගෙවී ශක්‍ර තෙමේ කාලක්‍රියා කෙළේය. දෙවෙනි ශක්‍රයෙක් පහළ වී ඔහු ද එපමණ කල් රාජ්‍යය කොට මිය ගියේ ය. මේ ක්‍රමයෙන් ශක්‍රන් සතිස් දෙනකුන් රජකම් කරන තුරු මනුෂ්‍ය වූ මන්ධාතු රජතෙමේ එහි රජය කරමින් විසුවේ ය. කල් යත් යත් ඔහුගේ ලෝභය තවත් වැඩුණේ ය. ඔහුට ශක්‍රයා මරා මුළු රාජ්‍යය ම ගන්නට සිත් විය. ශක්‍රයා නොමැරිය හැකි කෙනෙකි. අධික ලෝභය ඔහුගේ විපතට හේතු විය. ශරීරය දිරා ගියේ ය. මරණයට ළංව සිටියේ ය. එකල්හි එතුමා දෙව්ලොවින් බැස මිනිස් ලොව තමාගේ උයනට පැමිණියේ ය. උයන් පාලකයා මන්ධාතු රජු පැමිණි බව රජගෙට දැන්වීය. රජ ගෙයින් නෑයෝ අවුත් එතුමාට උයනෙහි ම යහනක් පැනවූහ. රජතුමා එහි මතු නො නැගිටින සේ සැතපුණේ ය. ඇමැත්තෝ “මහරජාණෙනි, නුඹ වහන්සේගෙන් මතු මහජනයාට කුමක් කියන්නමෝදැ”යි විචාළෝ ය. එකල්හි එතුමා මාගේ ඇවෑමෙන් මහජනයාට “මන්ධාතු රජතුමා දෙදහසක් පිරිවර කොදෙව් ඇති සතර මහාද්වීපයෙහි චක්‍රවර්තී රජකම කොට, චාතුර්මහාරාජික දිව්‍ය ලෝකයෙහි ද රාජ්‍ය කොට, ශක්‍රයන් සතිස් දෙනකුන් නික්මෙන තුරු තව්තිසා දෙව්ලොව ද රජසිරි විඳ තෘෂ්ණාව සම්පූර්ණ කළ නොහැකිව ම කාලක්‍රියා කෙළේ ය යන පණිවිඩය කියව්” ය යි කාලක්‍රියා කෙළේ ය.
මේ රජතුමාට මුළු පොළොවත් ලැබ දිව්‍යලෝක දෙකක රජ බවත් ලැබ තෘප්තියට පැමිණෙන්නට නුපුළුවන් වූ කල්හි වස්තු ස්වල්පයකින් කෙසේ මේ ලෝභය පිරවිය හැකි ද? නො හැකි ම ය. වස්තුව සොයා කිසි කලෙක කිසිවකුට ලෝභය සම්පූර්ණ කොට තෘප්තියට පැමිණ ප්‍රීතියෙන් සිටින්නට නොලැබේ. තෘප්තියට පැමිණිය හැක්කේ ලෝභය දුරු කිරීමෙන් ම ය. ලෝභය උපදනා වස්තූන් සපයත් ම නැවත නැවත දර ලන ගිනි කඳක් සේ ලෝභය තව තවත් වැඩෙන්නේ ය. ඒ බව දත්තා වූ නුවණැත්තෝ ඒ ලෝභය දුරු කොට පරම ශාන්ත නිවන් සුවය හිමිකර ගත්තෝ ය.
-වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම -
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
(සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, ප්‍රවචන විශාරද,
අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)