මේ තීරණාත්මක අවස්ථාවේ බොහොදෙනකු වැරදි ලෙස සිතා සිටින්නේ එකට ආප්ප කෑමෙන් පසුව කෙරෙන පාවාදීම් වලට චිර ප්‍රසිද්ධියක් දරණ අපේ රටේ වත්මන් රාජ්‍ය නායකයා මෙවර ආප්ප කා පාවාදී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවය.
හැබැයි පාර්ලිමේන්තුවේ සංයුතිය සේම අංක ගණිතයද දන්නා පිරිසකට ඔහු සත්‍ය වශයෙන්ම දෙවන වරටත් පාවාදී ඇත්තේ තාවකාලික අග්‍රාමාත්‍ය ෆැන්ටසිය විඳිමින් සිටින මහින්ද රාජපක්ෂ මහතාම බව පැහැදිළිය.
මා පහත උපුටා දක්වන්නේ මේ අවස්ථාවේ අපේ පාර්ලිමේන්තුවේ පක්ෂ වශයෙන් සංයුතියයි. අද Sunday Times පුවත්පත උපුටාදක්වන මේ තොරතුරු වලට එක් කළ යුත්තක් ඇත. එනම් SLMC ලෙස දැක්වෙන රවුෆ් හකීම් මහතාගේ මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් සත් දෙනාගෙන් සයදෙනකුද, TPA ලෙස දැක්වෙන මනෝ ගනේෂන් මහතාගේ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් සය දෙනාද ACMC ලෙස දැක්වෙන රිෂාද් බදුර්දීන් මහතාගේ සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් පස් දෙනාද, JHU සේ දැක්වෙන ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් දෙදෙනාද පත්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සේ බවයි. මේ සියළු පක්ෂ හා සංවිධාන පැහදිළිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි සහාය පළ කොට තිබේ. ඒ සියල්ලන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ සමස්ත මන්ත්‍රී සංයුතිය 106 කි. මේ 2015 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයෙන් තේරී පත් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංඛ්‍යාවයි.
මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ මෙම මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත් වූ මන්ත්‍රීවරුන් 89, EDPD සේ දැක්වෙන එම පක්ෂයට හිමි එකම මන්ත්‍රී ධුරය හිමි ඩග්ලස් දේවානන්ද මහතා හා මේ වන විට ඔහුට එක්සත් ජාතික පක්ෂයෙන් එක් වෙතැයි සිතිය හැකි මන්ත්‍රීවරුන් තිදෙනා පමණෙකි. (ඒ එක්වීමද නිශ්චිත නැත. පහසුව සඳහා එසේය සිතමු.) මේ සියල්ල සමඟ මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ දැක්විය හැකි මන්ත්‍රී සංඛ්‍යාව 93 කි.
ආසන 225 ක පාර්ලිමේන්තුවේ සරල බහුතරය 113කි. මහින්ද රාජපක්ෂ මහතා සිටින්නේ ඊට ආසන 20 ක් පසුපසිනි. කොටින්ම අද එක් පුවත්පතක් කියන හැටියට "එක්සත් ජාතික පක්ෂයෙන් 20 ක් කැඩී ගියත්" ඔහුට ඒ බහුතරය නැත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සතුව නිශ්චිතව ඇති ආසන සංඛ්‍යාව 103 කි. (106-3=103) ඔහු සිටින්නේ සරල බහුතරයට ආසන 10 ක් මෑතිනි. ආසන 16 ක් හිමි TNA සේ දැක්වෙන දෙමළ සන්ධානය අසීරු අවස්ථාවක රට අරාජකත්වයට පත් වනු වැළකීම පිණිස එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කරන්නට සූදානමින් සිටියි. මේ නිසා ඔහුට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු බහුතරය දැක්වීමේ හැකියාව ඇත. නොවැම්බර් දහසය වැනිදා හෝ ඉන් ප්‍රථම පාර්ලිමේන්තුව රැස් වන පළමු දිනයේදීම සිදුවනු ඇත්තේ එයයි.
ඒ අනුව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා සේ වාර්තාවක් තබා දේශපාලන වේදිකාවෙන් සමුගනු ඇත්තේය. මහින්ද රාජපක්ෂ මහතා දැනටමත් විහිළුවක් නිසා ඔහුට අමුතුවෙන් විහිළුවක් වන්නට හෝ නොහැකිය.
කමෙන්ට් ලෙස තේරුමක් නැති සම්ප්‍රලාප නොලියා, හැකිනම් මේ තර්කයට තර්කයෙන් අභියෝග කරන්න


