ඉස්ලාම් ආගමට අනුව එහෙම කෙනෙක් නෑ. එහෙම කෙනෙක් තියාගන්නත් බෑ. මුස්ලිම් මිනිස්සු සෘජූව දෙවියන් අදහනවා ඇරෙන්න ඒජන්ත කෙනෙක් හරහා යන්නේ නෑ. මවුලවි, නැත්තම් පූජකවරයාගේ කාර්යභාරය ඉගැන්වීම පමණයි. පූජකවරයා කියන්නේ ගුරුවරයෙක්. පූජකවරයෙක් ට හස්රත් යන නාමයෙන් තමයි අමතන්නේ. හස්රත් කියන්නේ ගුරුවරයා කියන එකටයි. ඒ සියල්ලන්ගේම ගුරුවරයා වූයේ මුහම්මද් තුමා පමණයි. මුහම්මද් තුමා කියන්නෙත් දෙවියන්ගේ පණිවිඩය ලොවට දුන් සාමාන්‍ය මිනිසා හැරෙන්න වෙනත් බලයක් ඇති පුද්ගලයෙක් නෙමෙයි. මුහම්මද් තුමාට පෙර දෙවියන්ගේ පණිවිඩය මිනිසාට දුන් අය අතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මෝසෙස් යන අයත් සිටිනවා. දෙවියන්ට හැර කිසිම කෙනෙක්ට මුස්ලිම් අය වඳින්නෙත් නැති හේතුව එකයි.
ඊට අමතරව උලමා කියල කට්ටියක් ඉන්නවා. උලමා කියන වචනයේ තේරුම 'විද්වත්' කියන එකයි. ඉස්ලාම් ආගමෙන් කියන්නේ සෑම කෙනෙක්ම කුර්ආනය කියවා තේරුම් ගෙන ඒ අනුව ජීවත් වියයුතුයි කියලයි. යම් ගැටලුකාරී අවස්තාවලදී හෝ නොතේරෙන යමක් ඇති අවස්තාවලදී උලමා වරයෙක්, කුරආනය කියවා හෝ හදිත් (නබි තුමාගේ සහ ඔහුගේ පළමු අනුගාමිකයින් ගේ ජීවිතවල සිදුවූ සිදුවීම් සම්පාදිත ග්‍රන්ථ සමූහයකි) කියවා එම ගැටළු නිරාකරණය කරදෙන්න පුළුවන්.
නමුත් මවුලවි හෝ උලමා කියන්නේ කිසිම අවස්තාවක මුස්ලිම් අයගේ නායකයෙකුවත් නියෝජිතයෙකුවත් නෙමෙයි. ඔවුන් අපට වඩා දැනුම ඇති පුද්ගලයින් විදිහට අපි ගරු කරනවා.