මව්බිමේ සරසවි දූ පුතුන් වෙත සෙනෙහසින් ලියමි ....
ශ්‍රී ලංකාවේ සරසවිවල ඉගෙනුම ලබන සියලුම දූ පුතුන් වෙත මේ ලිපිය ලියා එවන මම ඕස්ට්‍රේලියාවේ ජීවත්වන නැන්දා කෙනෙක්. පසුගිය කාලයේ සරසවි අරගල උග්‍රව තිබියදී ඔබ අමතන්නට සිතුවත්, ඒ අදහස කල් දැමුවේ කෝප ආවේගයෙන් දැවෙන තරුණ හදවත් තරමක් සිසිල් වීමට කාලය දිය යුතු නිසයි. මම මේ ලිපියෙන් "පුතාලා" කියා අමතන්නෙ දූලා පුතාලා දෙගොල්ලන්ටම.
මම මේ ලිපිය ලියන්නෙ ලෝකයේ ධනවත් රටක සිට ඔයගොල්ලන්ගෙ ප්‍රශ්න හා අරගල දිහා බලමින්. හැබැයි මම බලන්නෙ ධනවාදී ආකල්පයකින් නෙමෙයි. යථාර්ථවාදී ආකල්පයකින්. ඒ නිසා ආවේගශීලී මනසකින් නොව, මදක් හෝ සන්සුන් කරගත් මනසකින් මේ ලිපිය කියවන මෙන් මම ඉල්ලා සිටිනවා.
ලෝකයේ ධනවත් රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලයේ ලැබෙනව කියලද පුතාලා හිතන්නෙ? එහෙම ලැබෙන්නෙ ඉතාම ඉහළ සමත්කම් පෙන්වා ශිෂ්‍යත්ව දිනාගත් අතළොස්සකට පමණයි. අනෙක් හැම ශිෂ්‍යයෙක්ම මුදල් ගෙවා ඉගෙනගත යුතුයි. රැකියාවක් ලැබුණු පසු ගෙවීමේ ක්‍රමයට ඔවුන්ට ශිෂ්‍යාධාර ලැබෙනවා. නමුත් ඒ මුදල අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමාණවත් නැහැ. මේ රටවල හැම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ම අර්ධකාලීන රැකියාවල නිරත වෙන්නෙ ඒ නිසා.
ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙ හැම රටකම සරසවි ජීවිතය කටුකයි. එංගලන්තයෙ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගාස්තු තුන් ගුණයකින් වැඩිකිරීමට එරෙහිව මහා ශිෂ්‍ය විරෝධතාවන් දියත්වුණු හැටි පුතාලා පසුගිය දිනවල රූපවාහිනියෙන් දකින්න ඇතිනෙ. ඒ දකිනකොටවත් ඔයගොල්ලන්ට හිතුනෙ නැද්ද ගාස්තු නොගෙවා සරසවි අධ්‍යාපනයක් ලැබීම වාසනාවක් කියල? ඒ දුර්ලභ වාසනාවෙන් මීට වඩා ප්‍රතිඵල ලැබිය යුතුයි කියල?
පසුගිය කාලයේ මෙල්බර්න් නුවර මගේ සේවා ස්ථානයට ඇමරිකානු උපදේශිකාවකගේ සේවය ලබාගත්තා. එකී තනතුරට අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද ඇති කිසිවකු ඕස්ට්‍රේලියාවේ සොයාගන්නට බැරිවීම නිසයි ඇමරිකාවෙන් මේ කාන්තාව "ආනයනය" කරන්නට සිදුවුණේ. අද අපේ කාර්යමණ්ඩලය සමග සුහද වන විට අපට දැනගන්නට ලැබුණා ඇය දණහිස් ආබාධයකට නොකඩවා ප්‍රතිකාර ලබන්නියක් බව. මේ ආබාධයේ සුලමුල කියද්දී තමයි ඇගේ ශිෂ්‍ය ජීවිතයේ කටුක අද්දැකීම් අපට දැනගන්නට ලැබුණෙ.
මෙතැන් සිට අපි ඇය මේරි කියා හඳුන්වමු. තමන්ගෙ උසස් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයන්නට මේරි වයස අවුරුදු දාසයේ සිට පුරා පහළොස් වසරක් කම්හලක සේවය කළාලු. ටින් මාළු කම්හලක ශීත කාමරයෙහි ඇය දිගමට සේවය කර තිබෙන්නෙ. සම් මස් විනිවිද යන කටුක සීතලෙන් පීඩා විඳිමින්, රාත්තල් 50 ක් බරැති මාළු බඳුන් ඔසවා එහා මෙහා කිරීමයි ඇගේ රැකියාව. පුතාලා පොඩ්ඩක් හිතන්න. දාසය හැවිරිදි සියුමැලි තරුණියකට ඒ තරම් කටුක රැකියාවක යෙදෙන්නට වීම මොනතරම් අසාධාරණද?
ඉතින් මේරිගේ දණහිස් ආබාධය ඇතිවුණේ මේ අසාධාරණයට එරෙහිව පෙළපාලි ගොස් පොලිසියෙන් ගුටිකාලහෙම නොවෙයි. උසස් අධ්‍යාපනයක් ලබාගැනීමේ අභිලාෂය මුදුන්පත් කරගැනීමට ඒ අසාධාරණය සමග පහළොස් වසරක් ඔට්ටුවීම නිසා. සරසවි අධ්‍යාපනයට අවශ්‍ය මූලික මුදල් සොයා ගැනීමට ඇය මුල් වසර දෙක එම කම්හලේ පූර්ණ කාලීනව සේවය කළා. එසේ ඉතිරිකරගත් මුදලින් සරසවියට ඇතුළු වූ මේරි ඊළඟට වසර ගණනාවක් ගතකර ඇත්තේ අර්ධකාලීනව සරසවි අධ්‍යාපනය ලබමින් හා අර්ධකාලීනව කම්හලේ සේවය කරමින්.
අපේ දුප්පත් ලංකාවේ සරසවි සිසුන්ට පූර්ණකාලීනව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබුණත්, ධනවත් රටවල බොහෝ සිසුන්ට ඒ වාසනාව නැහැ. ඔවුන් සරසවියත් රැකියා ස්ථානයත් අතර දුව පනිමින් මහා යුද්ධයක් කරමිනුයි අධ්‍යාපනය ලබන්නෙ. ඔවුන්ට දේශපාලනයේ යෙදෙන්න අවකාශ නැත්තෙ ඒ නිසා.
අර්ධකාලීනව අධ්‍යාපනය ලැබූ මේරිට සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන්නට අවුරුදු හයක් ගතවෙලා. ඉන් පළමු පෙළ සාමාර්ථයක් ලැබූ ඇයට ආචාර්ය උපාධිය හදාරන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඉතින් ඔබ හිතාවි ඇයට ඒ සඳහා ශිෂ්‍යත්වයක් ලැබෙන්න ඇති කියලා.
නෑ. ශිෂ්‍යත්ව ලැබෙන්නෙ හරිම සීමිත පිරිසකට. මට ලැබුණෙ දීමනාවක් විතරයි. එයින් සරසවි ගාස්තු ගෙවලා මගේ වියදම හොයාගන්න මම දිගටම ශීත කාමරේ වැඩ කළා. මේරි කියන්නෙ සැහැල්ලුවෙන්. ඇගේ පර්යේෂණ කටයුතු වලට දුර බැහැර යන්නට සිදුවූ නිසා ඇය එවර රාත්‍රී සේවය තෝරාගෙන. රාත්‍රිය කම්හලේ ශීත කාමරයේත්, දවාල ක්ෂේත්‍ර පර්යේෂණ වලත් නිරතවෙමිනුයි මේරි ආචාර්ය උපාධිය සම්පූර්ණ කරල තියෙන්නේ.
ඉන් පස්සෙත් අවුරුදු දෙකක් මම එතන වැඩ කළා. ආචාර්ය උපාධියක් තිබුණු පළියට රස්සාවක් හම්බවෙන්න නෑනෙ.
අප්‍රමාණ දුක් කන්දරාවක් විඳපු මේ ගැහැණිය අද අතීතය දිහා හැරී බලන්නෙ උපේක්ෂා සහගතව. ඈ නිසි රැකියාවකට ගියාට පස්සෙ අගේ ගමන නවත්වන්න කාටවත් හැකිවෙලා නෑ. අන්තිමේ ඈ නතරවුණේ ඇමරිකාවට පමණක් නොවෙයි බටහිර ලෝකයේ වෙනත් රටවලටත් නැතුවම බැරි තැනැත්තියක් වෙලා.
ශීත කාමරයේ පහළොස් වසරක් බර වැඩ කිරීම නිසා තමන්ට උරුම වුණු ශාරීරික ආබාධය දිහා වුණත් ඇය බලන්නෙ මැදිහත් සිතින්. ඒ කම්හල මගේ ශ්‍රමය සූරා කෑවා, මාව ලෙඩෙක් කළා කියලා ඇය ඔවුන්ට වෛර කරන්නෙ නැහැ. ඔවුන් තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හැකිවෙන විදියට සේවා මුර ලබාදීම ගැන ඈ සිහිපත් කරන්නෙ කෘතවේදීව.
මේරිගේ කතාවෙන් අපේ සරසවි දූ පුතුන්ට පමණක් නොවෙයි පොදුවේ ශ්‍රී ලාංකික අප කාටත් උගත හැකි පාඩමක් තිබෙනවා. ජීවිතය කියන්නෙ පිරුණු බඳුනක් නොවෙයි. මේ අඩක් පිරුණු බඳුනේ හිස් අඩ දෙස බලා සුසුම් හෙළනවාට වඩා පිරුණු අඩින් උපරිම ප්‍රයෝජන ගන්නයි අපි හිතට ගත යුතු.
නන්දා මාලනීගෙ ගීයකින් කියනවා වගේ ඔයගොල්ලන්ව තොටිල්ලේ තියා "බාලොලී- ලොලී" කියන්න නොවෙයි මම උත්සාහ කරන්නේ. කෑගසා නොඉල්ලුවොත් ලැබෙන්නෙ නැති බවට මාත් එකඟයි. ඒත් අධ්‍යාපන කටයුතු අඩාල කරගෙන කෑගසමින් සිටියාය කියා ඔබට ලැබෙන දෙයක් නැති බවත් ඔබ තේරුම් ගත යුතුයි. ඔබේ අධ්‍යාපනය අඩාල වුණොත්, එහි පාඩුව මහින්දටවත්, රනිල්ටවත්, සෝමවංශටවත් නොමෙයි ඔබටමයි. ඔබ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුක් විඳින ඔබේ මව්පියන්ටයි.
අසූව දශකයෙදී මම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය දිසා රෝහලේ සේවය කළා. මා රාත්‍රී සේවයේ යෙදී සිටි දිනයක එක් අම්මා කෙනෙක් පුංචි කොලුපැටියකු රෝහලට ගෙනාවා. අවුරුදු දෙකක් තරම් වූ ඒ දරුවා මොකක්දොa දඟකාර කමක් කරන්නට ගොස් කකුලේ මහපටැඟිල්ලක නියපොත්ත තලාගෙන. රෝහලක දරුණු තුවාලකරුවන් දකින අපිට එය ඉතා සුළු තුවාලයක්. ඒත් එදා මුළු රැයම ඒ පුංචි එකා වේදනාවෙන් කෙඳිරි ගෑවා. දරුවෙක් වේදනාවෙන් ඉඳිද්දී අම්මා කෙනෙකුට නිදාගන්න බැහැ. ඒ අම්මා මුළු රැයම නොනිදා පහන් කළේ දරුවා උරහිස මත හොවාගෙන රෝහල් කොරිඩෝවේ සක්මන් කරමින්.
තරුණ දූ පුතුන් නොසැලකිලිමත්කම නිසා අනතුරු සිදුකරගන්නා විට, ප්‍රේමය, විප්ලවය හෝ වෙනත් හේතු නිසා ජීවිත හානි කරගන්නා හැටි දකින විට මට සිහියට නැගෙන්නේ ඒ අම්මාව. දරුවෙකුගෙ නියපොත්තක් වෙනුවෙන් රැයක් නොනිදා පහන් කරන මවකට දරුවෙකුගෙ ජීවිතයක් මොන තරම් වටිනවාද? ඔබ මේ තරම් දුරක් ගෙනෙන්නට ඇය මොන දුකක් විඳින්නට ඇත්ද? ඇගේ ජීවිතයට ඇති එකම බලාපොරොත්තුව ඔබ ආ කාරිය කරගෙන යහතින් ගමරට බලා ඒවි කියන එකයි. ඒ බලාපොරොත්තුව කඩ කරන එක අසාධාරණයි කියා ඔබට හිතෙන්නෙ නැද්ද? ඇය චීත්ත පොටින් හෝ ගවුම් වාටියෙන් පිසින කඳුළ සතුටු කඳුළක් හෝ දුක් කඳුළක් කිරීමේ වගකීම ඇත්තේ ඔබ අතේ බව රත්තරන් පුතාලා අමතක කරන්න එපා.
සරසවි ජීවිතයේ බොහෝ අඩුපාඩු, කම්කටොළු තියනවා තමයි. ඔබ නොයෙකුත් අසාධාරණකම් වලට මුහුණ දෙන බවත් ඇත්ත. ඒත් එහෙම වෙන්නෙ සරසවි වල විතරක් නොවෙයි. ලෝකයේ හැම තැනම ධනවාදී, සමාජවාදී හැම රටකම කොටින්ම කියතොත් සත්ව ලෝකයේ පවා අසාධාරණය පවතිනවා. මේ කොතැනත් පොඩි එකා ලොකු එකාගේ ගොදුරක්. අපේ රටේ සර්ව සාධාරණ සමාජයක් ගොඩනැගෙන්නට දෙවතාවක්ම කළ උත්සාහ වලදී මොකද වුණේ? යහපත් ෙච්තනාවෙන් ඊට සහයෝගය දුන් තරුණ තරුණියන් රටට අහිමිවීම පමණයි. ඉන් පාඩු සිදුවුණේ ඒ දරුවන්ගේ දෙමාපියන්ට මිසක් සටන මෙහෙයවූ නායකයන්ට නොවෙයි.
නායකයින්ගෙන් සමහරු පිටරට වලට පැනගත්තා. සමහරු ඝාතනය වුණත්, ඔවුන්ගේ දරු පවුල් වලට ආරක්ෂාව සැලසුණා විෙ-වීරගේ දරු පවුලට නාවික හමුදා ආරක්ෂාව සැපයුනා. ඒ දියණියක් මෑතකදී විවාහ වුණ බවකුත් මම පුවත්පත් වල කියෙව්වා. ගමනායකගෙ දරු පවුල එංගලන්තයේ ආරක්ෂාව පැතුවා. ඔහුගේ දියණිය අද එහි වෛද්‍යවරියක්.
සටන මෙහෙයවූ ප්‍රධාන නායකයන් දෙදෙනාගේ පවුල් වල අයගේ තත්ත්වය එසේ වෙද්දී, සටනට යන ගමේ කොල්ලන්ට ගල්කටස් තුවක්කුවක් හදා දුන් කම්හල් බාස්ට මොකද වුණේ? "ප්‍රා" සංවිධානයෙන් ඇවිත් බාස්ට වෙඩි තියා පැල් කොටේට ගිනි තිබ්බාම ඒ දරු පවුල සීසීකඩ ගියා. ඔවුන්ටත් එංගලන්තයෙ දේශපාලන රැකවරණ ලැබෙන්න ඇති කියා ඔබ හිතනවද?
සටන් වලත්, දේශපාලනයෙත් හැටි එහෙමයි දරුවනේ. නායකයන්ට වරදින්නේ නැහැ. ඉතිහාසය පුරා හැමදාමත් වැරදුණේ පොඩි එවුන්ට. තරුණ හිත්වල ඇති මානව හිතවාදී ගුණය, තරුණ ලේ වල උණුවන ගතිය. ඒ වගේම තරුණ ජවය වැරදි විදිහට යොදාගන්න මිනිසුන්ගෙන් ප්‍රවේසම් වෙන්නයි ඔබ බුද්ධිමත් විය යුතු. ඔබේ අරමුණු යහපත් බව ඇත්ත. ඒත් යහපත් අරමුණක් උදෙසා ඔබ අයහපත් මාර්ගයක යවන්නට කවුරුන් හෝ උත්සාහ කරනවා නම්, ඒ අයගෙන් ප්‍රවේසම් වන්න.
වෛද්‍යවරයකු වීමේ පෞද්ගලික අරමුණ පසෙක තබා සාධාරණ සමාජයක් ගොඩනැගීමේ පොදු අරමුණ වෙනුවෙන් කැපවූ ත්‍රිමාවිතාන ශිෂ්‍යයා ඔබ දන්නවා නේද? ඔහුට හිමිවුණේ පරාළ ඇණෘ අහිමි වුණේ ජීවිතය. එහෙත් මානව දයාවෙන් හෙබි ඒ අහිංසක දරුවා විප්ලවය වෙනුවෙන් පත්‍රිකා බෙදන්නට පොළඹවා ඔහු දැතේ මිට මොළවාගෙන සිටි වාසනාව ඔහුට අහිමි කළ නායකයන් සමහරක් තවමත් ජීවතුන් අතර, තවත් සමහරුන්ගේ දරුවන් අද වෛද්‍යවරු. ඔහුගේ ඝාතනය සම්බන්ධව උසාවියෙන් දඬුවම් ලැබූ අය අද ඇමැතිවරු. අන්තිමට බලනවිට වැරදුණේ කාටද?
ත්‍රිමාවිතාන ජීවත්ව සිටියා නම්, ඔහු අද විශේෂඥ වෛද්‍යවරයෙක්. රටේ දුප්පත් ජනතාවට විශාල සේවයක් කරන ජීවකයෙක්. වාසනාවන්ත බිරිඳක් හා සුරතල් දරු පැටවුන් ඉන්නා ආදරණීය පියෙක්. තරුණ ජීවිතයක් අඳුරට වැටෙන විට නැති වන්නේ මේ හැම දෙයක්ම. ඔබට අනාගතයක් නැති බව කියමින් ඔබ නැති භංග කිරීමට අර අඳින දේශපාලකයන්ගෙන් ඔබ ප්‍රවේසම් විය යුතු ඒ නිසයි.
මේ කටුක සත්‍යය තේරුම් ගැනීමට ඔබ සියලු දෙනාට ශක්තිය, ධෛර්යය හා බුද්ධිය ලැබේවායි මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ අදහන ආගමේ නාමයෙන් ඔබ සැමට යහපතක්ම වේවා!
මාව ජෝක් එකට ගන්න පොල් බූරුවන්ගෙන් මට අහන්න තියෙන්නෙ මේකෙ මේරි වගේ ධෛර්යවන්ත එක ගෑනියෙක් ඉන්නවද ලංකාවෙ කියල. මන් අභියෝග කරනව උඹල මුලු ලංකාවෙම හෙව්වත් මේ වගේ ශක්තිමත් කාන්තාවක් හොයන්න වෙන්නෙ නෑ. මොකෙක්ට හරි ප්‍රශ්නයක් තියනවනම් මන් සුද්දියන්ට කඩේ යන්නෙ ඇයි කියල ඌට කනට ගහල මේ පෝස්ට් එක පෙන්නන්න.