මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. මට නම් ඇඬුනේ නැහැ, හිනා ගියා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.
වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ.
කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්.
unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි.
ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?
proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.
පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්.
බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.
ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??
ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.
1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල්/විශ්ව විද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා. ඒ දක්වා අපි ආසියාවේ ස්විට්සර්ලන්තය කියා කීම නිවැරදියි.
උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි.
ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.
අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .
70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.
77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ.
වැඩිහිටියෙකුට දිනකට තම පාං කාඩ් එක ඉදිරිපත් කර පාන් බාගයක් සලාක ක්‍රමයට ලබාගත යුතු වූ, සිකුරාදාට සහ අඟහරුවාදාට බත් කෑම (කඩවල විකිණීම පමණක් නොව, තමන්ගේ බත් මුලක් හෝටලයක් තුලදී ආහාරයට ගැනීමටවත් ඉඩ ලැබුනේ නැහැ.) තහනම් වූ, හාල් සේරු දෙකකට වඩා රැගෙන පාරේ යාම වරදක් වූ, පරිප්පු, උම්බලකඩ, වැනි දේවල් දකින්නවත් නොතිබුන යුගයට golden decade කියා ඉංගිරිසියෙන් මෙහි දක්වා තිබුනාට එකල සිංහලෙන් කිව්වේ ''සත් අවරුදු සාපය '' කියලයි.