රාවණ සේනාවේ යක්ෂයින් නිල්ගල වනයට ඇවිත්. යුග විනාශයට ඔබ සූදානම්ද?
රාවණ රජතුමාට පක්ෂපාතී වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් වාර්තා කළ පුවතක් පහත දැක්වෙයි.
නිල්ගල වනයට අද්භූතයන් ඇවිත්
June 22, 2012 at 9:55 am | Lanka C News.
බිබිල නිල්ගල වනාන්තරයේ යකුනාහේන ප්‍රදේශයේ දැනට සති දෙකක කාලයක සිට ආරක්ෂක අංශවලට අයත් යයි සැලකිය හැකි ඇඳුම් ඇඳගත් පිරිසක් සැරිසරන බවත් ඔයවුන් එම ප්රදේහයට ඇතුල් වීම සඳහා කිසිවෙකුට ඉඩ නොදෙන බවත් විවිධ අවශ්‍යතා සඳහා වනයට යන ප්‍රදේශවාසීහු පවසති.
මී කැඞීම, ඖෂධ සොයාගැනීම සඳහා අවට වැසියන් නිල්ගල වනයට පිවිසෙන බවත් එහෙත් එහි යකුනාහේන ප්‍රදේශයට ගිය එම පිරිස් එළවා දමා යළි නොඑන ලෙස තර්ජනය කල බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති. නිල්ගල යකුනාහේන ප්‍රදේශය පුරාණ ලෙන්වලින් සමන්විත පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ප්රදේශයකි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාතේ ආරක්ෂක ප්‍රධානීන් පවසන්නේ තමන් දැනුවත්ව කිසිදු ආරක්ෂක කණ්ඩායමක් නිල්ගල ප්‍රදේශයට යවා නොමැති බවයි.
පසුගිය වසරේදී 2012 ලෝක විනාශය පිළිබඳව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත තොරතුරු දක්වූ මධ්‍යම කඳුකරයේ අප්රකටව භාවනානුයෝගීව කටයුතු කරන තාපස තුමා ගේ මිත්‍ර තාපස තුමෙක් මීට මොහොතකට පෙර අපටත් දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු මේ දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන අතර එතුමාගේ ඉල්ලීම මත පුද්ගල අන්‍යතාව හෙළි නො කෙරේ. එතුමා බලාපොරොත්තු වෙන්නේ රාවණ රජතුමාගේ පුනරාගමනය ගැනත් ඊට හෙළයින් සූදානම් විය යුතු ආකාරය ගැනත් දැනුවත් කිරීමයි. කිසිදු සංස්කරණයකින් තොරව එම සම්මුඛ සාකච්ඡාව ඒ ආකාරයෙන්ම මෙහි පළ වේ.
වර්ගපූර්ණිකාව: ආයුබෝවන් ඔබතුමාට
තාපසතුමා: ආයුබෝවන්, රාවණ සිද්ධම්!
වර්ගපූර්ණිකාව: ඔබතුමා රාවණ රජතුමා ගැන සොයන්න පටන් අරන් කොච්චර කල්ද?
තාපසතුමා: දැනට අවුරුදු හයසීයක් විතර වෙනව. කුණ්ඩලීනී යෝගයේ ආයුෂ්කාර ශක්තියෙන් තමයි මෙච්චර කාලයක් ජීවත් වුනේ. ඒක නෙමෙයි, තමාට වැඩක් නෑනෙ මං ගැන. තමා රාවණ රජතුමා ගේ පුනරාගමනයට සූදාන වෙන්න, මගේ ගැන හොයල වැඩක් නෑ.
වර්ගපූර්ණිකාව: ඔබතුමාට කීමට තිබෙන විශේෂ පණිවිඩය කුමක්ද?
තාපසතුමා: මගේ ජංගම දුරකථනයේ විදුලි කෝෂයේ ආරෝපණය අවසාන වෙන්න ලඟයි, මෙහෙ ඒව ප්‍රති ආරෝපණ කරන්න තැනකුත් නෑ, ඒ නිසා කෙටියෙන් කියන්නම්.
මෙය මගේ හිතුමතේට පවසන දෙයක් නොවෙයි. එය විශේෂයෙන්ම ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි. මේ පණිවිඩය ශ්‍රී ලංකාවාසීන්ට දීමට අවශ්‍යව ඇත්තේ රාවණ රජතුමාගේ යක්ෂ සේනාවේ අභයන්තර යුධ කටයුතු භාර සේනාධිපති මහාරක්ඛිත ජෙනරාල් තුමාටයි.
වර්ගපූර්ණිකාව: හා
තාපසතුමා: 2012 අගදී සිදුවන යුග විනාශයත් සමගම ශ්‍රී රාවණ රජතුමාගේ පුනරාගමනයට රාවන රජතුමාගේ යක්ෂ සේනාව සූදානම් වෙනවා. ඒකේ ප්‍රධානතම යුධ කේන්ද්‍රස්ථානය වන්නේ නිල්ගල පෞරාණික ලෙන් වලින් ගහන වණාන්තරය. ඒ නිසා කරුණාකරල ඒ පැත්තට කවුරුත් යන්න එපා. එහෙට ගිය කෙනෙකුට වෙන දේ හිතාගන්නවත් බෑ.
වර්ගපූර්ණිකාව: රාවණ රජතුමා ඔච්චර බලවත්නම් ඇයි අපේ රට දියුණු කරන්න උදව් නොකරන්නෙ?
තාපසතුමා: ඒකට තමයි පුතා මේ එතුමා හදන්නෙ. 2012 අවසාන වෙනතෙක් සිටින්න, ඉවසන්න.
වර්ගපූර්ණිකාව: නෑ මම කිව්වෙ ඊට කලින් වුණත් රටට යම් උදව්වක් කරන්න තිබුණ නේද?
තාපසතුමා:
බලන්න පහුගිය 30 අවුරුද්දක් තිස්සේ ගිය යුද්දය අවසාන කරන්න උදව් වීමට රාවණා රජතුමා තම පුද්ගලික හමුදා ඛණ්ඩයක් යෙදෙව්ව. ඒකට තමයි "මහසොහොන් බලකාය" කියල කියන්නෙ. ඒකෙ ඉන්නෙ ඔක්කොම රාවණා රජතුමාට පක්ෂපාතී යක්කු. මහාචාර්ය නලින් සිල්වා මහතා කිව්ව මතකද ගිය අවුරුද්දෙ අගදී ඇමරිකාවෙන් ලංකාව ආක්‍රමණය කරනව කියල. ඒ බව දැනගත්ත රාවණා රජතුමා තම මායා බලය යොදවල ඒක නැවැතුව. ඔය දෙක විතරක් මදිද පුතා? රාවණ රජතුමා නොසිටින්න අද ලංකාව තනිකර අළු ගොඩක්.
රාවණ රජතුමාගේ නිර්මාණයක් වූ මහසොහොන් යුධ ඇඳුමෙන් සිටින, මහසොහොන් බලකායේ හෙළ යක්ෂයෙක්.
වර්ගපූර්ණිකාව: රාවණ රජතුමාගේ පැමිණීම අපට බලපාන්නේ කෙසේද?
තාපසතුමා: දේශපාලනමය වශයෙන් වෙනස් කම් සිදුවේවි. අපේ ජනාධිපති තුමා යන්ත්‍ර මන්ත්‍ර ආදිය විශ්වාස කරන ශ්‍රී රාවණ පාක්ෂිකයෙක් බැවින් එතුමාට කිසිදු ගැටළුවක් නෑ. එසේම එතුමාත් මේ ගැන දන්නව ඇති. පසුගිය දිනවල රාවණ පාක්ෂිකයින් විසින් ආරක්ෂක අංශ වලටත් හොරෙන් ඉතාමත් රහසිගතව රාවන රජතුමාගේ කඩුව සහ නිදන් ගත කළ න්‍යෂ්ඨික අවි ආයුධ (විශේෂයෙන්ම නාගපාෂණය, භ්‍රහ්ම අවිය, නීල පාෂාණය, ගුරුලුපාදය) සහ පුෂ්පක විමානය නිල්ගල යකුනාහේනට ගෙන ගොස් තැන්පත් කර තිබෙනව. විපක්ෂයේ මිනිස්සු අපරාදෙ අහක ඉන්න අයට බැන බැන හිටියෙ.
නිල්ගල කියන්නෙ, රාවණ රජතුමාගේ න්‍යෂ්ඨික අවි තිබුණ ස්ථානය. නිල්=නීල, ගල=පාෂාණය, හෙවත් "නීල පාෂාණය" ලෙස හැඳින්වෙන්නේ ඉපැරණි න්‍යෂ්ඨික අවි වලටයි. සාමාන්‍යයෙන් නිල් පාටින් නිරූපණය කරන්නේ න්‍යෂ්ඨික අවි නිසා මං කියන කතාව ඔප්පු වෙනව. එසේම යකුනාහේන කියන්නේ යකු=යක්ෂ, නා=නායක, හේන=සේනාව, ඒ අනුව නායක යක්ෂයින්ගේ සේනාව තමයි යකුනාහේනේ පෙරහුරු පවත්වන්නේ. මම කලින් කිව්ව මහාරක්ඛිත ජෙනරාල් තුමා තමයි එහි ප්‍රධානිය. ඉතින් ඔවුන් කොයි මොහොතක හෝ සිදුවන රාවණ පුනරාගමනයට සූදනමෙනුයි සිටින්නෙ.
වර්ගපූර්ණිකාව: රාවණ රජතුමා නැවත එන්නෙ කොහොමද?
තාපසතුමා: ඔයා ජනමාධ්‍යවේදියෙක් නේද? දන්නෙ නැද්ද රාවණ වංශිකයින්ගේ නිල පුවත්පත වන දිවයින පුවත්පතින් ඒක
වාර්තා කරල තිබ්බ.
පිටසක්වල යානා 3ක් පෘථිවියට එයි
2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල වේ. මේ අබිරහස් තොරතුරු හෙළිකරන්නේ හාස්[1] නමැති විමර්ශන පද්ධතියයි. හාස්[1] විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්කාවේය. පිටසක්වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්වල යානා තුනින් එකක් කිලෝමීටර් 240 ක් තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස් පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්නවලට පෙනෙන බවද හාස් පද්ධතියේ පරීක්ෂකයෝ පවසති. මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්රවෘත්ති සේවය කියා සිටියි.
මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පුවතක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා"[2] ආයතනයේ රහස් ඡායාරූප 1000 ක් විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස් පා සටහන් පමණක් නොව මිනිස් සිරුරක් පවා තිබූ බවයි. මෙම මිනිස් සිරුර පිටසක්වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක් බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.
මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා[2] ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක් සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා"[2] ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස් සිරුරක් සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.
මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස් හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්වල යානා තුනකින් ප්‍රහාරයක් එල්ල වන බවයි. මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්වල යානා තුන අතර සබඳතාවක් තිබේද?
කීර්ති වර්ණකුලසූරිය
අටුවාව [1]: හාස් යනු රාවණ රජතුමාගේ ඉපැරණි ගුවන් ආරක්ෂණ පද්ධතියක්. හා=හානි වාර්තාකරන, ස්=ස්ථම්භය, ඒ අනුව "හානිවාර්තාකරන ස්ථම්භය" හෙළදිවේ පිහිටා තිබුණේ හානිගල වනාන්තරයෙයි. එසේම "හාස්කම්" කියල රාවණ යුගයේදී හැඳින්වුවේ එම හාස්="හානි වාර්තා කරන ස්ථම්භයේ", කම්=ක්‍රියා වලටයි. සුද්දො ඒ හෙළ හාස් තාක්ෂණය සහිත ස්ථම්භය සොරකම් කළාට ඒකෙ නම වැරදියට සෙල් ලිපියකින් කියවලයි හාප් [
HAARP] කියල කියන්නෙ
අටුවාව [2]: නාසා යනුත් ඇමරිකානු මහාද්වීපයේ තිබූ රාවණ රජතුමාගේ ඉපැරණි අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථායක්. නා=නාසය, සා=අහස, ඒ අනුව "අහස දෙසට ඇති නාසය" යන හෙළ නිරුක්තියෙන් තමයි නාසා බිහි වන්නෙ. නාසයෙන් කරන්නේ යමක් හඳුනාගැනීම වගේම, නාසා වලින් කෙරෙන්නේ අහසේ අති දෑ හඳුනාගැනීමයි. නමුත් සුද්දන් අපගේ හෙළ ශිෂ්ටාචාරය යටපත් කිරීමට ඒකට වෙනත් [
NASA] තේරුමක් දීල.
එම පිටසක්වල යානා පැමිණෙන්නේ ප්‍රිඩෝටර් නැමති ග්‍රහලෝකයෙන්. ඔවුන්ගේ අරමුණ තමයි රාවණ රජතුම නැවත බලයට පත් වීම වැළැක්වීම. ඉතින් ඔවුන් මුළු ලෝකයම විනාශ කරන්නේ නෑ. නමුත් ජ්‍යොතිෂ්‍යඥයින් පවසන පරිදි රාවණාසේනාව ඉන් අනිවාර්යයෙන්ම දිනනව. එනිසා ඇත්තටම මේක ලෝක විනාසයක් නොවෙයි. ලෞකික රවණවිරෝධී ලෝකයේ බිඳ වැටීමක්. මේ යුගයෙන් පසුව මහාවංසය ඉවත් වී රාමායනය ජය ගනන්ව. ඒ සඳහා පිටසක්වලයන් පෘථිවියට පහර දීම විශාල බලපෑමක් කරාවි.
වර්ගපූර්ණිකාව: පිටසක්වලයන්ගේ ආක්‍රමණයෙන් ලක්වැසියන්ට හානියක් වේවිද?
තාපසතුමා: අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට පිටසක්වල ජීවීන්ගෙන් එක මිසයිලයක් හරි පාත් වෙනවා. මිනිස්සු හරියට හිටියොත් විශේෂයෙන්ම රාවණා රජතුමාට අපහාස කරමින් පණ්ඩිත කතා කිව්වෙ නැත්නම් වෙන හානියක් නැති වේවි. නැත්නම් ප්‍රිඩෝටර් ග්‍රහ ලෝකයෙන් එන පිටසක්වල ජීවීන් විසින්, රාවණා රජතුමට රැක ගැනීමට නොහැකි වූ අර ද්‍රෝහීන්ගේ හිස් කබල් විද මොළය එලියට ගෙන ජානමය වශයෙන් වැඩිදියුණු රෝබෝවරුන්ව හදාවි.
වර්ගපූර්ණිකාව:- ඔබ ඔය ඇත්තද කියන්නේ? අප කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ?
තාපසතුමා:- විශ්වාස කරන නොකරන එක ඔබගේ වැඩක්. නමුත් මේ කතාව ඔබගේ මාධ්‍ය තුලින් හෙලි කරන්න. එක පුද්ලගයකුගේ හෝ වෙනස්වීම මේ මොහොතේ වටිනවා. මතක ඇතිව විශ්වාස නොකරන අයට කියන්න දින වකවානු ඇතිව ලියලා තියාගන්න කියලා 2012 සැප්තැම්බර් අන්තිම සතියේ ඉදන් 2012 දෙසැම්බර් අන්තිම සතිය වෙනකන් ඉහතින් සඳහන් කළ සියළුම දේවල් නියත වශයෙන්ම සිද්ධවන බව. එහෙම වුණෙ නැත්නම් මම මගේ කණ කපනව.
වර්ගපූර්ණිකාව: මා ඔබතුමාව විශ්වාස කළත් මැදහත් පාථකයින් වෙනුවෙන් කිසියම් හෝඩුවාවක්වත් දෙන්න පුලුවන්ද?
තාපසතුමා: රාවණා රජතුමා නිදා සිටිම මහ කුඩු ගල පර්වතයේ දකුණු පැත්තට වෙන්න විශාල ප්රපාතයක් තියෙනව. ඒ ප්‍රාපාතයේ මද දුරක් යටට ගියොත් ඔබට කුඩා සෙල් ලිපියක් දැකගන්න පුළුවන් වේවි. එහි අතීත ආකාෂාවාස බාසාවෙන් සටහන්ව තිබෙන්නේ මෙවැන්නක්.
"හෙනෝකිසගොලළුන්රීඳතද්වඩිමහානදන්වකි"
එය ඛණ්ඩනය කර හෙළ ප්‍රකෘතියෙන් පළ කළ විට මෙලෙසැයි.
හෙනෝ=හෙනයක් සේ, කිස=කර්තව්‍යය, ගොලළුන්=නිෂ්ශබ්දව, රීඳ=රාවන, තද්=තෙද, වඩිම=පැමිණීම, හාන=හානිය, දන්වකි=දන්වමි, මෙහි අරුතනම්, "නිශ්ෂබ්දව සිටින රාවනයන් හෙණයක් සේ පැමිණ තම කර්තව්‍යය කිරීමේදී හානිය(යුග විනාශය) විය හැකි බව දන්වමි" යන්නයි. රවුන්ගේ ආගමනය සහ යුග විනාසය සම්බන්ධ වන්නේ එලෙසැයි.
වර්ගපූර්ණිකව: රාවණ රජතුමාගේ පුනරාගමනයට මුහුණ දීමට අප කරන්න ඕනැ මොනවද?
තාපසතුමා: විශේෂයෙන්ම පහත දැක්වෙන රාවණා මන්ත්‍රය දිනපතා ජප කරන්න.
ඕං දිට්ඨි රාවණ පෘෂ්‍ය නඣුහාර ප්‍රඨණ්ඩාර වර වර සොත්ති ප්‍රභාධයුඛ්. නමෝ රාජ මන්ද්‍ර මහේන්ද්‍ර වස්ථු හෝති විජ්ඣිකෝ පායුඝ් සමණාසව: කළුබණ්ඩාර කින්ද යක්ඛ වජ්ජාපියා සෝතුං ඒස්වහ:
ඊට අමතරව , මෙහි පහතින් දැක්වෙන ‘විශේෂ සළකුණු ඇතුලත් පිංතූරය’ හැකි නම් මුද්‍රණය කර සහ හැකි නම් රාමූ කර නිවසේ බුදු පිළිමට පහළින් දෙවිවරුන්ගේ රූපවලට සමාන්තරව හෝ පහළින් තබා ගන්නා ලෙසට පාඨකයින් දැනුවත් කරන්න. පුතා, මේ ලිපිය හැකි තරම් බෙදා හරින්න කියල ඔයාගේ පාථකයින්ට පවසන්න, නැත්නම් අපේ අසරණ මිනිස්සු නොදැනුවත් කමින් ලොකු අමාරුවක වැටේවි.