පියාණන්ගේ ලොවට නොපෙනෙන සෙනෙහස.....
දුවේ මේ අහන්න, මගේ රත්තරං මැණික, මට ඉන්න එකම වස්තුව ඔයා දුවේ.. මම හුස්ම ගත්තට මගේ හදවත තියෙන්නෙ ඔයා ලග... ලොකෙම මාව පාගගෙන රිදෙව්වත්.. හවසට ගෙදර එනවෙලාවට ඔයා දකිනකොටම මගේ වෙහෙස, දුක, වේදනාව නිවෙනව දුවේ.. මට ඔයා පුංචි සුරංගනාවියක් වගේ... දෙවියො මාව බලාගන්නයි උඹව එවල තියෙන්නෙ.. මමනේ තාත්ත ඉතින් මමයි මගේ රත්තරං මැණිකව බලාගන්න ඕන.. ඒත් ඔයා නිසයි මම මගේ වෙහෙස නිවාගන්නෙ.. උඹ මගේ මුළු ජීවිතයම රත්තරං දුවේ... මතකතියා ගනින් කවදහරි දවසක මම නැතිවෙයි.. එදාට තේරුම් ගනින් තාත්ත මෙතුවක් ජීවත් වෙලා හිටියෙ උඹ නිසා කියල... උඹ දුක්වෙන්න එපා එදාට.. මොකද තාත්තට ලෝකෙ ඕනම දෙයක් දරාගන්න පුළුවනි උඹේ දුක ඇරෙන්න...
අම්ම කියනව ඔයාට කරාබු දෙකක් දාන්න ඕන කියලා.. මටනම් ඒක කරන්න බෑ දුවේ.. මගේ රත්තරං කෙල්ල දුකෙන් මාව බදාගෙන අඩනව බලාගෙන මම කොහොමද ඉන්නෙ.. ඒත් ඉතින් ඒක වෙන්න ඕන දෙයක් නිසා තමයි අපි ඔයාව එක්කරගෙන ගියේ කන විදින්න ඩොක්ටර් අංකල් ලගට...
ඒත්.. මගේ වස්තුව මාව බදාගෙන අප්පච්චියෝ... කිය කියා කෑ ගහද්දි.. මම කොහොමද ඔයාට දුකක් දෙන්න ඉඩදෙන්නෙ... උඹේ දුක ඉදිරියේ චතුරංගනී සේනාව ආවත් මේ තාත්ත උන් එක්ක අවසන් හුස්ම දක්වාම සටන් කරනවා උඹේ දුක නිවන්න.. ඒ නිසාමයි රත්තරනේ කරාඹු නොදා උඹව වඩාගෙන මම එළියට ආවෙ අම්ම බනිද්දිත්..
උඹත් කපටි කෙල්ල වගේ මගේ බෙල්ල බදාගෙන සතුටින් හිනාවෙනව නේද... කන විදින එකෙන් බේරුණ නිසා... ඒත් ඉතින් ඒව කොහෙද අම්ම එක්ක... “ කෙල්ලව නරක් කරන්න එපා.. මේක අද නැත්නම් කවද හරි දවසක කරන්න වෙනවා.. දැන් කරොත් ළමයට රිදෙන්නෙ නෑ.. කෝ මෙහේ දෙන්න දුවව...”
අම්ම ඔයාව වඩාගෙන අරගෙන යන්න හදනවා ආයෙත් කන විදින්න.. ආයෙ ඔයා කෑ ගහනවා මගේ බෙල්ල බදාගෙන අප්පච්චියෝ... කියලා... රත්තරං දුවේ.. මට බය හිතුන මම පපුව පැළිල මැරෙයිදෝ කියල.. ඒ තරමටම මට දරාගන්න බෑ උඹේ මේ වේදනාව.... මම උඹව අම්මට දුන්නෙ මගේ ඇගේ ඇටයක් ගලවල දෙනව වගේ වේදනාවෙන්... උඹ අම්මට ගහ ගහ මගේ දිහා අසරණ විදියට බල බලා අඩ අඩා යන්නෙ හරියට ගහලයට බෙල්ල තියන්න යනව වගේ...
සමහර විට මම ගොඩාක් බොළද ඇති.. ඒත් පුංචි දූවරු ඉදිරියේදි හැම තාත්තෙක්ම මෙහෙම වෙන්න ඇති... මම හොරෙන් ගිහින් ඇතුලෙ වෙනදේ බැලුවෙ කෙල්ල අප්පච්චී කිය කිය කෑ ගහනව අහගෙන ඉන්න බැරිම තැන... අනේ කෙල්ලගෙ කන විදිනවා... කෙල්ල විලාපදෙනවා.. තවත් මෙතන හිටියොතින් මම මැරිල වැටෙයි..
මතක තියාගනින් දුවේ ඒ තරමටම මම උඹට ආදරෙයි..
මෑණියන්ගේ ලොවට නොපෙනෙන සෙනෙහස.....
මම දන්නව ඔයා දුවට කොච්චර ආදරේද කියලා.. මම දන්නව දුව ඔයාට කොච්චර බැදිලද කියල... මගේ අතින් උන වැරදිවලට මට සමාව දෙන්න.. අනේ කකුල් දෙක අල්ලල වැදල කියන්නම් අර අහිංසක කෙල්ලට දුක් දෙන්න එපා... ඔයාට දුව නැතුවත්... දුවට ඔයා නැතුවත් එක තත්පරයක් ඉන්න බෑ කියල මම දන්නවා... මම මේ ගෙදරින් බැහැල යන්නම්.. ඔයා ගෙදර එන්න...
දුව වෙනද වගේ මගෙත් එක්ක කතා කරන්නෙ නෑ... සෙල්ලම් කරන්නෙ නෑ... සෙල්ලම්බඩුටික දාපු දාපු තැන්වල අල්ලන්නෙවත් නෑ... සාංකාවෙන් වැට මායිමට වෙලා හැම වෙලේම ඔයා එනවද කියල පාර දිහා බලාගෙන ඉන්නෙ... කකුල් දෙක අල්ලල වදින්නම්... මගේ අතින් වැරැද්දක් උනානම් කියන ඕනම දඩුවමක් විදින්නම්.. ඒත් මේ කෙල්ල ඔයා නැතිව විදවන විදවිල්ලනම් මට බලාගෙන ඉන්න බෑ...
මම එයාගෙ හිත හැදෙන්නෙ කතා කීව, සිංදු කීව කරන්න තියෙන හැම දෙයක්ම කලා.. ඒත් ඒ එකක්වත් හරියන්නෙ නෑ... කොහෙන් ගියත්, මොනව කීවත් කෙල්ල අවසානයේදී අහන්නෙ ඔයා ගැන.. අනේ මගෙත් එක්ක තියෙන තරහට දුවට වද දෙන්න එපා.. මම දන්නවා දුවටත් වඩා ඔයා ඔහේ ඉදගෙන විදවන බව... ඔයාල දෙන්නම දුක් විදින්නෙ මම නිසා... අනේ මට සිය දහස් වාරයක් සමාවෙලා.. දූ වෙනුවෙන් ගෙදර එන්න.. කෙල්ල නොකා නොබී හාමතේම මැරිල යයි... මට ඊටත් වඩා ඔයා ගැන බයයි.. මම දන්නවා දුව ලගදි ඔයා කොච්චර බොලදද කියලා..
අදත් රෑ වෙනකල්ම කෙල්ල නිදාගත්තෙ නෑ.. හවස් වෙනකල්ම වැට ලග ඉදගෙන බලාගෙන හිටියා ඔයා එනකල්.. දැන් ටිකකට කලින් ඔයාගෙ ඇදුම් අතගගා ඉදල ඒ ටික තුරුළු කරගෙන එහෙම්මම නිදි...
අනේ දූලගෙ තාත්තේ... හෙටවත් ගෙදර එනව නේද...? දූ වෙනුවෙන්වත්..........