නඩුත් නැත බදුත් නැත වාහනත් නැත. රේගුවේ වාහන බදු වංචාවක්
ජාතියේ දොරටු පාලකයන් ලෙස අංශ ගණනාවකින්ම රේගුව වැදගත්කමක් උසුලයි. රේගුවේ වැදගත් භාවය පිළිබඳ සඳහන් කරන රාජ්‍ය ආදායම් පිළිබඳ විශේෂඥයකු වන බී. එස්. ගිල් සඳහන් කරන්නේ, වෙළෙඳ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රධාන බලවේගයක් සේම රටක ආදායම් පිළිබඳ නීතිරීති හි උල්පතක් ලෙසද රේගුව ක්‍රියා කරන බවය. පොතේ එසේ ඇතත්, මේ රටේ රේගුවේ කතාව නම් තිබෙන්නේ කොතැන දැයි ලිපිය අවසානයේදී පාඨකයෝ ම දැන ගනිත්වා.
රේගුව විසින් භාණ්‌ඩ තක්‌සේරු කර, ඒ අනුව බදු අය කර ගැනීම සිදු කෙරේ. මේ සඳහා වන ක්‍රමය සකස් වූයේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුවය. මෙහි වෙනසක් සිදු කරන ලද්දේ සුප්‍රකට ගැට් සම්මුතිය මගිනි. ගැට් සම්මුතිය අනුව තක්‌සේරු ක්‍රමය සකස් කරන ලද්දේ, ලෝක වෙළෙඳ සංවිධානය, ලෝක රේගු සංවිධානය වැනි සංවිධාන මූලික වීය. ගැට් සම්මුතියට අනුව භාණ්‌ඩ තක්‌සේරු කිරීමේදී තම රටට සිදුවන හානි දායක තත්ත්වයෙන් දේශීය නිෂ්පාදන රැක ගැනීම සඳහා අවම මිලක් ඒ භාණ්‌ඩ සඳහා බදු අය කර ගැනීමට සකසා දෙමින් කොන්දේසි ඇතුල් කරන ලදී. මෙම ගැසට් සම්මුතිය අනුව තමන්ට තිබෙන අවාසිදායක තත්ත්වයන් අවම කර ගැනීමට ඉන්දියාව කොන්දේසි පැනවූ මුත්, එවැනි "බාධාවන්ගෙන්" තොරව එම සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව ඉඩ ලබා දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේදීය. මෙය ශ්‍රී ලංකාව සඳහා නීතියක් ලෙස සකස් වන්නේ, 2003 වසරේ අංක 2 දරන රේගු (සංශෝධන) පනත මගිනි. එහි 10 වැනි ඡේදයෙන් භාණ්‌ඩ සඳහා අවම බදු වටිනාකමක් තීරණය කිරීමට මුදල් ඇමැතිවරයාට බලතල ලැබිණි.
එම බලතල යටතේ, මුදල් ඇමැතිවරයා විසින් වාහන සඳහා බදු අය කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත, ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබිණි. වත්මන් මුදල් ඇමැතිවරයා ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි. එම නිර්දේශානුකූලව දේශීය ඒජන්තවරයා හෝ ආනයනකරුගේ ඉන්වොයිස් මිල හා නිෂ්පාදිත සමාගමේ මිල යන දෙකෙන් වැඩි මිල වාහනයේ මිල ලෙස තීරණය කරනු ලබයි. වාර්ෂික කැපවීම් අඩු කිරීමටද අවස්‌ථාව ලබාදී තිබුණු අතර මීට පෙර මාස පහට වැඩි අවුරුද්දට අඩු කාලයක් සඳහා 5% ක මිල ක්‍ෂය වීමක් සඳහා අවසර ලබාදී තිබිණි. නමුත් නව ගැසට් නිවේදනයෙන් එම කාලය සඳහා ක්‍ෂයවීම් ගණනය කිරීමටද අවස්‌ථාව නොලැබිණි. මෙම නියෝගය සඳහන් ගැසට් පත්‍රය සෑම මාස හයකටම වරක් නිකුත් කළ යුතු වුවත් රේගු පනත ප්‍රකාරව මුදල් අමාත්‍යවරයාගේ නියෝගය බලාත්මක කිරීම රේගුව සතු වගකීමක් විය.
පුදුම සහගත සිද්ධිය වන්නේ පනතින් මුදල් ඇමැතිවරයාට තිබුණු බලය, රේගුව විසින් පත් කර ගත් මෝටර් රථ වාහන තක්‌සේරු කමිටුවක් වෙත පැවරීමය. 2014 අප්‍රේල් මාසයේ සිට මෝටර් රථ වාහන සඳහා බදු අය කිරීමට මිල ගණන් තක්‌සේරු කරන ලද්දේ රේගුවේ මෙම කමිටුව විසිනි. ඒ සඳහා නෛතික බලයක් තිබේද... එය ලැබුණේ කාගෙන්ද... යන්න කිසිවෙක් නොදන්නා නමුත් කටයුත්ත සිදුවුණේ එසේය.
මෙම කමිටුව මගින් මිල ගණන් තීරණය කිරීම හේතුවෙන් හිතුමතේට මිල ගණන් තීරණය කිරීමේ නිලධාරිවාදයක් ගොඩනැඟී තිබිණි. අත යට වාසි සඳහා ඉඩ සලසා දෙන මෙම ක්‍රමය නිසා අයාලේ යන බදු ප්‍රතිපත්තියක් මෝටර් රථ වාහන සඳහා බලපවත්වන්නට පටන් ගත්තේය. තක්‌සේරු කිරීමේ අංශයේ හොද්ද කොතරම් හොඳ දැයි කිවහොත් "වරක් වැන්දොත් කැලණියේ සේ, වරක් තක්‌සේරු අංශයේ හිටියත් ගොඩ..." යෑයි රේගු සේවකයන් අතර කතාවක්‌ද බිහිවන මට්‌ටමක් ඇතිවී තිබිණි.
රාජ්‍ය සේවකයන් සඳහා තීරුබදු සහන යටතේ වාහන ගෙන්වීමට ලබාදෙන අවසර පත්‍රය හෙවත් "පර්මිට් එක"මෙම අයාලේ යන බදු ප්‍රතිපත්තියෙන් රජයට අය විය යුතු විශාල මුදලක් අහිමි කිරීමට සමත්වී තිබේ. ඒ මුදලින් කොටසක් සමහරුන්ගේ සාක්‌කුවල බව අමුතුවෙන් කිව යුතු නැත.
වාහන පර්මිට් පත්‍රයක් හිමිවීම යනු රාජ්‍ය සේවකයෙකුගේ පැත්තෙන් වාහනයක් ගැනීමට අවස්‌ථාවක් හිමිවීමම නොවේ. තමන්ගේ අනිකුත් අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය දී පර්මිට් පත්‍ර හිමි රාජ්‍ය සේවකයන් බහුතරයක් එය පිටට විකුණන බව නොදන්නේ කවුරුන්ද? වාහන පර්මිට් පත්වල මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙන්නේ මෙම විකිණීම බහුලවීම නිසා ඉල්ලුමට වඩා සැපයුම වැඩිවීමෙනි. අනිත් අතට, පර්මිට් පත්‍ර සඳහා ගෙන්වනු ලබන වාහනවල සුඛෝපභෝගී භාවය බලන විට, ඒවා පරිහරණය කරන්නේ එම පර්මිට් පත්‍රය හිමි රාජ්‍ය සේවකයා නම්, නොකා නොබී, අන් කිසිවක් නොකර එම වාහනයම ජීවිතයම කරගෙන සිටිය යුතු මට්‌ටමේ, රාජ්‍ය සේවකයින්ගේ වැටුපට ඔරොත්තු නොදෙන මට්‌ටමේ වාහන එ මගින් ආනයනය කර තිබේ. එයින් පෙනී යන්නේ රාජ්‍ය සේවක වහන පර්මිට් පත්‍රය මුදලාලි පැලැන්තිය සඳහා සුඛෝපභෝගී වාහන ලාබයට ගෙන්වා ගැනීමට ලබාදී තිබෙන මාර්ගයක් වී ඇති බවය. තිබෙන වාහන පර්මිට් පත්‍ර ඩොලර් 25000, 30000, 35000 යන වටිනාකමට අයත් ය. ඒ අතරම, ඩොලර් 5000 ක වැඩිවීමක් සඳහා ද නීත්‍යානුකූලව අවසර ලබාදී තිබේ. විනිමය අනුපාතිකයේ වෙනස්‌වීම් සඳහා සහනයක් ලබාදීම එම 5000 සීමාව ලබාදීමේ අරමුණය. නමුත් එම සීමාව ද ඉක්‌මවා ගියහොත් වාහනයේ සම්පූර්ණ බදු මුදලම අය කර ගැනීම, නෛතික සීමාවයි. එසේ වුවත් වාහනයක් ආනයනය සඳහා වන ණයවර පත්‍රය 2014 අප්‍රේල් මාසයට පෙර විවෘත කර තිබුණහොත් මෙම සීමාව නොමැතිව බදු සහනය ලබාදීමට කටයුතු කරමින් තිබීම නිසා මේ වනවිට රජයට අහිමිවී ඇති බදු ආදායම රුපියල් කෝටි 300 ක් පමණ වන බව සඳහන්ය. පර්මිට් පත්‍රයට අනුව ඩොලර් 35000 කට වැඩි වාහනයක් ගෙන්වන්නේ නම් ඒ සඳහා සම්පූර්ණ බදු මුදලම අය විය යුතු වුවත් "2014 අප්‍රේල්වලට පෙර විවෘත කරන ලද ණය වර ලිපි" නම් අමුතු සහනයක් යටතේ ඩොලර් 35,000 සීමාව ඉක්‌මවා ගොස් බදු සහන යටතේ අධි සුඛෝපභෝගි වාහන 400 ක් පිටවී ඇතැයි ගණනය කර තිබේ.
2014 අප්‍රේල් යන සීමාව ඇති වන්නේ, රේගුව විසින් මෝටර් රථ වාහන තක්‌සේරු කමිටුව පත් කිරීමට පෙර කාලය ලෙස ගෙනය.
කිරිපිටි, අල, හාල් වැනි ජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අදාළ භාණ්‌ඩයක් සඳහා බද්දක් පැනවුවහොත් ඒවා "වහාම ක්‍රියාත්මක වන පරිදිය". බද්ද පැනවූ දිනයේ සිටම එය ක්‍රියාත්මකය. ඒ අපේ එදිනෙදා වේල නිසාය. එම නීතිය, සැප වාහනවලට අදාළ නොවන්නේ ඒවා මේ රටේ 'තීරක බලය' හිමි පිරිසගේ වුවමනා නිසාය.
මෙම ක්‍රමයෙන් ආණ්‌ඩුවට, රේගු බදු ආදායම අහිමි වන ආකාරය සඳහා උදාහරණයක් ලෙස, මර්සිඩීස් බෙන්ස් පාවිච්චි කරන ලද කාරයක් ගනිමු. එය ඩොලර් 35000 සීමාව ඉක්‌මවා ගිය පර්මිට් පතකට ගෙන්වන වාහනයකි. ඒ සඳහා සම්පූර්ණ බදු මුදල ලක්‍ෂ 141 ක් පමණ වුවත් "නව ක්‍රමය" යටතේ ඒ සඳහා රේගු බදු මුදල රු. ලක්‍ෂ 77 ක් පමණක් වී තිබේ. එකට එකක් අඩුවී මේ ලෙස රජයට අය විය යුතු රේගු මුදල් නොලැබුණු සුඛෝපභෝගී වාහන සංඛ්‍යාව 400 ක් වුවත් ඒ ගැන කිසිවෙක් කතාබහක් නැත. අසරණයකු ලයිට් බිල නොගෙවුවහොත්a විදුලිය කපන්නේ දින 14 ක් තුළය. එහි ගණන සමහරවිට රුපියල් හාරදහසක් පමණ වෙයි. මේ වංචා කරන්නේ ලක්‍ෂ හැත්තෑ ගණනිනි. ඒ ගැන කතාවක් ඇත්තේම නැත.
අලුත්ම ක්‍රමය වී ඇත්තේ රේගුවේ රථවාහන තක්‌සේරු කමිටුවේ ගණන් ද පැත්තකට කර ඒ ඒ වාහනය රේගු නිලධාරීන් විසින් ගණන් බලා තක්‌සේරු කර බදු අය කර ගැනීමය. ඒ තුළ 'තත්ත්වය' තවත් දරුණු වී තිබේ.
මෙසේ කටයුතු කරන්නට නම් රටට නීතියක් සේම රේගුවක් ද අවශ්‍ය නැති බව පෙනේ. මෝරුන්ට රිංගිය හැකි දැල් සාදා හාල්මැස්‌සන්ට වැට බඳින මෙම ප්‍රතිපත්තිය ගැන වැට් වංචාව විභාග කළා සේ සොයා බැලිය යුතු බව සඳහන් කරමු.
මනෝඡ් අබයදීර