මිල්ලන්ගොඩ රාජා සමුගනී
වේලාව රාත්‍රී අට පසුවී තිබෙන්නට ඇත. දඹානේ සිට ආපසු එමින් සිටි ගමනේදී අපි නුවර වැව ඉස්මත්තේ සිට දළදා මැදුර අබියසින් ඇසෙන හේවිසි, හොරණෑ, බෙර හඬට කන් දුන්නෙමු. ඒ මහනුවර දළදා මාලිගයේ ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර වීදි සරණ දිනයයි. නුවර වීදි පුරා ඇත්තේ අමුතු සිරියාවකි. උස් ගස් හි රැඳි විදුලි ආලෝකයෙන් ඔපවත් වූ නුවර වැවේ ජල රේඛා නටන්නේ අමුතු තාලයකටය.
විදුලි එළිය පරයා නැගෙන කොප්පරා එළිය ඒ රාත්‍රියට අමුතු සොඳුරු බවක් එක් කළ ද සියලු පෙරහර අංගයන්ගෙන් සමන්විත කුඹල් පෙරහරේ තිබුණේ පාළු බවකි. හදවත සසල කරවන ඒ පාළු බව පෙරහර පුරා පැතිර තිබුණේ මහා දැවැන්තයකුගේ සමුගැනීමක් නිසා නොවේ ද?
මහනුවර ඇසළ පෙරහර වර්ණවත් කළ මිල්ලන්ගොඩ හස්ති රාජයාගේ අවසන් හුස්ම පොද වාතලයට එක්වීමේ කනගාටුදායක සිද්ධිය ඒ පාළු බවට හේතුව යැයි මට සිතුණි.
ආඩම්බර ගමනින් පෙරහරේ ධාතු කරඬුව වඩම්මාගෙන සන්සුන්ව යන මිල්ලන්ගොඩ රාජා මගේ මතකය අලුත් කළේය. සද්දන්ත හස්ති රාජයකු වූ ‘මිල්ලන්ගොඩ රාජා’ වසර තිස් පහකට ආසන්න කාලයක් වරින්වර නුවර පෙරහරේ කරඬුව වැඩම්ම වූයේය. රාජා කුඩා කල සිටම වැඩුණේ කෑගල්ල මොළගොඩ එස්. ආර්. ඒ. මිල්ලන්ගොඩ මහතා හා ඒ මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ආදරය, සෙනෙහස, කරුණාව මධ්‍යයේය.
කිසි දිනෙක ඇත්ගොව්වකුට හිරිහැරයක් නොකළ රාජා වසරකට අධික කාලයක් රෝගාතුරව සිටිය ද ආසියාවේ දිගම දළ යුගලට හිමිකම් පෑ රාජාගේ තේජාන්විත බව නම් බිදකුදු අඩු නොවී තිබිණි.
ඇත්ගොව්වා දෙන ටොෆියක්, හකුරු කෑල්ලක් රසකර කමින් විචිත්‍ර වර්ණයෙන් කළ ඇඳුමින් සැරසි ධාතු කරඬුව පිට මත තබාගෙන ඉමහත් ගෞරවයෙන් මඟ දෙපස බලමින් අභිමානවත් සාඩම්බර ගමනින් වීදි ඔස්සේ ගමන් ගන්නා මිල්ලන්ගොඩ හස්ති රාජයා යළිත් අපට දකින්නට නොලැබෙන්නේ ය.
රාජා හස්තියා රාජ්‍ය නායකයන්ගේ පමණක් නොව දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත් සතන් පැහැර ගත් සද්දන්තයෙකි.
රාජාගේ සමු ගැන්ම අපේ හද සසල කරවන්නකි. එනමුදු මිල්ලන්ගොඩ රාජා අනාගතයට පෙන්වීමට සම හා ශරීර කොටස් උපයෝගී කොට මේ සද්දන්තයා ප්‍රතිනිර්මාණය කරවීමට මිල්ලන්ගොඩ මහතා ගෙන ඇති තීරණය බොහෝ වටින්නේය. තේජාන්විත ගමනින් නුවර හා සෙසු පෙරහර ඔපවත් කළ ,
මහා ඇත් රජුනි ,
නුඹට නිවන් සුව.

ඉසවි - සිළුමිණ