තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ...
මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ....
ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක
තනි තරුවේ (Thani Tharuwe)
ප්‍රේමකීර්ති ද අල්විස් නම් අසහාය ගේය පද රචකයා ලාංකීය සංගීතයට දායක කරපු තවත් අලංකාර ගීතයක් මේ.
තනි තරුවේ ගීතය ලියන්නට පසුබිම් උන සිදුවීම වික්ටර් රත්නායකයන් පවසන පරිදි මෙසේය. දිනක් වික්ටර් රත්නායකයන්
තම සමීප මිතුරකු වන ප්‍රේමකීර්ති හා තවත් සංගීත ක්ෂේත්රයට සම්බන්ධ පිරිසක් සමග මුහුදු වෙරල ආසන්නයේ විවේකීව සැන්දෑ
සාමය ගත කර තිබෙනවා. මුහුදු වෙරළේ වැතිරිලා සිටිය ප්‍රේමකීර්ති සවස් අහසේ පායාගෙන එන දීප්තිමත් තරුවක් දිහා බලාගෙන
ඉඳල එක වරම 'තනි තරුවේ' කියල කෑ ගහල තියෙනවා.
ප්‍රේමකීර්ති ද අල්විස්
අහසේ තනි තරුව දැකීමත් සමග ඔහුගේ සිතට නැගුනු සිතුවිලි සමුදාය ගීයකට පබන්දුනේ ඉන් පසුවයි. වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන්
හා ගායනයෙන් අලංකාර වී අපට අසන්න ලැබෙන මේ ගීතයෙන් කියවෙන දේ ගැන අපට විවිධාකාරයෙන් අදහස් පලකළ හැකියි. ඇත්තටම
මෙයින් කියවෙන තනි තරුව උපමා කරන්නේ කාටද? එය තීරණය කිරීම ගීතයා අසන අපටම බාර වූවක්. කෙසේ වුවත් කිසිදා ලං විය නොහැකි
දෙදෙනෙකු පිළිබඳව කියවෙන බව පැහැදිලියි. සංගීත නිර්මාණයද පද පෙළෙහි අරුත වඩා වඩාත් හදවතට ලන්කරවන්නක්. වචන වලින්
කිව නොහැකි වූ බොහෝ දේ එම සංගීත සංකලනය තුලින් ශ්‍රාවක සිතට දැනෙන බව ගීතයට ප්‍රිය කරන සැවොම පිළිගන්නවා ඇති.