මේ ටික ලියනවා නොව නොලියා බැරිකමට ලියැවෙනවා යයි කීම වඩා නිවැරදි ය.. ඊට ප්රස්තුත වන්නේ, "සිරිසේනගේ මල් වට්ටියට අතගැසූවන් දැන් සිය සිහින සුර දූතයන් පැමිණ සිය මනෝරාජික උතෝපියාව මවාදෙන තුරු බලා සිටින්නැයි" කියා තිබූ එක්තරා කතාවකි..
ඔව්, අපි සිරිසේනගේ මල් වට්ටියට අතගැසුවෙමු.. වඩා නිවැරදිව, මහින්ද ගෙදර යැවීමේ මල් වට්ටියට අත ගැසුවෙමු.. එසේ කළේ, සිරිසේන මේ රටේ අනාගත දුටුගැමුණු හෝ පැරකුම් රජු වෙතැයි සිතා නොව, අඩු වශයෙන් මූලික මානව නිදහසවත් මහින්ද පාලනය යටතේ නොලැබෙන බව පැහැදිලි වූ නිසා ය.. එසේ කළේ නඩු නැති, නඩුකාරයන් නැති, කලින් තීරණය කළ නඩු තීන්දු කියවන, සැකකරුවන් මාංචු පිටිං ස්විමිං ලෙසන් යවන, ආයුධ පෙන්නන්න යන, අනීතික වනචාරී යුගය අවසන් කරනු පිණිස ය..
දැන් සිරිසේනගේ මල් වට්ටිය සුදෝසුදු, රාගයෙන් තොර, සඳඑළිය සේ අචින්ත්‍ය, පාරිශුද්ධ, සුරම්‍ය වූ බක්කක් දැයි අපෙන් අසන මහින්දවාදීන්ගෙන් අප ඇසිය යුතු එකම පැනය, මෙපමණ කල් අසූචී ගොඩේ ලැග සිටි ඔබට නරක් වී ඇත්තේ මේ මල් වට්ටියේ ඇති මඩ පැල්ලම් කීපය ද යනුවෙනි..
අවංකව මේ කැබිනට් මණ්ඩලයේ විවාදාත්මක තීරණ ඇත.. පුද්ගලිකව රවී කරුණානායක ගැන මට ලොකු දුකක් ඇත.. වත්මන් ඇමති මඩුල්ලේ එකම වරලත් ගණකාධිකාරී ඔහුයැයි කියති.. ගණකාධිකාරී බැරිනම් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මහාචාර්ය්ය වුවද, හොරා හොරාම ය.. මෙසේම, ප්‍රශ්න කරනවා නම් කළ හැකි (සහ කළ යුතු) දෑ බොහෝ ය.. (එක අතකට අප එසේ ප්‍රශ්න නොකිරීම අප කරන වරදකි.. එදා මහින්දවාදීන් කීවේ මහින්දගේ බෙට්ටත් සුවඳයි කියා ය.. අද අප ද එතැනටම වැටෙන්නේ නම් අප ලබා ඇති ප්‍රගතියක් නැත.. අප මෙපමණ කල් ඇඟිලි කරු ඇදුම්කන තුරු කෙටුවේ මේ නිදහස් විවේචන අයිතිය වෙනුවෙනි..)
එහෙත් ඒ සමගම, අනාගත මහා අනතුරක් ළඟ එමින් පවතී.. මෛත්‍රී ජනපති වූවාට, ඔහුට තවමත් පාර්ලිමේන්තු බහුතරය නැත.. මේ අඩුව ඉලක්ක කර ගනිමින්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහායක කල්ලිය, වත්මන් රජය අබ්බගාත සහ අකර්මණ්‍ය කිරීමටත්, එමගින් දින 100 වැඩපිළිවෙල අසාර්ථක කරවා ජන අප්‍රසාදයට පත් කරවීමටත්, අවසානයේ ඒ හරහා මහ මැතිවරණයෙන් යළිත් මහින්ද අගමැති (නිකං නොව විධායක අගමැති) කරවීමටත් කැස කවමින් සිටින මොහොතකි මේ..
මොහොතක් සිතන්න.. මහින්ද ඡන්ද පොළට ගියේ ඩුප්ලිකේට් සිරිසේන තම වහලකු මෙන් අන්දවා තමා පසුපස ප්‍රදර්ශනය කරවමිනි.. චන්ද්‍රිකාගේ රෙදි ගළවා මහපාරෙ ඇවිද්දවිය යුතු බව තවෙකෙක් කීවේ ය.. වැරදීමකින් හෝ මහින්ද දින්නා නම් මෛත්‍රී ඇතුළු පිරිසද මහපාරේ සිරකරුවන් ලෙස ඇවිද්දවන බවට තවත් සහතික අවශ්‍ය ද? මෙවන් ගෝත්‍රික, පළිගන්නා සුළු පාලනයක් යළිත් මිනීවළෙන් නැගිට්ටවිය යුතු ද?
ඔව්, සිරිසේනගේ මල් වට්ටියේ ඇසළ මල්වලට අමතරව ගඳගහන කිඩාරම් මල් ද ඇත.. එහෙත් අමාරුවෙන් කඩා ගත් මල්වට්ටිය විසිකර දමා දහ අවුරුද්දක් අප්පිරියාවෙන් කර තබා ගෙන ගිය පරණ අසූචි හැළිය ආයෙත් කරතබා ගන්නට තරම් අපි මන්දබුද්ධික නොවෙමු..

තනිකර CTRL + C සහ CTRL + V එකකි......
(මේවටත් රිදෙන උන් ඉන්නවනේ...... ඒකයි කිව්වේ.
)