වැනට් ගැන කතාවක් දාන්න හිතුනා..
මේ වැනට් එක නම් අර අපේ පොල්වත්ත අය්යගෙ එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකක්.සාමාන්‍යයෙන් කරදර කරන්නෙම නැති වාහනයක්..හුලං බැස්සත් ගෙදර ඇවිල්ල නැවැත්තුවට පස්සෙ වෙන්නෙ..ඒ වාහනේ දුන්න එකම වදෙ ගැන තමයි මේ කතාව..ඇත්තටම ඒක වදයක් වුනෙත් අපේ නොදැනීමෙන්..
මේ කතාවටත් දැන් අවුරුදු 7ක් විතර වෙනවා.මේ වාහනෙ අයිතිවුනෙ මගෙ වයිෆ්ගෙ තාත්තට..
ඒ කාලෙ ඉතින් වයිෆ් නෙවෙයිනෙ ප්රේමවන්තියනෙ..කොල්ලා ඉතින් එයා කියන ඔක්කොටම හා..ඕන වැඩක් කරනවා.
දවසක් එයලගෙ ගෙදර අය, මාතලේ පැත්තෙ තියෙන ළමා නිවාසයකට දානයක් දෙන්න යනවා. මටත් එන්න කියුවා..මමත් ඉතින් පැනල එන්නම් කියලා ඉතින් ෆුල්ල් හැපී එකෙ ඉන්නවා.. අදාල දවසත් උදාවුනා.. යන්නෙ ඉතින් එයාලගෙ වැනට් එකෙ. මම තමයි ඩ්‍රැයිවර්.මගෙ ප්‍රේමවන්තියයි.. එයාගෙ දෙමව්පියන් සහ තව හිතවත් ආන්ටිලා දෙන්නෙක් තමයි ගියෙ..
කාලයක් තිස්සෙ වැනට් එකෙ වතුර චූට්ටක් විතර හැමදාම අඩුවෙනවා..ඕක ඉතින් අවුරුදු ගානක් තිස්සෙ වෙන නිසාත් අඩුවෙන ප්‍රමාණය ඉතා කුඩා නිසාත් ගනන් ගතයුතු දෙයක් නෙවෙයි කියන එක තමයි වාහනෙ අයිති කාරයගෙ ඒ කියුවෙ මගෙ අනාගත මාමණ්ඩිගෙ අදහස වුනෙ.හැමදාම වගෙ වතුර පොඩ්ඩක් පුරවලා ඔයිල් එහෙම බලලා පාන්දරම ගමන පිටත් වුනා..
වෙලවට අදාල තැනට ගිහින් දානෙ එහෙම දීල ඉවර වෙන කොට උදෙ 11.30ට විතර ඇති.ගෙදර යන්නත් කල් වැඩි නිසා හැමොගෙම අදහස වුනෙ කොහෙ හරි විශේෂ තැනක් බලන්න යමු කියලා..මමත් ඉතින් වැඩ්ඩ වගෙ කියුවා ඒතරම් දුරකුත් නැති නිසා රිවර්ස්ටන් යමු කියලා.හැමොගෙම අනුමැතිය යටතෙ දැන් රිවර්ස්ටන් බලා පිටත් වුනා..
රිවර්ස්ටන් ගිහින් ඇතිනම් මතක් ඇතිනෙ.. ටිකක් දුර යනකොට කන්ද පටන් ගන්නවනෙ..දැන් කන්ද මුදුනට ටිකක් කිට්ටුවෙනකොට මම දැක්කා වාහනෙ හීට් එක එක පාරටම නගිනව.වහාම වාහනෙ නවත්තලා කෝකටත් කියලා යට බැලුවා මෙන්න බොලෙ රේඩිටරෙ ගාවින් පොඩි වතුර පාරක් ගලා ගෙන යනවා..බැලින්නම් රේඩිටරෙ ලීක් එක ටිකක් ලොකුවෙලා.වාහනෙ පොඩ්ඩක් නිමෙනකල් ඉඳලා එතන තිබුන පොඩි වතුර පාරකින් රේඩිටරෙට වතුර පුරවලා ආයෙම ගමන පිටත් වුන..පොඩි බයක් හිතෙ තිබුනට ඔච්චර දුර ආපු එකෙ නොගිහින් ඉන්නත් බෑනෙ..
රිවර්ස්ටන් උඩටම ගිහිල්ල ආයෙම පිටවල පතනට යනකල්ම හීට් එක නැග්ගෙ නෑ.ඒ අවට සිරි නරඹල දැන් කට්ටියම එන්න ලෑස්ති වෙලා ආයෙම වතුර බෝතලයක් විතර දැම්මා.. දැන් ආයෙත් පිටත් වෙලා කන්ද නගිනවා ..ටිකක් දුර ආවා විතරයි ආයෙම හීට් එක නගීන්න පටන් ගත්තා.. නවත්වලා යටින් බැලුවාම රේඩිටරෙන් ගංගාවක් ගලනවා..ඒ වෙලාවෙනම් දෙවියො බුදුන් සිහිවුනා. තත්වෙ බරපතලකම තේරුනෙ අපෙ මාමන්ඩිටයි මටයි විතරයි මම හිතන්නෙ. කාන්තා පාර්ශවයටනම් ඉතින් මෙලො ගානක් නෑ..
හිතන්නකො රිවර්ස්ටන් මුදුනෙදි මේ වගෙ වැඩක් වුනාම.දැන් වෙලාවත් 5 පහුවෙලා.ලගපාත ගරාජ් තියා මනුස්සයෙක්වත් හරියට නෑ.. මොනවා කරන්නද කරන්න තිබුන එකම දේ වාහනෙ කොහොමහරි පහලට අරන් එන එක..කරපු වැඩෙ තිබුන හැම හිස් බෝතලෙටම වතුර පුරවගත්තා හදිස්සියක්දි ගන්න. පල්ලම නිසා වාහනෙ ලොකුවට රත්වෙන්නෙත් නැති නිසා හෙමින් හෙමින් ආවා..
දැන් මම ඉස්සරහ බලනවටවත් වඩා බලන්නෙ වාහනෙ හීට් එක නගිනවද කියලා.. කොහොම කොහොම හරි ටික දුරක් එනකොට අයෙම වතුර දා ගත්තා...ඇත්තටම වතුර දාන එකත් ලේසි වැඩක් වුනෙ නෑ.. රත්වුන වාහනෙක රේඩිටර් මූඩිය අරින එක කොයිතරම් අමාරු වැඩක් ද කියලා දන්නවනෙ.. කොහොමහරි වාහනෙ මගට එනකොට ටිකක් රෑත් වෙලා...ගරාජ් වහලා..පස්සෙ අපි තීරණයක් ගත්තා වතුර දම දම හරි ගෙදරට යනවා කියලා.
කොහොමහරි නුවරට එනකොට 4 පාරක් වතුර දැම්ම.. ගෙදරටම එනකොට 6-7 පාරක් විතර වතුර දැම්ම මට මතක විදියට..සමහර තැන් වල වතුර දාන්න නතර කරපුවාම වතුර ගන්න තැනක් නෑ.. ගෙවල් වලට තට්ටු කරලා කතාකරල ගත්තු වෙලාවලුත් තිබුන..කොහොම කොහොම හරි ගෙදර ආව කියමුකො..
දැන් ඊලග ප්‍රශ්නෙ තමයි වාහනෙ හදන එක.පහුවෙනිදට මගෙ රාජකාරිය වුනෙ ඒක.
වයිෆ්ලගෙ ගෙදර ඉඳන් කිලොමීටරයක් විතර දුරින් තියෙනවා ගරාජ් එකක්.ඒකෙ බාසා සියල්ල දත් එකෙක්.වාහනෙ වැඩි දුරක් අරන් යන්න බැරි නිසාත් අර බාස් පුලුවන් කිව් නිසාත් අපේ මාමන්ඩි අර බාසාව විස්වාශ කල නිසාත් වාහනෙ රේඩිටරෙ එතන ගලවන්න තීරනය කලා.. රේඩිටරෙ ගලවල බැලුවාම තමයි වැඩෙ තේරුනෙ.
වැනට් එකෙ එන්නෙ ප්ලාස්ටික් රේඩිටර් ටැංකියක්නෙ.කලින් ඒක පොඩ්ඩක් විතර පුපුරල තිබිල..කලින් අයිතිකාරය සිලිකන් ගම් වලින් වහලා..හැබැයි අවුරුදු ගානක් වැඩෙ අල්ලලා හිටලා..පොඩි ලීක් එකක් විතරයි තිබිල තියෙන්නෙ...ඒකයි අර හැමදාම වතුර පොඩ්ඩක් අඩුවුනෙ ..රිවර්ස්ටන් වලදි තමයි ආයෙම හොඳටම සිදුර ලොකුවෙලා තියෙන්නෙ..
අර බාස් ආයෙම සිලිකන් දාල රේඩිටරෙ නැවත හයි කරලා දුන්නා..දවසයි දිව්වෙ ආයෙම ලීක්
ආයෙම ගැලෙව්ව .. ඒ පාර පොර කියනවා ෆයිබර් කරලා බලමු කියලා.. ඔන්න ඉතින් රේඩිටරෙ අරන් ගිහින් ෆයිබර් කලා..දවසයි...ආයෙම ලීක්...
ඒ පාර මූ කියපි මහත්තය මේකට රේඩිටරයක් අලුතින් දාන්න වෙනවා ..වෙන විකල්පයක් නෑ කියලා..එහෙනම් ඉතින් මොනව කරන්නද කියලා මාමණ්ඩියි මමයි පරන රේඩිටරෙත් මගෙ කාර් එකෙ දාගෙන මුලු නුවර වටේම වැනට් රේඩිටර් හෙව්වා..නැති තැන ගම්පොල වෙනකල් වාහන පාර්ට්ස් තියෙන හැම කඩේකම බැලුවා.තිබුනෙ නෑ. දැන් මොකද කරන්නෙ කියලා කල්පනා කර කර එනකොට රේඩිටර් වැඩ කරන තැනක් දැකලා පොඩ්ඩක් කතා කලා.. එතැනින් කියුවා ටැන්කිය ප්ලාස්ටික් වුනාට ප්‍රශ්නයක් නෑ..ඒ ප්ලස්ටික් ටැන්කිය අයින් කරලා පිත්තල වලින් හදලා දෙන්නම් කියලා..
අන්තිමෙ එතනින් හදලා ඒප්රශ්නෙ සම්පූර්නයෙන්ම විසදුනා..ඊට පස්සෙ වතුර බිංදුවක්වත් ලීක් වුනෙ නෑ..
මෙතන මට කියන්න ඕන තව දෙයක් තියෙනවා..
වාහනේක මොකක් හරි ලෙඩක් ආවොත් ඒ ලෙඩේට අදාල තැනට අරන් යන්න..අපි අපෙ ධනය ශ්‍රමය කාලය හැමදෙයක්ම නැතිකරගත්තෙ අදාල තැනට ගියෙ නැතිනිසා..අපි මුලින්ම රේඩිටර් වැඩපොලකට ගියානම් ප්‍රශ්නෙ මුලින්ම විසඳිල..
ඒ වගේම ඔය එකම බාස් හැම වැඩේම කරන ගරාජ් වලට යන්න එපා.. උදා-සමහර බාස්ල මිකැනිකල් වැඩත් කරනවා..ඉලෙක්ට්‍රික් වැඩත් කරනවා.තව ටින්කර් පේන්ට් වැඩත් කරනවා..කවදාවත් එහෙම ගරාජ් වලට යන්න එපා.ඒ අයට එකක්වත් හරියට බෑ